ජාත්‍යන්තර පාපන්දු තරගාවලියක් කල්යයි!

282

දකුණු ආසියානු පාපන්දු සංගමය විසින් මේ වසරේ දෙසැම්බර් මාසයේ දී බංග්ලාදේශයේ දී පැවැත්වීමට නියමිතව තිබූ 12 වන දකුණු ආසියානු පාපන්දු තරගාවලිය ලබන වසරේ මැයි මාසය දක්වා කල්ගොස් ඇත.

මේ වසර අග භාගයේ දී ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය විසින් සංවිධානය කරනු ලබන තරගාවලියක් වන වයස අවුරුදු 17න් පහළ ලෝක කුසලාන පාපන්දු තරගාවලිය ඇතුළුව තවත් ජාත්‍යන්තර පාපන්දු තරගාවලි කිහිපයක්ම පැවැත්වීමට නියමිතව තිබෙන නිසා ඉන්දීය පාපන්දු සම්මේලනය විසින් දකුණු ආසියානු පාපන්දු සම්මේලනය වෙත මෙම තරගාවලිය තරමක් ප්‍රමාද කරන ලෙස ඉල්ලීමක් කර ඇති අතර, එයට පිළිතුරු ලෙස දකුණු ආසියානු පාපන්දු සම්මේලනය විසින් මෙම පාපන්දු තරගාවලිය ලබන වසරේ මැයි මාසය දක්වා කල්තැබීමට තීරණය කර ඇත. ඒ අනුව මෙම පාපන්දු තරගාවලිය ලබන වසරේ මැයි මාසයේ 1 වැනිදා සිට 12 වැනිදා දක්වා බංග්ලාදේශයේ දී පැවැත්වේ.

15න් පහළ SAFF ශූරතාවලියට ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ

මෙම මස 18 වන දින සිට 27 වන දින දක්වා නේපාලයේ කත්මණ්ඩු නුවර දී පැවැත්වීමට නියමිත වයස අවුරුදු 15න් පහළ දකුණු ආසියානු පාපන්දු…

මෙම තරගාවලිය මීට පෙර පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබුණේ මේ වසරේ දෙසැම්බර් මාසයේ දී වන අතර, මේ වසරේ ඔක්තෝබර් මාසයේ දී පැවැත්වෙන වයස අවුරුදු 17න් පහළ පාපන්දු ලෝක කුසලාන තරගාවලිය ඉන්දියාවේ පැවැත්වෙන නිසා මෙන්ම එයින් පසුව කණ්ඩායම් 11ක් සහභාගි වන ඉන්දීය පාපන්දු ප්‍රිමියර් ලීග් තරගාවලිය පැවැත්වෙන නිසා ඉන්දීය පාපන්දු සම්මේලනය විසින් දකුණු ආසියානු පාපන්දු සම්මේලනය වෙත මෙම තරගාවලිය යම් කාලයකට කල් තැබීමක් සිදු කරන ලෙස ඉල්ලීමක් කර ඇත.

දකුණු ආසියානු පාපන්දු සම්මේලනය විසින් ඔවුන්ගේ ඉල්ලීම සලකා බලා ලබන වසරේ මැයි 1 වැනිදා සිට 12 වැනිදා දක්වා මෙම තරගාවලිය පැවැත්වීමට තීරණය කර ඇති අතර, එම දින වකවානු දක්වා මෙම තරගාවලිය කල්තැබීම පිළිබඳව ඉන්දීය පාපන්දු සම්මේලනය විසින් දකුණු ආසියානු පාපන්දු සම්මේලනය වෙත සිය ස්තුතිය පළකර ඇත.

ඉන්දීය පාපන්දු කණ්ඩායම දකුණු ආසියානු පාපන්දු තරගාවලිය තුල ඉහළ දස්කම් විදහා දක්වන කණ්ඩායමකි. පසුගිය තරගාවලිය 2015 දෙසැම්බර් හා 2016 ජනවාරි මාසයේ දී ඉන්දියාවේ තිරුවන්නාතපුරම් හිදී පැවැත්විය.

“ඉන්දීය කණ්ඩායම නොමැතිව දකුණු ආසියානු පාපන්දු තරගාවලිය පවත්වන එක ඉතාමත් විශාල අඩුපාඩුවක්. ඔවුන්ට කාර්යබහුල තරග කාලසටහනක් තිබෙන නිසා මෙම තරගාවලිය යම් කාලසීමාවකට කල්තබන ලෙස අපෙන් ඉල්ලීමක් කළා. දැන් අපි මේ තරගාවලිය ලබන වසරේ මැයි පළමුවැනි දා දක්වා කල්දමා තිබෙනවා.” යැයි දකුණු ආසියානු පාපන්දු සම්මේලනයේ ලේකම් අන්වාරුල් හක් හීලාල් මහතා සිය අදහස් ප්‍රකාශ කළේය.

පාකිස්තානු කණ්ඩායම හා ඇෆ්ගනිස්තානු කණ්ඩායම මෙවර සහභාගි වීම අවිනිශ්චිතව ඇති අතර, ඒ ඔවුන්ට පවතින අභ්‍යන්තර ගැටලුකාරී වාතාවරණය නිසාවෙනි. ඒවගේම ඔවුන් වැඩි ලෙස ජාත්‍යන්තර තරගාවලි සඳහා ද සහභාගි වන්නේ නොමැත.

“අපි අපේ මීළඟ විධායක සභාවාරයේ දී මෙම තරගාවලියට සහභාගි වන කණ්ඩායම් ප්‍රමාණය නිසි ලෙස තීරණය කරනවා. පාකිස්තානු කණ්ඩායමට ජාත්‍යන්තරයම වශයෙන් ද විශාල අර්බුද තිබෙනවා. ඇෆ්ගනිස්තාන කණ්ඩායමට අපි ආරාධනා කරනවා ද නැද්ද කියා තාම තීරණය කර නෑ. නමුත් තරග අනුග්‍රාහකයින් මෙම තරගාවලිය සඳහා ජාතික කණ්ඩායම් 8ක් සහභාගි විය යුතු බව ප්‍රකාශ කරලා තියෙනවා.” යැයි අන්වාරුල් හක් හීලාල් මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කළේය.

 තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට