සමපෝෂ පාපන්දු ශූරතාවය පොළොන්නරුව රාජකීය විද්‍යාලයට

378
Samaposha U14 Football Tournament

වයස අවුරුදු 14න් පහළ සමපෝෂ පාපන්දු ශූරතාවලියේ පොළොන්නරුව දිස්ත්‍රික්කය සඳහා වන තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට පොළොන්නරුව රාජකීය විද්‍යාලයීය කණ්ඩායම ඊයේ (25) සමත් විය. තරගාවලිය දින 2ක් පුරාවට පොළොන්නරුව බැඳිවැව මහා විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන ලදි.

අවසන් තරගයට පොළොන්නරුව රාජකීය සහ බැඳිවැව මහා විද්‍යාල අතර සටනක්

වයස අවුරුදු 14න් පහළ සමපෝෂ පාපන්දු ශූරතාවලියේ පොළොන්නරුව දිස්ත්‍රික්කය සඳහා.

ඊයේ උදෑසන පැවති පළමු තරගය වූයේ පොළොන්නරුව රාජකීය විද්‍යාලය සහ බැඳිවැව මහා විද්‍යාලය අතර පැවති දෙවන අවසන් පූර්ව තරගයයි. එම තරගය ගෝල 2-0ක් වශයෙන් ජයග්‍රහණය කරමින් තරගාවලියේ අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගන්නට පොළොන්නරුව රාජකීය විද්‍යාලයීය කණ්ඩායම සමත් විය.

පෙරේදා (24) දිනයේ පැවති පළමු අවසන් පූර්ව තරගයේ දී මැදිරිගිරිය ජාතික පාසල් කණ්ඩායම ගෝල 3-0ක් වශයෙන් පරාජයට පත්කරමින් අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබාගත් පළමු කණ්ඩායම බවට පත්වීමට ගලැල්ල අල් අසාර් මුස්ලිම් මහා විද්‍යාලයීය කණ්ඩායම සමත් විය.

ඒ අනුව තරගාවලියේ අවසන් මහා තරගය පැවැත්වුණේ පොළොන්නරුව රාජකීය විද්‍යාලය සහ ගලැල්ල අල් අසාර් මුස්ලිම් මහා විද්‍යාලය අතරයි. තරගයට සාර්ථක ආරම්භයක් ලබා ගන්නට සමත් වූ අල් අසාර් විද්‍යාලයීය ක්‍රීඩකයින් තරගයේ පළමු ගෝලය වාර්තා කර ගනිමින් ප්‍රතිවාදීන්ට ප්‍රබල පීඩනයක් එල්ල කරන්නට සමත් විය. කෙසේ නමුත් එම පීඩනයට සාර්ථකව මුහුණ දුන් පොළොන්නරුව රාජකීය විද්‍යාලයීය ක්‍රීඩකයින් තරගයේ පළමු අර්ධය තුළ දී ම ගෝල 2ක් වාර්තා කර ගනිමින් තරගයේ ඉදිරියට පැමිණෙන්නට සමත් විය.

අනතුරුව පැවති තරගයේ දෙවන අර්ධයේ දී කණ්ඩායම් දෙකම කිසිදු ගෝලයක් වාර්තා කර ගැනීමට අපොහොසත් වූ අතර ඒ අනුව ගෝල 2-1ක් ලෙස තරගය ජයග්‍රහණය කරමින් පොළොන්නරුව රාජකීය විද්‍යාලයීය කණ්ඩායම වයස අවුරුදු 14න් පහළ පොළොන්නරුව දිස්ත්‍රික්කය සඳහා වන සමපෝෂ පාපන්දු ශූරතාවලියේ ශූරතාවය දිනා ගැනීමට සමත් විය.

ඒ අනුව පොළොන්නරුව රාජකීය විද්‍යාලයීය කණ්ඩායම, පොළොන්නරුව දිස්ත්‍රික් ශූරයින් ලෙස තරගාවලියේ සමස්ත ලංකා මට්ටමේ තරගාවලියට සුදුසුකම් ලබාගන්නා ලදි.

>> තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<