ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ පුහුණු තරගයේ දී බංගලාදේශය පරාජය කරයි

415

SAFF සුසුකි කුසලානයට (SAFF Suzuki Cup 2018) පෙර සූදානමක් වශයෙන් ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම හා බංගලාදේශ පාපන්දු කණ්ඩායම ඊයේ (29) පුහුණු තරගයකට සහභාගී වූ අතර බංගලාදේශය පරාජය කරමින් ගෝල 1-0ක් ලෙස තරගය ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. තරගය බංගලාදේශයේ නිල්පමාරි හි ශේයික් කමාල් ක්‍රීඩාංගණයේ දී පැවැත්විය.

SAFF ශූරතාවලියට යන ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ

2018 දකුණු ආසියානු පාපන්දු ශූරතාවලිය මෙවර බංගලාදේශයේ දී පැවැත්වෙන අතර ඒ සඳහා සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය ඊයේ (24) පැවති මාධ්‍ය හමුවක දී ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය (FFSL) විසින්…

ශ්‍රී ලංකා පා පහරින් තරගය ආරම්භ වූ අතර තරගයේ පළමු ආසන්න අවස්ථාව හිමි වූයේ බංගලාදේශයටයි. හරස් පන්දු යොමු කිරීමක් බංගලාදේශ ක්‍රීඩකයෙකු දැල වෙත යොමු කළ අතර ගෝල රකින ක්‍රීඩක සුජාන් පෙරේරා එම අවස්ථාව ව්‍යර්ථ කළේ බංගලාදේශයට නිසැක ගෝලයක් අහිමි කරමිනි.

පළමු මිනිත්තු 10 තුල බංගලාදේශ කණ්ඩායම ඉතා ප්‍රබල ලෙස ක්‍රීඩා කළත් ගෝල රාමුවට සෑහෙන දුරින් සිට (යාර 40ක් පමණ දුර සිට) මොහොමඩ් ෆසාල් සුපිරි ගෝලයක් වාර්තා කළේ බංගලාදේශ කණ්ඩායම අන්දමන්ද කරමිනි.

බංගලාදේශ අර්ධයට පිවිසි වහාම ඔහු දිගු ප්‍රහාරයකට ගිය අතර ගුවනේ සෑහෙන වෙලාවක් පාවී ගිය පන්දුව බංගලාදේශ ගෝල රකින්නා අන්දමන්ද කරමින් දැල තුළට ගියේ තරගයේ එකම ගෝලය ලෙසයි. තමා පැලඳ සිටි ජර්සිය ගලවා එම ගෝලය සැමරීම නිසා ෆසාල් හට කහ කාඩ්පතකින් අවවාද කිරීමට ද විනිසුරු තීරණය කළේය.

එම ගෝලයෙන් අනතුරුව බංගලාදේශ ක්‍රීඩකයින් වරින්වර ආක්‍රමණයේ නිරත වුවද ශ්‍රී ලංකා ආරක්ෂක ක්‍රීඩකයින් ඉතා අවධානයෙන් දක්ෂ ලෙස ක්‍රීඩා කරනු දක්නට ලැබුණි. 26 වන මිනිත්තුවේ දී බංගලාදේශයට ඉතා ආසන්න අවස්ථාවක් හිමි වූ අතර බංගලාදේශ අංක 10 ක්‍රීඩකයාගේ ප්‍රහාරයක් සුජාන් දක්ෂ ලෙස රැකගත්තේ තවත් නිසැක ගෝලයක් ඔවුන්ට අහිමි කරමිනි.

පළමු අර්ධය: බංගලාදේශය 00 – 01 ශ්‍රී ලංකාව

දෙවන අර්ධයේ පළමු මිනිත්තුවේ සිටම බංගලාදේශ ක්‍රීඩකයින් ආක්‍රමණයේ නිරත වූ අතර කිහිපවතාවක්ම සුජාන් ශ්‍රී ලංකාව ගලවා ගත්තේ ශ්‍රී ලංකාව දිගටම පෙරමුණේ තබා ගනිමිනි.

තෙවන සතිය අවසානයේ ලිවර්පූල් පෙරමුණේ

2018-19 එංගලන්ත ප්‍රිමියර් ලීග් තරගාවලියේ තෙවැනි සති අන්තයේ තරග බොහොමයක් බලාපොරොත්තු වූ ප්‍රතිඵල සමඟ අවසන් වූ නමුත් තරග කිහිපයක් අවසන් වූයේ ප්‍රබල කණ්ඩායම්වල…

බංගලාදේශය දිගින් දිගටම පන්දුව තමන් සතුව තබා ගනිමින් ප්‍රහාර එල්ල කළ අතර ඔවුන්ගේ ආක්‍රමණයකට ඉතා සන්සුන්ව ප්‍රතිචාර දැක්වූ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ තරගයේ අවසන් වන තෙක් පෙරමුණේ සිටීමට සමත් විය.

විනිසුරු මිනිත්තු 9ක අමතර කාලයක් සඳහා තරගය ක්‍රියාත්මක කළ අතර අවසන් බංගලාදේශ උත්සාහයත් සුජාන් ව්‍යර්ථ කළේ තරගයේ ජය ශ්‍රී ලංකාවට හිමිකර දෙමිනි.

2016 වසරෙන් පසු මේ ශ්‍රී ලංකාව ජාත්‍යන්තර තරගයක් ජය ගත් දෙවන වතාව වන අතර සැප්තැම්බර් 5 වැනිදා ඇරඹීමට නියමිත SAFF සුසුකි තරගාවලිය සඳහා මෙය ශ්‍රී ලංකා කණ්ඩායමට ඉතා හොඳ ආරම්භයක් වනු ඇත.

නියමිත කාලය අවසානයේ: බංගලාදේශය 00 – 01 ශ්‍රී ලංකාව

ගෝල රැස්කළ ක්‍රීඩකයෝ

  • ශ්‍රී ලංකාව – මොහොමඩ් ෆසාල් 10’

>>තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට<<