පාකිස්තානු ඉනිමට පණ දුන් පරිගණක ඉංජිනේරුවා

156
Getty Images

90 දශකයේ ක්‍රිකට් ක්‍රීඩාව කෙරෙහි ඇල්මක් දැක්වූ යමෙකුට ඔහු අමතක කළ නොහැකි චරිතයකි. ක්‍රිකට් පිටියේ ඉතාම සියුම් හැඩැස් ඔස්සේ පන්දුව හරවා යවන්නට ඔහුට තිබුණේ පුදුමාකාරයේ හැකියාවකි. 

ලාලිත්‍යය මුසු බිහිසුණු බවක් ඔහුගේ පිතිහරඹයේ විය. කලක් එක්දින ජාත්‍යන්තර පිටියේ හොඳම තනි ඉනිම ලියවී තිබුණේ ඔහු නමටය. අප කතානායක සයිඩ් අන්වර් නම් පාකිස්තානුවා අතින් බැට නොකෑ පන්දු යවන්නෙකු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවේ ඒ දිනවල සිටියේ නැත.

ක්‍රිකට් පිටිය අතික්‍රමණය කළ ‘සූලු’ වීරයා

එවර ලෝක කුසලාන තරගාවලියේ සුවිශේෂීම දස්කම් අතර සිටි ක්‍රීඩකයා ඔහුය. ලෝක කුසලාන…

1968 වසරේ සැප්තැම්බර් හය වැනිදා පාකිස්තානයේ කරච්චි නගරයේ දී උපත ලද අන්වර්ගේ කුඩා කාලය ගෙවුණේ ඉරානයේ ටෙහෙරාන් නුවර දී ය. ඒ සයිඩ්ගේ පියා සිය ඉංජිනේරු වෘත්තියේ නිරත වූයේ ඉරානයේ බැවිනි. වසර කිහිපයක් ඉරානයේ ගත කිරීමෙන් අනතුරුව අන්වර් පවුල සවුදි අරාබිය බලා සංක්‍රමණය වූයේ ඉරානයේ දේශපාලන තත්ත්වය අයහපත් අතට හැරුණු බැවිනි. 

නමුත් කුඩා සයිඩ් ඔවුන් සමඟ සවුදි අරාබියට ගියේ නැත. ඒ වෙනුවට ඔහු සිය සීයා සමඟ ජීවත් වීමට නැවතත් කරච්චි නුවරට යවනු ලැබීය. සයිඩ් අන්වර් නම් කුඩා දරුවා මුල්ම වතාවට ක්‍රිකට් ක්‍රීඩාව හා පෙමින් බැඳෙන්නේ ඒ සමයේ දී ය.

කුඩා කල සිටම සැහැල්ලු පන්දුවෙන් ක්‍රිකට් ක්‍රීඩා කිරීමට ප්‍රියතාවයක් දැක්වූ සයිඩ් අන්වර්ගේ ළාබාල වියේ ක්‍රිකට් සගයෙකු වූයේ පසු කලෙක කඩුලු රකින්නෙකු ලෙස පාකිස්තානු කණ්ඩායම නියෝජනය කළ රෂීඩ් ලතීෆ්ය. 

ලතීෆ් පාකිස්තානු කණ්ඩායමේ නායකත්වයට ද පසු කලෙක පත්විය. සැහැල්ලු පන්දුවේ ටේප් යොදා ගනිමින් ඔහු දිගින් දිගටම ක්‍රීඩාවේ නිරත විය. සයිඩ් අන්වර්ගේ පියා ද යම් තාක් දුරකට ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වූ බැවින් එහි අභාශය සයිඩ්ට මෙන්ම ඔහුගේ සොයුරා වූ ජාවේඩ්ට ද නොඅඩුව පිහිටා තිබුණි.

පිතිකරුවෙකු ලෙස කෙතරම් නමක් දිනා ගත්ත ද සයිඩ් මුලින්ම ක්‍රීඩා සමාජ තරගවල ක්‍රීඩා කළේ දඟපන්දු යවන්නෙකු ලෙසිනි. ඔහුට පන්දුවට පහර දෙන්නට ලැබුණේ ද අගපෙළ පිතිකරුවෙකු ලෙසිනි.

1989 වසරේ පරිගණක ඉංජිනේරුවෙක් ලෙස උපාධිය දිනා ගත් සයිඩ් සිය අනෙක් මිතුරන් මෙන් වැඩිදුර අධ්‍යාපනය ලබා ගැනීමේ අරමුණෙන් ඇමෙරිකා එක්සත් ජනපදය බලා පිටත් වීමේ අදහසකින් සිටියේය. නමුත් ඒ සියල්ල පසෙකලා අවසානයේ ඔහු ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදෙන්නට තීරණය කර තිබුණි.

කෙතරම් විශිෂ්ට පිතිකරුවෙකු වුවත් සයිඩ් අන්වර් ටෙස්ට් ක්‍රිකට් පිටියට අත්පොත් තැබුවේ සාර්ථක ආකාරයකින් නොවේ. 1990 වසරේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව ෆයිසලාබද්හී ඉක්බාල් ක්‍රීඩාංගණයේ දී ටෙස්ට් වරම් දිනූ අන්වර් කර්ට්ලි ඇම්බ්‍රෝස් සහ ඉයන් බිශොප් හමුවේ ඉනිම දෙකේම ලකුණු නොලබා දැවී ගියේය.

©Getty Images

සයිඩ් අන්වර්ගේ ක්‍රිකට් දිවියේ තෙවැනි තරගයේ දී නවසීලන්ත කණ්ඩායමට එරෙහිව වෙලිංටන්හීදි ඔහු වාර්තා කර ගත් ලකුණු 169 ඔහුගේ ටෙස්ට් ක්‍රිකට් දිවියේ හැරවුම් ලක්ෂ්‍යයක් විය. 

අන්වර්ගේ මෙම ඉනිම නිසාවෙන් ඉනිමකින් සහ ලකුණු 12ක විශිෂ්ට ජයක් ලබන්නට පාකිස්තානයට හැකියාව ලැබුණි. එතැනින් ආරම්භ වූ අන්වර්ගේ ටෙස්ට් ශතක පෙළට තවත් ශතක දහයක් පසු කාලීනව එක්වී තිබුණි. එමෙන්ම අන්වර් අවසාන වතාවට පාකිස්තානය නියෝජනය කළ තරගයේ දී ද බංගලාදේශ කණ්ඩායමට එරෙහිව ශතකයක් වාර්තා කර ගත්තේය.

තරග සම කරන කලාවේ පිකාසෝ – තිලාන් සමරවීර

නවසීලන්තය සමඟ පැවති අවසන් ටෙස්ට් තරගයේ දී ශ්‍රී ලංකා පිතිකරුවන්ට අවසන් දිනය පුරාවට කඩුල්ල…

නමුත් සයිඩ් අන්වර් නම් පිතිකරුවා වඩාත් කැපී පෙනුණේ එක්දින තරග රටාව තුලින් කිවහොත් වැරැද්දක් නැත. 1990 වසරේ සුප්‍රකට ඕස්ට්‍රේලියානු තුන්කොන් තරගාවලියේ ඇඩිලේඩ්හීදි ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව ලබාගත් ලකුණු 126ක ඉනිමෙන් අනතුරුව පාකිස්තානු කණ්ඩායමේ නිත්‍ය ආරම්භක පිතිකරුවා වන්නට අන්වර්ට හැකියාව ලැබුණි.

©www.saama.tv  /සයිඩ් අන්වර් 194ක් ලබා ගත් ඉනිමේ අවස්ථාවක්

සයිඩ් අන්වර්ගේ ක්‍රිකට් දිවියේ උච්චතම අවස්ථාව ලෙස 1997 වසරේ ඉන්දියානු කණ්ඩායමට එරෙහිව චෙන්නායි නුවර දී රැස් කළ ලකුණු 194 හැඳින්විය හැකිය. එදා චෙන්නායි නුවර අධික උෂ්ණත්වය හමුවේ මස්පිඩු පෙරලීමකට ලක්වූ අන්වර් මෙම ලකුණු සංඛ්‍යාව ලබා ගත්තේ සහායක දුවන්නෙකුගේ සහයෝගය ලබා ගනිමින්ය.

එක්දින ජාත්‍යන්තර තරග 247ක දී ලකුණු 8,824ක් ලබා ගත් අන්වර් අවස්ථා විස්සක දී ලකුණු සීයේ සීමාවෙන් ඔබ්බට පැන ගන්නට සමත් විය. 

අන්වර්ගේ පිතිහරඹයේ වැදගත්ම සාධකය වූයේ ඔහුගේ කල්යල් මැනීම සහ පිටියේ පන්දු රකින්නන් රඳවා තිබූ තැන්වල හිඩැස්වලින් පන්දුව තල්ලු කර යැවීමට තිබූ නිසඟ හැකියාවයි. පිට ඉන්නෙන් ඉවත (Off Side) ඇදී යන පන්දුවලට අනුකම්පා විරහිතව පහර දුන් අන්වර් තමාගේ පාදයට එල්ල වන පන්දුවලට මනරම් ෆ්ලික් පහරක් එල්ල කිරීමට සැමවිටම සූදානමින් සිටියේය.

කෙතරම් විශිෂ්ට පිතිකරුවෙකු වුවද සයිඩ් අන්වර් දුර්වල පන්දු රකින්නෙකු වීම ඔහුගේ ක්‍රිකට් දිවියේ නිරන්තරයෙන් දකින්නට ලැබුණු අඩුපාඩුවක් විය. නිතර ආබාධවලට ලක් වීම අසනීපයන්ට ලක් වීම සහ ක්‍රීඩා දිවියේ අවසාන කාලයේ දී දකින්නට ලැබුණු පාද චලනයේ තිබූ අවිනිශ්චිත බව ඔහුගේ ක්‍රීඩාවේ අඩුපාඩු ලෙස පෙන්වා දිය හැකි විය.

අන්වර් විවාහ වන්නේ ලුබ්නා නම් වෛද්‍යවරියක සමඟයි. ඇය අන්වර්ගේ ඥාතියෙකු බව ද පැවසෙනවා. අසනීප තත්ත්වයන් හේතුවෙන් අන්වර් ක්‍රිකට් පිටියෙන් ඈත්වූ සෑම අවස්ථාවකම ඇය අන්වර් රැකබලා ගනිමින් පිටුපසින් සිටි බවත් කියවෙනවා.

2001 වසරේ දී ඔහුගේ සිඟිති දියණිය අසනීප තත්ත්වයක් නිසා මිය යනවා. දියණියගේ වියෝවෙන් අන්වර් දැඩි ලෙස කම්පාවට පත්වූ බව නොරහසක්. තම දියණියගේ අකල් මරණයෙන් පසු අන්වර් නැවත වතාවක් ක්‍රිකට් පිටියට පිවිසුණ ද පෙර සිටි අන්දමේ ක්‍රීඩකයෙකු ඔහුගෙන් දකින්නට ලැබුණේ නැහැ. එමෙන්ම මේ සිද්ධියෙන් පසු ඔහු දැඩි ලෙස ආගමික කටයුතුවලට නැඹුරු වූ බව පැවසෙනවා. ඒ නිසාම ඔහු 2003 වසරේ ක්‍රීඩාවෙන් සමුගත් පසු වැඩි වශයෙන් ධර්ම ප්‍රචාරක කටයුතු සඳහා යොමු වෙනවා.

යූසෆ් යොහානා නම් පාකිස්තානය නියෝජනය කළ සුපිරි පිතිකරුවා කිතුනු ආගම පසෙකලා ඉස්ලාම් ධර්මය වැළඳ ගැනීම පිටුපස සිටි ප්‍රමුඛ චරිතය ලෙසත් සයිඩ් අන්වර් සැලකෙනවා. හිටපු පාකිස්තානු නායක වසීම් අක්‍රම්ගේ බිරිඳ හියුමා මිය ගිය අවස්ථාවේ යාච්ඤා මෙහෙය වනු ලැබුවේ සයිඩ් අන්වර් විසින්.

කලක් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ පන්දු යවන්නන් සෑම කෙනෙකුටම පාහේ විශාල තර්ජනයක් වූ සයිඩ් අන්වර් පාකිස්තානය බිහි කළ සුපිරිතම පිතිකරුවෙකු ලෙස අදටත් සැලකෙනවා.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<