මැතිව්ස් වෙනුවට කඩුලු රකින පිතිකරුවෙක්

6101

ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර පැවැත්වුණු දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය අතරතුර ආබාධයකට ලක්වූ ඇන්ජලෝ මැතිව්ස් සති හතරකට ආසන්න පමණ කාලයක් විවේකීව සිටිය යුතු බවට රෝහල් බලධාරීන් පවසා තිබෙන නිසාවෙන් ඔහු වෙනුවට ශ්‍රී ලංකා එක්දින සංචිතයට සදීර සමරවික්‍රම කැඳවීමට තීරණය කර තිබෙන බව ThePapare.com වෙත වාර්තා වේ.

ඇන්ජලෝ මැතිව්ස්ගේ ආබාධයේ නවතම තත්වය මෙන්න

දෙරට අතර පැවැත්වෙන තරග 3කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු එක්දින ක්‍රිකට් තරගය ජනවාරි මස 3 වැනිදා ආරම්භ වීමට නියමිතයි. පසුගිය දෙසැම්බර් 14 වැනිදා නිකුත් වූ ක්‍රීඩකයින් 17 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් සංචිතය සඳහා ඇන්ජලෝ මැතිව්ස් ඇතුළත්ව සිටි නමුත් පසුගිය 29 වැනිදා නැවත වතාවක් මැතිව්ස්ගේ කලවා ප්‍රදේශය ආබාධයකට ලක්වීම නිසා ඔහුට ශ්‍රී ලංකා – නවසීලන්ත සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලිය හා ඕස්ට්‍රේලියානු ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය මඟ හැරෙනු ඇත.

නවසීලන්ත තරග සංචාරය සඳහා පිටව ගිය ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයට ඇතුළත්ව සිටි කඩුලු රකින පිතිකරුවෙක් වන සදීර සමරවික්‍රම මේ වන විට නවසීලන්තයේ රැඳී සිටින අතර මැතිව්ස්ගෙන් හිස්වන ස්ථානය සදීර වෙත ලැබීමට නියමිතයි. දකුණතින් පිත්ත හසුරුවන කඩුලු රකින ක්‍රීඩක සදීර මේ දක්වා ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් තරග 6ක් ක්‍රීඩා කර තිබෙන අතර එහි දී එක් අර්ධ ශතකයක් සමඟින් ලකුණු 132ක් ලබාගෙන  ඇත්තේ 22.00ක පමණ ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යයක් රඳවා ගෙනයි.

ලෝක කුසලාන තරගාවලියේත් නායකයා මාලිංගයි

පසුගිය දා නිමා වූ ශ්‍රී ලංකා – එංගලන්ත එක්දින ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් තරග වැදුණු ශ්‍රී ලංකා එක්දින සංචිතයට ද සදීර ඇතුළත්ව සිටියේය. එම එක්දින තරගාවලියේ අවසන් හා පස්වැනි තරගයේ දී පන්දු 48ක් තුල 4 පහර 8ක් සමඟින් ලකුණු 54ක් ලබා ගැනීමට සදීර සමත් විය.

ආදේශයට පසුව ශ්‍රී ලංකා සීමිත පන්දුවාර සංචිතය – ලසිත් මාලිංග (නායක), නිරෝෂන් දික්වැල්ල (උපනායක), සදීර සමරවික්‍රම, ධනුෂ්ක ගුණතිලක, කුසල් පෙරේරා, දිනේෂ් චන්දිමාල්, අසේල ගුණරත්න, කුසල් මෙන්ඩිස්, ධනංජය ද සිල්වා, තිසර පෙරේරා, දසුන් ශානක, ලක්ෂාන් සඳකැන්, සීකුගේ ප්‍රසන්න, දුෂ්මන්ත චමීර, කසුන් රජිත, නුවන් ප්‍රදීප්, ලහිරු කුමාර.

තරග කාලසටහන

  • පළමු එක්දින ක්‍රිකට් තරගය – ජනවාරි 3 – මවුන්ට් මන්ගුවානි (දිවා/රාත්‍රී) (උදෑසන 6.30)
  • දෙවන එක්දින ක්‍රිකට් තරගය – ජනවාරි 5 – මවුන්ට් මන්ගුවානි (දිවා/රාත්‍රී) (උදෑසන 6.30)
  • තෙවන එක්දින ක්‍රිකට් තරගය – ජනවාරි 8 – නෙල්සන් හිදී (උදෑසන 3.30)
  • එකම විස්සයි – විස්ස තරගය – ජනවාරි 11 – ඕක්ලන්ඩ් හිදී (උදෑසන 11.30)

සැ.යු:  *සියලුම වේලාවන් ශ්‍රී ලංකා වේලාවෙන් දක්වා ඇත.

තවත් උණුසුම් පුවත් හා තොරතුරු දැන ගැනීමට ThePapare.com සමඟින් රැඳී සිටින්න.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<