සමුරායි ඝාතනයකින් ඇරඹි ජපානයේ රග්බි කතාව

173

ජපානයේ රග්බි ක්‍රීඩාව ලෝක රග්බි ඉතිහාසය කීපවරක්ම උඩු යටිකුරු කිරීමට සමත්විය. මෙවර ලෝක කුසලාන රග්බි තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබාගැනීම ජපාන රග්බි කතාවේ අලුත්ම පෙරළියයි. ජපාන රග්බි ක්‍රීඩාවේ සුවිශේෂී අවස්ථා කීපයක් AFP විසින් පසුගිය දා පල කර තිබුණා. 

රග්බි අයියලාගෙන් ගේම ඉල්ලන රග්බි මල්ලිලා

2019 රග්බි ලෝක කුසලාන තරගාවලියේ දී මෙතෙක් අප දුටු විශේෂිතම සිදුවීමක්….

සමුරායි ඝාතනය

1860 වසරේ දී ජපානයේ යොකොහමා නගරයේ බ්‍රිතාන්‍ය වෙළෙන්දෙකු ජපාන සමුරායි ප්‍රහාරයකින් මිය යාමත් සමඟම බ්‍රිතාන්‍යය විසින් එම නගරය වෙත තම හමුදා සෙබළුන් එවීමට ක්‍රියා කර තිබුණි. 

එසේ පැමිණි සොල්දාදුවන් තම විවේක වෙලාවේ දී රග්බි ක්‍රීඩා කිරීම නිසා ක්‍රම ක්‍රමයෙන් ජපානයට රග්බි ක්‍රීඩාව පැමිණෙන්නට විය. කෙසේ වෙතත් ජපානයේ නිල වශයෙන් රග්බි ක්‍රීඩාව ආරම්භ වීම 1863 වසරේ දී සිදු වූ අතර ඒ විලියම් වෙබ් එලීස් විසින් බ්‍රිතාන්‍ය රග්බි පාසලේ දී රග්බි ක්‍රීඩාව ලොවට හඳුන්වාදී වසර 40කට පසුවය. 

1866 වසර වන විට මෙලෙස රග්බි ක්‍රීඩාවේ යෙදුණු 40 දෙනෙකු පමණ එක්ව යොකොහමා පාපන්දු සමාජය ආරම්භ කල අතට එය ලොව පළමු විවෘත රග්බි සමාජය ලෙස ඉතිහාස ගත විය. එයට පාසල්, විශ්වවිද්‍යාල නියෝජනය කරන ඕනෑම අයෙකුට සම්බන්ධ විය හැකි විය. 

ජපාන රග්බි ක්‍රීඩාවට වඩාත් ශක්තිමත් අඩිතාලමක් දැමීමට 1900 ශතකයේ ආරම්භයත් සමඟින් කේම්බ්‍රිජ් සරසවියේ එඩ්වර්ඩ් බ්‍රෑම්වෙල් ක්ලාක් හා ජපාන රග්බි ක්‍රීඩක ජිනෝසුකේ ටනාකා විසින් රග්බි ක්‍රීඩාව ටෝකියෝ හි කේයෝ විශ්වවිද්‍යාලයට හඳුන්වා දුන් අතර ක්‍රම ක්‍රමයෙන් බොහෝ පිරිසක් මෙම ක්‍රීඩාවට යොමු විය. 

1930 දශකයේ ආරම්භක අවධියේ දී 20000 ක පමණ ප්‍රේක්ෂකයන් පිරිසක් තරග නැරඹීමට පැමිණ සිට ඇත. මේ බව ජපාන රග්බි ඉතිහාසය පිළිබඳව වාර්තා සපයන මයික් ගල්බ්‍රෑත් පවසා ඇත. 

ජපාන රග්බි පාපන්දු සංගමයේ ආරම්භය 1926 වසරේදී සටහන් වූ අතර ජපාන ජාතික කණ්ඩායමක් ප්‍රථම වතාවට විදෙස් සංචාරයක් සඳහා එක්වූයේ 1930 වසරේ කැනඩාවට එරෙහිවය. 

ලෝක කුසලාන ආගමනය

1987 වසරේ සිට මේ දක්වා සියලු ලෝක කුසලාන තරගාවලි සඳහා ජපානය සහභාගි වී ඇත. ජපානය සහභාගි වූ පළමු ලෝක කුසලාන තරගයේ දී ඇමරිකා කණ්ඩායම හමුවේ ලකුණු 21-18ක් ලෙස පරාජය වූ අතර ඉන් අනතුරුව එංගලන්තය හමුවේ ලකුණු 60-07ක් ලෙස දරුණු පරාජයකට ලක්වීමට ද ඔවුන්ට සිදු විය. 

ලෝක කුසලාන රග්බි ඉතිහාසයේ ජපානය ලැබූ දරුණුතම පරාජය ලෙස 1995 වසරේ නවසීලන්තය හමුවේ ලද පරාජය දැක්විය හැක. එහි දී නවසීලන්ත කණ්ඩායම ජපානය පරාජය කළේ ලකුණු 145-17ක් ලෙසිනි. 

තරගයේ දී 91%කම පන්දුව තමන් සතුව පවත්වා ගැනීමට නවසීලන්තය සමත් වූ අතර ඔවුන් උත්සාහක දිනුම් 21ක් වාර්තා කර තිබුණි. මෙම තරගය තවමත් ලෝක කුසලාන වාර්තාවක් ලෙස සටහන් වේ. 

ඉන් අනතුරුව පැවති ලෝක කුසලානවල දී ජපානය 2007 වසරේ දී ඕස්ට්‍රේලියාව හමුවේ ලකුණු 91-03ක් ලෙස හා 2011 වසරේ දී නවසීලන්තය හමුවේ ලකුණු 83-07ක් ලෙස පරාජය වීමට ජපානයට සිදු විය. 

2015 ලෝක කුසලානය අවසන් වන විට ජපානය ලෝක කුසලාන තරග 24කට ක්‍රීඩා කර ජයග්‍රහණය කර තිබුණේ එක් තරගයක් පමණි. තරග 21ක් පරාජය වී තිබූ අතර කැනඩාව හමුවේ පැවති තරග දෙකක් ජය පරාජයෙන් තොරව අවසන්ව තිබුණි. නමුත් 2015 වසරේ දී ජපාන ඉතිහාස කතාව වෙනස් වීම ආරම්භ විය. 

2019 රග්බි ලෝක කුසලානය උඩු යටිකුරු කළ හොඳම 7

2019 රග්බි ලෝක කුසලාන තරගාවලියේ කාණ්ඩ අදියරේ අවසන් තරග වටය….

දෛවය වෙනස් වෙයි

2015 ලෝක කුසලානය වන විට ජපානය ප්‍රබල කණ්ඩායමක් ගොඩනගාගෙන සිටි අතර නව පුහුණුකරුවෙකු යටතේ පුහුණුව සිටියහ. ලෝක කුසලානය පිළිබඳව නව බලාපොරොත්තු සමඟින් තරගාවලිය ආරම්භ කිරීමට ජපානය සූදානම්ව සිටියහ. 

නමුත් ජපානය ද බලාපොරොත්තු නොවූ ලෙස කාණ්ඩ වටයේ පළමු තරගයේ දී ප්‍රබල දකුණු අප්‍රිකාව හමුවේ ඔවුන් දැක්වූ දස්කම් රග්බි ක්‍රීඩාලෝලීන්ට නම් කිසිදා අමතක නොවනු ඇත. 

තරගයේ නියමිත කාලය අවසන් වන විට ලකුණු 3ක පමණක් පසුපසින් සිටි ජපානයට දඬුවම් පහරක් මඟින් තරගය ජය පරාජයෙන් තොරව අවසන් කිරීමට අවස්ථාව උදා විය. නමුත් ජපාන නායකයා ගත් තීරණය එය නොවේ. 

තරගය නැවත ආරම්භ විය. ජපාන කණ්ඩායම ප්‍රබල දකුණු අප්‍රිකානු ඉදිරිපෙළ ආක්‍රමණය කළේය. වින්ග් ක්‍රීඩක කර්න් හෙස්කෙත් උත්සාහක දිනුමක් වාර්තා කළේ මුළු මහත් ක්‍රීඩාංගණයේ මෙන්ම ලෝක රග්බි ක්‍රීඩාලෝලීන්ගේ හදවත් මොහොතකට නතර කරමිනි. 

ඒ සමඟින් තරගය අවසන් වන සංඥාව විනිසුරු විසින් දැන්වූ අතර ජපානය ලකුණු 34-32ක් ලෙස තරගය ජයග්‍රහණය කර සිටියහ. 2015 වනතුරු එක් තරගයක් පමණක් ජයග්‍රහණය කර සිටි ජපානය ලබා ගත් මෙම ජයග්‍රහණය රග්බි ලෝක කුසලාන ඉතිහාසයේ මෙන්ම ලෝක රග්බි ඉතිහාසයේ ද biggest upset ලෙස සැලකේ. 

ජපානය 2015 ලෝක කුසලානයේ දී සැමෝවා කණ්ඩායම හා ඇමරිකානු කණ්ඩායම පරාජය කරමින් අර්ධ අවසන් පූර්ව වටයේ බලාපොරොත්තු දල්වා සිටි නමුත් ස්කොට්ලන්ත කණ්ඩායම හමුවේ ලකුණු 45-10ක් ලෙස ලද පරාජය ඔවුන්ගේ එම බලාපොරොත්තු බිඳ දැමීමට සමත් විය. 

කෙසේ වෙතත් 2015 ලෝක කුසලානය ජපාන රග්බි ඉතිහාසය වෙනස් කිරීමට සමත් වූ අතර ජපානයේ රග්බි අනාගතය සඳහා ප්‍රබල අඩිතාලමක් දැමීමට සමත් විය. 

අපරාජිත ජපානය

ආසියාවේ පැවැත්වෙන පළමු ලෝක කුසලාන තරගාවලිය ලෙස 2019 රග්බි ලෝක කුසලාන තරගාවලිය සංවිධානය විය. 

තරගාවලිය සඳහා සහභාගි වන ජපාන කණ්ඩායමට ප්‍රශ්න දෙකක් ඇතිවී තිබුණි. ඒ ජපාන ක්‍රීඩාලෝලීන්ගේ පැමිණීම හා එම පැමිණීමට සාධාරණයක් ඉටු කිරීමට ඔවුන්ට හැකි වේ දැයි යන්නය. ලෝක කුසලාන තරගාවලිය ආරම්භ කරමින් ජපානය හා රුසියාව තරග වැදුණු අතර දහස් සංඛ්‍යාත ක්‍රීඩාලෝලීන්ට සාධාරණයක් ඉටු කරමින් එම තරගය ජයග්‍රහණය කිරීමට ජපානය සමත් විය. 

කාණ්ඩ වටයේ දෙවන තරගය සඳහා ජපානය අයර්ලන්තය සමඟින් තරග වැදුණු අතර කාණ්ඩයේ ප්‍රබලතම කණ්ඩායම ලෙස අයර්ලන්තය බොහෝ දෙනා හදුන්වා දී තිබුණි. නමුත් ජපානයේ මෙවර ද තම දෛවය වෙනස් කරගත්තේය. 

ලෝක කුසලාන රග්බි ඉතිහාසයේ පෙරළිකාරයන් ලෙස විරුදාවලිය ලබා සිටි ජපානය මෙවර ද එය සනාථ කළේය. තරගය නිමා වන විට ලකුණු පුවරුව දැක්වූයේ ලකුණු 19-12ක් ලෙසිනි. ජපානය ලකුණු 19ක් ලබා ප්‍රබල අයර්ලන්තය පරාජය කර තිබුණි. 

සකුරාව හඬවමින් Springboks සහ වේල්සය යෝධ ඉදිරි පියවරක් තබයි

2019 රග්බි ලෝක කුසලාන තරගාවලියේ අනෙක් අර්ධ අවසන් පූර්ව වටයේ තරග….

එම ජයග්‍රහණයත් සමඟින් කාණ්ඩ වටයේ ජපානයට තිබූ ප්‍රබලතම අභියෝගය අවසන් විය. අර්ධ අවසන් පූර්ව වටය සඳහා පිවිසීමේ බලාපොරොත්තු ඔවුන් අභියස තිබුණි. එම කාණ්ඩයේ ජපානය හා ස්කොට්ලන්ත තරගය වන විට ජපානය තමන් මුහුණ දුන් තරග තුනම ජයග්‍රහණය කරමින් අවසන් පූර්ව වටයේ අසුනක් වෙන් කරගෙන සිටි අතර ස්කොට්ලන්ත තරගයේ ප්‍රතිඵලය ඔවුන් කාණ්ඩ වටය නිමා කරන ස්ථානය තීරණය කරන එකක් විය. 

නමුත් 67000කට අධික ජපාන ප්‍රේක්ෂකයන් ට අමතක නොවන රාත්‍රියක් උදා කරමින් ස්කොට්ලන්තය ලකුණු 28-21ක් ලෙස පරාජය කිරීමට ජපානය සමත් විය. ඔවුන් අපරාජිතව කාණ්ඩයේ පෙරමුණ ලබාගනිමින් අර්ධ අවසන් පූර්ව වටය සඳහා පිවිසීමට සමත් විය. 

මෙම තරග ජයග්‍රහණයත් සමඟින් ජපානය ලෝක රග්බි ශ්‍රේණිගත කිරීම්වල 7 වැනි ස්ථානය දක්වා ගෙන ඒමට සමත් විය. ඒ ප්‍රබල ප්‍රංශය ද පසු කරමිනි. ජපානයේ මෙම දස්කම් ඔවුන් ලෝක රග්බි දැවැන්තයන් ගොන්නට එකතු කළ යුතු බව බොහෝ දෙනාගේ මතය විය. 

ලෝක රග්බි ප්‍රධානී බිල් බොයුමොන්ට් පවසන ආකාරයට ජපානය ලෝක රග්බි ක්‍රීඩාවට නව මානයක් එක් කළ බවත්, රග්බි ක්‍රීඩා කළ යුතු ආකාරය පිළිබඳව නව අදහසක් ලොවට එක් කළ බවත් පවසා සිටියේය. 

කෙසේ වෙතත් ජපානය කණ්ඩායමට අර්ධ අවසන් පූර්ව වටයේ දී මුණගැසුනේ තම පැරණි ප්‍රතිවාදියා වූ දකුණු අප්‍රිකාව ය. 2015 මෙන්ම මෙවර ද දකුණු අප්‍රිකාවට නින්ද නැති රාත්‍රියක් ජපානය උදා කරනු ඇතැයි ජපාන ක්‍රීඩාලෝලීන්ගේ බලාපොරොත්තුව වුවද එම සියලු සිහින් බිඳ දැමීමට දකුණු අප්‍රිකාව සමත් වූයේ ලකුණු 26-03ක් ලෙසිනි. 

ජපානයට අවසන් පූර්ව වටයට පිවිසීමට නොහැකි වුවද මෙවර ලෝක කුසලානයේ ජපානය දැක්වූ දස්කම් ලෝක කුසලාන රග්බි ඉතිහාසයේ නව පරිච්ඡේදයක් ඇරඹීමට සමත් විය.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<