සජීව වීරකෝන් කඩුලු 800 සමාජයට

1405
Sajeewa Weerakoon

ඊයේ (22) සැරසන්ස් ක්‍රීඩා සමාජයට එදිරිව කඩුලු 5ක් දවාලූ වමත් දඟපන්දු යවන ක්‍රීඩක සජීව වීරකෝන් පළමු පෙළ කඩුලු 800ක් ලබාගෙන, කඩුලු 800 කීර්තිමත් සමාජයට ඇතුළු වීමට අවස්ථාව උදාකරගන්නා ලදී.

38 හැවිරිදි වීරකෝන් සැරසන්ස් ක්‍රීඩක දෙනුවන් රාජකරුණාව දෙවන ඉණිමේ දී දවාගනිමින් තම 800 වැනි කඩුල්ල ලබා ගැනීමට සමත් විය. ඔහු මෙවර ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය තුල තරග 6කදී කඩුලු 25ක් දවාලමින් ගාල්ල ක්‍රිකට් සමාජයේ ප්‍රධාන පන්දු යවන්නෙකු ලෙස මෙන්ම නායකත්වයේ වගකීම දරා සිටියි.

ගාල්ල සාන්ත ඇලෝසියස් විද්‍යාලයෙන් තම අධ්‍යාපනය අවසන් කල වීරකෝන් 1996/97 සමයේ දී තම මංගල පළමු පෙළ තරගය, ටැමිල් යූනියන් ක්‍රීඩා සමාජය වෙනුවෙන් ක්‍රීඩා කල අතර, ඔහු ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය තුළ දක්ෂ ලෙස පන්දු යැවූ නිසා 6 වරක් තම දස්කම් වෙනුවෙන්  අභිසෙස් ලබාගෙන ඇත.

එවන් දස්කම් දක්වා ඇති වීරකෝන් හට 2012 වර්ෂයේදී පාකිස්තානු කණ්ඩායමට එදිරිව ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කරමින් එක්දින තරග දෙකක් සදහා සහභාගි වී ඇති අතර, ඉන්පසුව කිසිදු තරගාවලියක සංචිතයකට හෝ ඇතුළත් වීමට මෙම දක්ෂ ක්‍රීඩකයාට අවස්ථාව උදාවූයේ නැත.

ඔහු BRC ක්‍රීඩා සමාජය, කෝල්ට්ස් ක්‍රිකට් සමාජය, රුහුණු කණ්ඩායම, ශ්‍රී ලංකා A කණ්ඩායම හා විදේශ ක්‍රිකට් කණ්ඩායමක් වන වික්ටෝරියා ක්‍රීඩා සමාජය ද නියෝජනය කර ඇත.

රංගන හේරත් හා ‍ලෝක පූජිත ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් වැනි දක්ෂ ක්‍රීඩකයින් මෙම කඩුලු 800 සමාජයේ සිටින අනිකුත් ක්‍රීඩකයින් වේ.

තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට