“මාලිංග එනවා නම් මම තරම් සතුටු වෙන කිසි කෙනෙක් නැහැ” – සනත්

3057

සනත් ජයසුරිය යනු ශ්‍රී ලංකාව තුළ බිහිවු විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩකයන් කිහිපදෙනාගේ නම් ලැයිස්තුවේ ඉහලම නම් තුන හතර ඇතුලත අනිවාර්යයෙන්ම සඳහන් වන නමකි. ‘මාස්ටර්-බ්ලාස්ටර්’ එසේත් නැත්නම් ‘වමත් කසකාරයා’ ලෙස විරුදාවලි ලැබු ඔහු, ප්‍රහාරාත්මක ආරම්භක පිතිකරණය ලොවට හඳුන්වා දුන් විවියන් රිචර්ඩ්ස් හා සමතැන් තැබිය හැකි, නුතන ක්‍රිකට් වංශ කතාවට නව යෙදුම්, නව පහරවල් සහ නව උපක්‍රම හඳුන්වා දුන් පිතිකරුවෙකි.

ජාත්‍යන්තර පිටියට විස්සයි විස්ස තරඟ රටාව ගෙන ඒමේ ආසන්නතම හේතුව වූයේද ඔහුයි. 2011 වර්ෂයේදී ක්‍රීඩාවෙන් සමුගන්නා ඔහු නැවත ක්‍රිකට් කරලියට පැමිණෙන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපතිවරයා ලෙසයි. මේ  සනත් සමඟ ThePapare.com සිදුකළ කතාබහකි.

පසුගිය ලිපි: මීගමුව මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය – ක්‍රිකට් කිරුළ සොයා සටනට

ප්‍රථමයෙන්ම අපි කතා කරමු මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක තේරීම් ක්‍රියාවලිය සිදුවෙමින් පවතින්නේ කෙසේද කියලා?

අරවින්දගෙන් මැයි මස මුල් සතියේදී තමයි මේ තනතුර මා ලබාගත්තේ. ප්‍රථම වතාවේදී වගේ නෙමෙයි, මා වෙනත් සාකච්ඡාවන් කිහිපයකදී සඳහන් කළා වගේම මේ වතාවේදී මෙය ටිකක් අමාරුයි. ක්‍රීඩකයන් කිහිප දෙනෙක්ම ජාත්‍යන්තර පිටියෙන් සමුගැනීම නිසා අපට අහිමි වුණා. ඒ නිසා අපි මුල සිට මේ ක්‍රියාවලිය ආරම්භ කල යුතුයි. අපේ සැකසුම හොඳයි, අපට නවක ක්‍රීඩකයන් ඉන්නවා. නමුත් ජාත්‍යන්තර දක්ෂතා දැක්වීමට ඔවුන්ට කාලය අවශ්‍යයි. ඉතින්, තේරීම් කමිටුවේ රාජකාරිය එතරම් පහසු එකක් නෙමෙයි, ඒත් අපි ශ්‍රී ලංකාව වෙනුවෙන් හොඳම දේ කරන්නට බලාපොරොත්තු වෙනවා.

ඕස්ට්‍රේලියාවට එරෙහිව ටෙස්ට් තරඟාවලිය ඉතා ඉහලින් ජයග්‍රහණය කිරීමත් එක්ක බලන විට එක්දින සහ විස්සයි විස්ස තරඟවලදී අපට වැරදුනේ කොතනද? අපි දුටුවා ක්‍රීඩකයන් 19 දෙනෙක් ඒ තරඟ කිහිපයේ ක්‍රීඩා කරනවා.

ඔව් එය අපි පවා කතාබහට බඳුන් කළ කරුණක්. ඕස්ට්‍රේලියාවට එරෙහි ටෙස්ට් තරඟාවලියේදී අපි ගොඩක් ඉවසීමෙන් ක්‍රීඩා කළා. කිව්වත් වගේ සමහර වෙලාවල් වලදී තේරීම් කමිටුව පවා ජයග්‍රහණය ගැන ටිකක් කලබල වෙනවා. ටෙස්ට් තරඟාවලිය 3-0ක් ලෙස ජය ගැනීමත් සමඟ අපි ඕනෑවට වඩා විශ්වාසයක් ඇතිකර ගත්තා කෙටි ඕවර තරඟාවලිය ගැන. එය එසේ සිදුවිය යුතු නැහැ. මා හිතන්නේ අපිත් තවම ඉගෙන ගන්නවා. ඉතින් අප යම් යම් තැන්වල කළ යුතු දෑ තිබුණා. ඉදිරියේදී අප ඒ පිළිබඳව හඳුනාගත යුතුයි. තේරීම්කරුවන් හැටියට අප අපේ කාර්යය හොඳින් ඉටු කළා. ඒත් අප ඉවසිලිවන්ත විය යුතුයි එක්දින තරඟ ගැන සලකා බැලීමේදී. අපි ඒ ගැන කතා කරමින් ඉන්නේ. අරවින්ද ඊට අපට සහය දක්වනවා. මා මේ තනතුර භාරගත් දින සිට ඔහුත් මාත් කතාබහ කරනවා කළ යුතු දේවල් ගැන. අපි මේ ආකාරයෙන් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව හරි අතට ගෙන යාමට වග බලාගත යුතුයි.

සනත්, අපට ක්‍රීඩකයින් තෝරා ගැනීමේ නිශ්චිත ප්‍රතිපත්තියක් තිබෙනවද? 15න් පහල ක්‍රීඩකයන්ගේ සිට 19න් පහල ක්‍රීඩකයන් දක්වා? අපට මතකයි ෂහීඩ් අෆ්රිඩි ජාත්‍යන්තර ක්‍රීඩාවට ආවේ වසර 16දී. අපට එවැනි ප්‍රතිපත්තියක් තිබෙනවද?

ඔව්. අපි අරවින්දගේ සහ මගේත් ප්‍රධානත්වයෙන් ක්‍රිකට් කමිටුවේ වැඩ කරගෙන යනවා. රන්ජිත් ප්‍රනාන්දු, ඈෂ්ලි ද සිල්වා වගේ අයත් එහි ඉන්නවා. අපි කෙසේද ඉදිරියට යා යුත්තේ කියලා අපි සුදානම් වෙනවා. එය ක්‍රිකට් කමිටුවේ සංකල්පයක් බවට පත්වෙමින් තිබෙනවා. තිලංග සුමතිපාල සහ ජයන්ත ධර්මදාස යන අයගේ අනුදැනුමත් ඇතුව ප්‍රතිපත්තියක් ගැන අපි අවසන් සති කිහිපයේ සිට කතාබහ කරමින් පවතිනවා. එය ඉක්මනින් ක්‍රියාවට නැංවේවි. ලොකු වෙනස්කම් නොවුනත් පොඩි පොඩි දේවල්වලින් අපි වෙනස් විය යුතුයි. දැනටත් එහි කටයුතු සිදුවෙමින් පවතින්නේ. ප්‍රතිපත්තියක් සමඟ වැඩකිරීම පහසුයි. ක්‍රිකට් කමිටුවේ සභාපති අරවින්ද සිල්වාත් අප සමඟ ඒ සඳහා සහයෝගෙන් වැඩ කරනවා.

අපට කෙටියෙන් කියන්න පුළුවන්ද ඒ ප්‍රතිපත්තියේ සඳහන් දේවල් ගැන?

මුලිකවම ශ්‍රී ලංකා කණ්ඩායමෙන් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට ක්‍රීඩකයන් ඇතුලත් කරගැනීම ගැන. විශේෂ දක්ෂතා ඇති ක්‍රීඩකයෙක් සමහරවි 19න් පහල කණ්ඩායමෙනුත් එන්න පුළුවන්. ඒත් මූලිකවම පවතින ක්‍රමයෙන් ඉහලට ඇවිත් ශ්‍රී ලංකා කණ්ඩායමෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩකයෙක් ආ යුතු ආකාරය සහතික කිරීමක් තමයි එහිදී සිදුවෙන්නේ. ඒත් එක්කම කණ්ඩායම තෝරා ගැනීමට දින 40කට පමණ පෙර ක්‍රීඩකයන් 30ක් 35කින් වගේ පුර්ව සංචිතයක් හදලා තරඟාවලියකට දින 21කට පෙර කණ්ඩායම තෝරාගෙන ඔවුන්ට එකට පුහුණුවීමේ අවස්ථාව සලසා දීම වගේ දේවල්. එවැනි පොඩි පොඩි දේවල් අපි දැනටමත් ආරම්භ කරලයි තියෙන්නේ.

ඔබේ තේරීම් කමිටුවේ ඉන්නෙ හතර දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක්. විවේචනයක් තිබෙනවා ඔබලා නිවසේ සිට ලකුණු දත්තයන් හැදෑරීමෙන් පමණක් ක්‍රීඩකයන් තෝරාගන්නා බවට. ඔබලාට කාලය තිබෙනවද දේශීය තරඟ පිටියට ගොස් නැරඹීමට? අපි ඒ දුර්මතයන් පිළිබඳව ජනතාව දැනුවත් කළ යුතුයි නේද?

මා තේරීම් කමිටුවේ සභාපති හැටියට ඉද්දි නම් එහෙම වෙලා නැහැ. දැනටත් අපේ කනිෂ්ඨ තේරීම් නිලධාරීන් පාසල් ක්‍රිකට් තරඟ, අන්තර් සමාජ තරඟ, වෙළඳසේවා, ප්‍රිමියර් ලීග් යන හැම තරඟයක්ම නරඹනවා. මොකද ඒකයි අපට ලැබිල තිබෙන වගකීම. නමුත් ඔව්, අපට හැමතැනම තිබෙන තරඟවලට යා නොහැකියි තමයි. ඒත් අපි හැකි සෑම අවස්ථාවකදීම ඒවාට සහභාගී වෙනවා. මා තේරීම්කරුවන්ට කියනවා ඔබලා පුහුණු සැසි නැරඹීමට යා යුතුයි, ඒවගේම තරඟත් නැරඹිය යුතුයිකියා.

කොළඹින් පිට තරඟ නැරඹීමට ඔබලා කාලය වෙන්කරගන්නෙ කොහොමද?

අපට ඉන්නවා පළාත් පුහුණුකරුවන් සහ දිස්ත්‍රික් පුහුණුකරුවන්. අපට ක්‍රීඩකයන් සපයන්නන් හැටියට ඔවුනට ලොකු වගකීමක් තිබෙනවා. දේශීය ක්‍රිකට් භාරව වැඩ කරන්නේ මදිවානන් මහත්මයා. ඔහු අගනා සේවයක් ඉටු කරනවා අදාළ පුහුණුකරුවන්ව පාසල් වලට, තරඟබිමට යොමුකිරීමට සහ ඒවායින් වැඩි පිරිසක් ජාතික තලයට ගෙන ඒම සම්බන්ධව.

නවක ක්‍රීඩකයෙක් කණ්ඩායමට ඇතුලත් කරගැනීමෙන් පසුව ඔහුට කෙතරම් කාලයක් ලබාදෙනවාද දස්කම් ප්‍රදර්ශනයට? තරඟාවලියක් හෝ දෙකක්ද, එසේත් නැත්නම් ඔහු තවමත් ජාත්‍යන්තර තලයට නුසුදුසුයි කියා ඔහුව තරඟයකින් දෙකකින් නිර්ණය කරගන්නවාද?

මම හිතන්නේ අඩුම තරමින් තරඟාවලියක්වත් දිය යුතුයි. ඊට හොඳම උදාහරණය තමයි අපේ ටෙස්ට් කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන්. ඔවුන්ට අපි විශ්වාසයක් ලබා දුන්නා. නමුත් එක්දින තරඟාවලියේදී ඒක කරන්න බැරි වුණා. එය අපේ පැත්තෙන් අප බොහෝ ඉවසිලිවන්ත විය යුතු තැනක්. ටෙස්ට් තරඟාවලියකදී අප කලබල විය යුතු නැහැ. ක්‍රීඩකයෙකුට විශ්වාසය ඇතිවනතුරු අවස්ථාව දී බැලිය හැකියි. ක්‍රීඩකයෙකු පැමිණ තම ස්ථානය වෙන්කරවා ගන්නා තෙක් අපි වගේම ක්‍රීඩාවට ඇලුම් කරන ලාංකිකයනුත් ඉවසිලිවන්ත විය යුතුයි. තාම අපි මුල්කාලයෙයි ඉන්නේ. වසරක කාලයක්වත් අපට අවශ්‍ය වේවි.

ඒ ආකාරයෙන් තමයි කෞෂාල් සිල්වා ටෙස්ට් තරඟාවලියේදී ශතකයක් වාර්තා කළේ…

මෑත කාලයේ බිහිවන වේගපන්දු යවන්නන් විවිධ ආබාධ තත්වයන්ට මුහුණ දෙනවා අපි දුටුවා. ඔබ ක්‍රීඩා කරන කාලයේදී මුළු කණ්ඩායමම එකාමෙන්  ශක්තිමත් බවයි මගේ මතකය. ඒත් දැන් එහෙම නැහැ. කොතනද ගැටළුව? ඔවුන්ගේ ශාරීරික යෝග්‍යතාවයේද?

එය ඉතා අවාසනාවන්ත තත්වයක්. ඔවුන් අන්තර් සමාජ, වෙළඳසේවා, සංවර්ධන ආදී බොහෝ තරඟ ක්‍රීඩා කරනවා. ඒ නිසා අපට කාටවත් ඇඟිල්ල දිගුකරන්නට බැහැ. නමුත් ක්‍රීඩකයන් තමාව කළමනාකරණය කරගත යුතුයි. ඔවුන්ගේ ශරීරය දිනපතා මහන්සියට පත්වනවා, ඔවුන් විවිධ ශාරීරික වෙනස්කම් පසුකරනවා. මනුෂ්‍ය ශරීරය ඒ වගෙයි. වේගපන්දු යවන්නෙක් පන්දු ඕවර වැඩි ගණනක් යැවීමේදී ආබාධවලට ලක්වෙනවා. මේ ළඟදී පැවතුණු පුහුණු තරඟයකදී විශ්ව ප්‍රනාන්දුටත් එසේ කොඳු ඇට පෙලෙහි ආබාධයකට ලක්වෙන්න සිදුවුණා. ඉතින් අපි ඒවාට මුහුණ දිය යුතුයි. තේරීම් කමිටුවේ කෙනෙක් හැටියට මගේ වගකීම වෙන්නෙ එසේ ඉවත්වන වේගපන්දු යවන්නෙකු වෙනුවට ගෙන ආ හැකි වේගපන්දු යවන්නන් කිහිපදෙනෙකු සොයා ගැනීමයි. අවශ්‍ය ප්‍රමාණයට ක්‍රීඩකයන් නැතිනම් තමයි ගැටලුව පැනනගින්නේ.

ක්‍රීඩකයන්ට පෞද්ගලික ශාරීරික යෝග්‍යතා පුහුණුවක් පවත්වා ගත හැකිද? නැතිනම් තරඟ නැති කාලවලදී ඔබ ඔවුන්ට ඒ අවස්ථාව සලසා දෙනවද?

ඔව්. අපේ පුහුණුකරුවන් සහ කාර්යමණ්ඩලය විසින් පෞද්ගලිකව අනුගමනය කළයුතු වැඩපිළිවෙලක් ඔවුනට දී තිබෙනවා. තරංග නැති කාලයේදී ඔවුන් ඔවුනට හුරුපුරුදු ක්‍රමයට පුහුණු විය යුතුයි. ඔවුන් හැමෝම වෘත්තීය මට්ටමේ ක්‍රීඩකයන්. එනිසා ඔවුන් දැනටමත් එය කරමින් පවතිනවා. ඔවුන් වෙනස්කිරීම්, පුහුණුව යන හැමදේ හරහාම යනවා. ඒත් තවමත් ආබාධ කිහිපයක් ගැන අහන්නට ලැබීම අවාසනාවන්ත කාරණයක්.

සනත්, අපි ඉන්නේ කණ්ඩායමේ වෙනස්කම් සිදුවන තීරණාත්මක අවධියක. පොදු ජනතාව ඒ පිළිබඳව දැනුවත් කළ යුතුයි. ඔබ අත්දැකීම් සහිත ක්‍රීඩකයන්ට සහ නවකයන්ට එක ලෙස තැනක් දෙනවාද, නැත්නම් නවකයන් පිරිසක් ගොඩනගන්නට බලාපොරොත්තු වෙනවාද?

ඒ දෙකම අවශ්‍යයි. තරඟයක උණුසුම් අවස්ථාවන් සඳහා අත්දැකීම් සහිත අය අවශ්‍යයි. නමුත් අප විසින් ශ්‍රී ලංකා කණ්ඩායමෙන් කැඳවාගත් කුසල් මෙන්ඩිස්, ධනංජය ද සිල්වා වගේ ක්‍රීඩකයන් ඉන්නවා. කාලයත් සමඟ ඔවුන් තේරුම් ගත යුතුයි කණ්ඩායමට පැමිණීම පහසු බවත්, දිගුකාලීනව රැදී සිටීම අපහසු බවත්. මහන්සියෙන් පුහුණුවීම් කරමින් ඔවුන් තම තමාව ස්ථාවර කරගත යුතුයි. ඉන්පසුව ඔවුන් ඉහල තලයේ දස්කම් දක්වාවි. ඔවුන් එය තේරුම් ගනිමින් සිටිනවා. රොෂේන් සිල්වා, සඳකැන් වගේ ක්‍රීඩකයොත් අපට ඉන්නවා. ඔවුන් ඉදිරියේදී හොඳ තැනකට ඒවියැයි මා බලාපොරොත්තු වෙනවා.

ලසිත් මාලිංග නැවතත් පුර්ණ සුවය ලබා තිබෙන බවට මාධ්‍ය වාර්තා පලවෙනවා. ඔහු සුදානම් නම් ඔහුව නැවත ක්‍රීඩා කරවන්නට ඔබ කැමතිද? ඔහු ඔබට ඒ බව පෞද්ගලිකව දන්වා තිබේද?

මෙය හැමදෙනාම විමසන ප්‍රශ්නයක්. තේරීම් කමිටුවේ සභාපති හැටියට මං කැමති ඔහු ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රීඩාවේ නියැලෙනවා නම්. ඔහු සුවය ලබා ඇත්නම් ඔහු දන්නවා වෛද්‍ය කමිටුවට ඔහු යා යුතු බව. ඒ වගේම කණ්ඩායමේ භෞත චිකිත්සකවරයාගේ පරීක්ෂණයකටත් සහභාගී විය යුතුයි. ඒ ක්‍රියාවලියේදී ඔහුට සහතිකයක් ලබා දිය හැකි නම් ඔහුට ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉඩ සෑමවිටම විවෘතව තිබෙනවා. අපට ඔහු හා පෞද්ගලික ප්‍රශ්නයක් නැහැ. මා මාධ්‍යයෙන් ඉල්ලා සිටින්නෙ වැරදි තොරතුරු ජනතාව වෙත ගෙන යන්න එපා කියලා. අපේ අරමුණ ශ්‍රී ලංකා ක්‍රිකට් ඉදිරියට ගෙන යාමයි. මාලිංග ලංකාවට වැදගත් ක්‍රීඩකයෙක්. ඔහුට සුවයි නම් මා තරම් සතුටුවන අන් කෙනෙක් නැහැ. මමයි ඒ ගැන වඩාත්ම සතුටුවන්නේ.

2019  කුසලානයට සුදානම් වීමට අපට අවුරුදු තුනක හොඳ කාලයක් ලැබෙනවා. එංගලන්තයේදී තරඟාවලිය පැවැත්වෙන බැවින් මෑත කළ සංචාරයත් අපට වැදගත්. ඊට පෙර අයි. සී. සී. ශුරයන්ගේ කුසලානයත් පැවැත්වෙනවා. කොහොමද කණ්ඩායමේ සුදානම?

ශූරයන්ගේ කුසලානය තමයි මීළඟ වසරේදී අපට වැදගත් වෙන්නේ. නවකයන් තවමත් කණ්ඩායමට ඇතුළු වුනා විතරයි. ස්ථාවරත්වයක් අවශ්‍යවෙන්නේ තවත් ස්ථාන එකක දෙකක පමණයි. අපට හොඳ වේගපන්දු යවන්නන්, හොඳ දඟපන්දු යවන්නන් සහ හොඳ පිතිකරණ ලැයිස්තුවක් සිටිනවා. ඔවුන්ට තව අත්දැකීම් ටිකක් සහ ජාත්‍යන්තර තලයේ ඉඩකඩ තමයි අවශ්‍යවන්නේ. ඔවුන් ඒ අවස්ථාවන් ලබා ගෙන ලොකු තරගාවලි වලට හොඳින් සුදානම් වෙනු ඇතැයි තේරීම් කමිටුව ඔවුන් ගැන විශ්වාසය තබා තිබෙනවා.

අවසන් වශයෙන්, ඔබට කෙතරම් සතුටුද නැවත ක්‍රිකට් ක්ෂේත්‍රයට අවතීර්ණ වෙලා ශ්‍රී ලංකා ක්‍රිකට් නව තලයකට ගෙන ඒම පිළිබඳව?

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්ෂේත්‍රයේ කොටසක් වීම ගැන මා ඉතා සතුටු වෙනවා. මොකද මා අද මෙතන ඉන්නෙත් මට හැමදේම ලැබුණෙත් ක්‍රිකට් නිසයි. අවුරුදු 15ක් 20ක් ඔබේ කණ්ඩායම නියෝජනය කරන්නට ලැබෙනවා කියන්නේ සතුටුදායකම අත්දැකීමක්. ඉතින් ක්‍රීඩාව වෙනුවෙන් මට පුළුවන් හැම පුංචි දෙයක්ම වුවත් ලබා දෙන්නට මා සුදානම්. අනෙක් දේ තමයි විනය. ක්‍රිකට් ක්‍රීඩකයෙකු වශයෙන් ඔබ විනයගරුක විය යුතුයි. ඉතින් ඔබ විනයගරුක නම් මගේ වුවමනාවත් එයයි. එනිසා ඔබ විනයගරුකව ක්‍රියාකිරීමට විශ්වාසයෙන් පසුවෙන්න. එය ඔබට දස්කම් දැක්වීමටත් ජයග්‍රහණ ළඟා කර ගැනීමටත් උදව් වේවි.

ක්‍රීඩාව සඳහා තම දිවියම කැපකළ සනත්ගේ වත්මන් අරමුණ පැහැදිලිය. නවකයන් සමඟ හරි හරියට ඔට්ටුවෙමින් ඔහු මේ වෑයම් කරන්නේ 90 දශකයේ පෙරළිකාර එක්දින ක්‍රිකට් කණ්ඩායම වු ශ්‍රී ලංකාවට වත්මන් ටෙස්ට් පිටියේද, එක්දින පිටියේද, ජයග්‍රාහී මානසිකත්වයක් ඇතිකර දීමය. ශ්‍රී ලංකා ක්‍රිකට් නාමය ලොව ඉහලට ගෙනයන්නට සනත් දරන වෑයමට ThePapare.com අපි හැමදෙනාම සුභ පතන්නෙමු.

තවත් විශේෂාංග ලිපි කියවීමට පිවිසෙන්න