ශ්‍රී ලංකාවේ අවසන් පූර්ව බලාපොරොත්තු සුන්වෙයි

76

දකුණු ආසියානු 18න් පහළ පාපන්දු තරගාවලියේ මූලික වටයේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වූ දෙවන තරගය අද (25) ඉන්දියාව සමඟින් පැවැත්විය. එහි දී ගෝල 3-0ක් ලෙස ඉන්දියාව ජයග්‍රහණය කළ අතර ඒ සමඟින් ශ්‍රී ලංකා කණ්ඩායමේ අවසන් පූර්ව තරග බලාපොරොත්තු සුන්විය. 

ශ්‍රී ලංකා කණ්ඩායමට බංග්ලාදේශයෙන් ප්‍රහාරයක්

3 වැනි දකුණු ආසියානු 18 න් පහළ පාපන්දු තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම…

ශ්‍රී ලංකා කණ්ඩායම පළමු තරගයේ දී බංග්ලාදේශය හමුවේ පරාජය වූ අතර එම තරගය සඳහා සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් දෙකක් මෙම තරගය සඳහා ක්‍රීඩා කළ කණ්ඩායමේ දක්නට ලැබුණි. 

තරගය තරමක වැසි බර කාලගුණයක් සමඟින් ආරම්භ වූ අතර ඉන්දීය කණ්ඩායම මුල් මිනිත්තු කීපයේ දී ප්‍රබල ක්‍රීඩා රටාවක් අනුගමනය කරමින් පන්දුව වැඩි වේලාවක් ඔවුන් සතුව තබා ගනිමින් ක්‍රීඩා කළේය. කෙසේ වෙතත් ශ්‍රී ලංකා ආරක්ෂකයන් හමුවේ ගෝලයක් වාර්තා කිරීමට ඔවුන් අසමත් විය. 

මුල් මිනිත්තු කීපයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම ඔවුන්ගේ අර්ධයේ ක්‍රීඩා කළ අතර ආබාධයක් නිසාවෙන් මොහොමඩ් සාජිඩ් වෙනුවට තලාල් ශිහාබ් ආදේශ කිරීමට ද සිදු විය. 

කෙසේ වෙතත් තරගයේ පළමු අර්ධයේ දී කිසිදු ගෝලයක් වාර්තා කිරීමට කණ්ඩායම් දෙකම අසමත් වූ අතර ප්‍රබල ඉන්දීය කණ්ඩායම එම අර්ධයේ දී සම්පූර්ණයෙන්ම මෙල්ල කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. 

පළමු අර්ධය: ඉන්දියාව 00 – 00 ශ්‍රී ලංකාව

දෙවන අර්ධයේ දී ඉන්දීය කණ්ඩායම ගෝලයක් ලබා ගැනීමට ප්‍රබල උත්සාහයක් ගත් අතර ශ්‍රී ලංකා ගෝල රකින ක්‍රීඩක මොහොමඩ් මුර්සිත් දක්ෂ වැළැක්වීමක් මගින් ගෝලයක් ලබා ගැනීමේ අවස්ථාව වැළැක්වීය. ඉන්දීය කණ්ඩායම ගෝල ලබා ගැනීමට ගත් උත්සාහයන් කීපයක්ම මුර්සිත් විසින් වැළැක්වීමට සමත් විය. 

තරගයේ 60 වැනි මිනිත්තුවේ දී ඉන්දියාව වෙනුවෙන් පළමු ගෝලය වාර්තා කිරීමට ගුර්කිරාට් සිං සමත් වූ අතර ඔහු ශ්‍රී ලංකා ආරක්ෂක වලල්ල සාර්ථකව පසුකරමින් එම ගෝලය වාර්තා කිරීමට සමත් විය. 

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් තලාල් ශිහාබ් ගෝලයක් වාර්තා කිරීමට ප්‍රබල උත්සාහයක් ගත් නමුත් එය අසාර්ථක වීම නිසා ඉන්දීය කණ්ඩායම තවදුරටත් තරගයේ පෙරමුණ තබා ගැනීමට සමත් විය. 

තරගයේ 88 වැනි මිනිත්තුවේ දී ඉන්දියාව වෙනුවෙන් දෙවන ගෝලයත් වාර්තා කිරීමට ගුර්කිරාට් සිං සමත් වූයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ බලාපොරොත්තු තවදුරටත් සුන් කරමිනි. එම ගෝලය ගෝල සීමාවට එපිටින් සිට වාර්තා කළ අතර එය වැළැක්වීමට ගෝල රකින ක්‍රීඩක මොහොමඩ් මුර්සිත්ට නොහැකි විය. 

නේපාලයට අභියෝග කරන්නට පාපන්දු පොඩ්ඩෝ කත්මණ්ඩු යයි

දකුණු ආසියානු 18න් පහළ පාපන්දු තරගාවලිය අද (20) නේපාලයේ කත්මණ්ඩු හිදී ආරම්භ විය. තරගාවලිය…

තරගයේ නියමිත කාලය අවසන් වූ පසු ලබා දුන් අතිරේක කාලයේ පළමු මිනිත්තුවේ දී ම තුන්වැනි ගෝලය වාර්තා කිරීමට ඉන්දීය කණ්ඩායම සමත් වූ අතර එම ගෝලය අමාන් චෙත්‍රි විසින් වාර්තා කළේය. 

තරගයේ නියමිත කාලය අවසන් වනතුරු ගෝලයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් නොවූ අතට තරගය නිමා වූයේ ගෝල 3-0ක් ලෙස ඉන්දීය කණ්ඩායමට ජයග්‍රහණය හිමිකර දෙමිනි. 

අවසන් ලකුණු තත්ත්වය: ඉන්දියාව 03 – 00 ශ්‍රී ලංකාව

මෙම පරාජයත් සමඟින් ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලියෙන් ඉවත් වූ අතර ඔවුන් සහභාගි වන මීළඟ තරගාවලිය එළඹෙන නොවැම්බර් මස කටාර් හිදී පැවැත්වීමට නියමිතය. ඒ ආසියානු කුසලානය සඳහා සුදුසුකම් ලැබීමේ තරගාවලියයි. 

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<