මින් සති දෙකකට ඉහත දී නිමා වූ “පාසල් රග්බි ලීග් තරගාවලිය” තුළ දී ප්‍රශස්ත දස්කම් දැක්වූ පාසල් රග්බි ක්‍රීඩකයන් අතුරින් වැඩිම ලකුණු වාර්තා කළ සචිත් සිල්වා, සාන්ත ජෝසප් විද්‍යාලය නියෝජනය කළේය. තරග දෙකක්ම අතිරේක ක්‍රීඩක බංකුව මත ගෙවා දැමුවත්, ඉන් පසුව ජෝසප් විද්‍යාලයීය වින්ග් – ත්‍රී ස්ථානයේ අයිතිය තමන් සතුකරගත් ඔහු, තරගාවලිය නිමා කළේ තම දක්ෂතාවයන් මනාව ප්‍රකට කරවමිනි.

සචිත්, ThePapare.com හමුවේ කතාබහක නියැලුණේ “තරගාවලියේ වැඩිම ලකුණු ලාභියාට හිමි ThePapare.com සම්මානය”ද අතැතිවයි.Sachith Silva

ඉතින් සචිත්, කොහොමද මේ දවස් කිහිපය ගත කරන්නේ?

හොඳින් ඉන්නවා. පුහුණුවීම් කරනවා.

පහුගිය පාසල් ලීග් තරග වාරය ඔබට විශේෂ එකක්. ඒ ගැන සමස්තයක් හැටියට අදහසක් කිව්වොත්?

අපි තරගාවලියට හොඳ ආරම්භයක් ගත්තෙ නැහැ. පළවෙනි තරග දෙක අපි පරාද වුනා. ඒ තරග දෙක සෙල්ලම් කරන්න නොලැබුණ එකට දුකයි. හොඳ ආරම්භයක් නැතත් ඊළඟ තරග 4ම අපි ජයග්‍රහණය කළා. ආයෙත් දෙවනි වටයේ පළවෙනි තරග දෙක අපි පැරදිලා ඊළඟ තරග දෙක දිනුවා. ඒ හොඳින් ක්‍රීඩා කරලා. මුළු ලීග් එක ගැනම බැලුවොත්, ඒක රාජකීයයන් දිනුවත්, අපි ලබපු පරාජයන් වලින් යම් දෙයක් ඉගෙන ගත්තා. ඒක ජීවිතේටම හොඳ පාඩමක්. තරගයක් පැරදුනහම ලැබෙන දුක සහ දිනුවහම ලැබෙන සතුට ගැන අපි ඉගෙන ගත්තා. ලීග් එක බලද්දී ඒක හොඳ ලීග් එකක්. කවුරු දිනයි ද කවුරු පරදියි ද කියන දේ අන්තිම මොහොත තෙක් හිතාගන්න බැරුවයි තිබුණේ. ඒ තරමටම තරගකාරීයි.

සචිත්, ක්‍රීඩාව ගැන කතා කිරීමේ දී සාමාන්‍ය පාසල් දරුවෙකුට වඩා විචක්ෂණශීලී ය. ක්‍රීඩාවෙන් ශිෂ්‍යයෙකුට ලැබෙන වාසිය එයයි. ඔහුගේ විද්‍යාලයට ලීගයේ පස්වැනි තැන හිමිවුණත් ඒ කණ්ඩායම ශක්තිමත් කණ්ඩායමකි. එහි පුරුකක් වූ සචිත්ගේ ආරම්භය කොහිදැයි අපි විමසුවෙමු.

මගේ අයියා (ඉරෝෂන් සිල්වා) රගර් සෙල්ලම් කළා. පොලිස් ක්‍රීඩා සමාජයටත්, CH & FC කණ්ඩායමටත් අයියා සෙල්ලම් කරද්දී තමයි මම දැක්කේ බෝලයක් පාස් කරන හැටි, බෝලෙත් එක්ක දුවන හැටි. ඉතින් මටත් ඕන වුනා රගර් සෙල්ලම් කරන්න. මගේ නැන්දගේ පුතත් රගර් ක්‍රීඩකයෙක්. මගේ අයියා ක්‍රීඩාවට යොමුවුණෙත් ඔහු නිසා. ඔවුන් දෙන්නම හින්දා තමයි මම රග්බි ක්‍රීඩාවට යොමු වුණේ.

පවුලෙන් ලැබුණු සහයත් එක්ක නිවැරදිව රග්බි පුහුණු වෙන්න ලැබුණේ කොතනින්ද?

හරියටම රග්බි ඉගෙන ගත්තේ නම් මම සාන්ත ජෝසප් විද්‍යාලයට ආවට පස්සෙයි. රග්බි කියන්නේ මොකද්ද, බෝලයක් පාස් කරන්නේ කොහොමද, කික් කරන්නේ කොහොමද, හුළං තියෙද්දී කික් කරන්නේ කොහොමද කියන ඒ හැමදේම ඉගෙන ගත්තේ සාන්ත ජෝසප් විද්‍යාලයට ඇවිත් නිල්ෆර් සර් (නිල්ෆර් ඊබ්‍රාහිම්) හම්බුනාට පස්සෙයි.

රග්බි කියන්නේ පහසු ක්‍රීඩාවක් නොවෙයි. තවත් ක්‍රීඩා තිබෙද්දී රගර් ක්‍රීඩාවම හොඳයි කියලා හිතුවෙ ඇයි?

මං ඒකට කැමතියි. දෙපිලටම විනාඩි 80යි තියෙන්නේ. ක්‍රිකට් ගත්තොත්, එක වෙලාවක හැමෝටම පිටිය මැද ඉන්න බැහැ. පිතිකරුවෝ පන්දුයවන්නෝ කියලා දෙවර්ගයක් ඉන්නවා. හැබැයි රග්බිවල බෝලේ පාස් කරන්න, කික් කරන්න, දුවන්න, නවත්තන්න හැමෝටම පුළුවන්. විනාඩි 80ක්ම එක තැනක ඉඳන් ක්‍රීඩා කරන එකෙන් ක්‍රිකට්වලට වඩා දෙයක් මට ලැබුණා කියලයි මං හිතන්නේ.

කුඩා කාලෙදි ජ්‍යෙෂ්ඨ රග්බි ක්‍රීඩකයන් දිහා බලලා ඔයා මොනවද හිතුවේ?

පොඩි කාලෙදි මං අයියගෙ තරග බලන්න යනවා. මුලින්ම නම් ලොකු බයක් හිතුණා. මේ වගේ ක්‍රීඩා කරන්න පුළුවන්ද කියලත් මට හිතුණා. අපි ඉන්න තත්වෙට වඩා හොඳට ඒගොල්ලො සෙල්ලම් කරනවා. ජ්‍යෙෂ්ඨයෝ දිහා බලලා තමයි පොඩි අය හැදෙන්නේ.

හොඳයි, ඒ වගේ ඔයා විසින් අනුගමනය කරන ක්‍රීඩකයන් ඉන්නවද?

මුලින්ම අයියා තමයි. එයා දුවන විදිහ, එයා වෙට්ටු (side steps) දාන හැටි බලා ගත්තා. කික් කරන අයගෙන් මම ඩැනියෙල් කාටර්ගේ වීඩියෝ තමයි ගොඩක්ම බලලා තියෙන්නේ. එයාගෙන් ගොඩක් දේවල් බලා ගත්තා. තව කිහිප දෙනෙක් ඉන්නවා.

ජාත්‍යන්තර රග්බි ක්‍රීඩාව ගැනත් වර්තමාන ලාංකිකයො උනන්දුයි. ඔයා කැමති රග්බි කණ්ඩායමකුත් ඉන්නවද?

නවසීලන්තය තමයි.

එම පිළිතුර ඔහු එක වචනයකින් ලබා දුන්නේ නවසීලන්ත ඕල් බ්ලැක්ස් කණ්ඩායමේ විශ්වසනීය ප්‍රේක්ෂකයෙකු ලෙසයි. එබැවින් රග්බි ක්‍රීඩාවේ තාක්ෂණික පසුබිම ගැන ඔහු විමසන්නට අපි සිතුවෙමු.

පාපන්දු දස්කම් කියන්නේ රග්බි ක්‍රීඩාවට ගොඩක් වැදගත් දක්ෂතාවයක්. අපි දන්නා හැටියට රග්බි ක්‍රීඩාවේ ඒ අංශයේ වැඩියෙන්ම දස්කම් දක්වන්නෙ පාපන්දු ක්‍රීඩා කරපු අය. ඔබත් එහෙමද?

මම තරගකාරී පාපන්දු නම් ක්‍රීඩා කරලා නැහැ. ඒත් විනෝදයට නම් සෙල්ලම් කරලා තියෙනවා. අයියත් කිකර් කෙනෙක් තමයි. ඒ දක්ෂතාවයත් මට එන්න ඇත්තෙ එයාව බලලා වෙන්න ඇති මං හිතන්නේ. ඒත් මං පුරුදු වුණේ තනියම තමයි. මුලින් පන්දුව උඩ යන්න ගහන්නවත් පුළුවන්කමක් තිබුණේ නැහැ. ඒත් මං දිගටම උත්සාහ කළා. එහෙම තමයි කිකින් හදා ගත්තේ.

ඔහුගේ සොහොයුරා ඔහුගේ රග්බි දිවියේ දැවැන්ත සලකුණක් බව යළියළිත් සනාථ වේ. ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් විසින් නොදැනුවත්ව හෝ කනිෂ්ඨ ක්‍රීඩකයන් වෙත ලබා දෙන අත්දැකීම රග්බි ක්‍රීඩාවේ ප්‍රගමනයට ඉතා වැදගත් ය. එබැවින් තදින් සහ නිරවද්‍යව ක්‍රීඩා කිරීමේ යුතුකම ද ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් ඉදිරියේ පවතින බව ඔවුන් සිහි තබා ගත යුතුය.

ඔබ වින්ග් ක්‍රීඩකයෙක්. ඔබේ ස්ථානයේ ක්‍රීඩා කරන ක්‍රීඩකයෙක් කොහොමද කණ්ඩායමට දායකත්වය දිය යුත්තේ?

වින්ගර් කෙනෙක් කියන්නේ හොඳ අවසන් කරන්නෙක් විය යුතුයි. වේගය තියෙන්න ඕන. කණ්ඩායමේ අනිත් 14 දෙනා සෙල්ලම් කරලා අරන් දෙන බෝලේ උත්සාහක දිනුමක් බවට පත්කරන්න ඕන එයා තමයි.Sachith Silva 1

පහුගිය පාසල් රග්බි ලීගයේ අමතකම නොවන තරගය ගැන මතක් කළොත්?

එහෙම ගත්තොත් මට පීටර්ස් (සාන්ත පීතර විද්‍යාලය) එක්ක ගහපු මැච් එක අමතක වෙන්නෙ නෑ. ඒක මං පළවෙනියටම තරගයේ වීරයා සම්මානය ගත්ත තරගය. අපි දිනුවේ 25-10ක් හැටියට. ඒකෙන් ලකුණු 20ක්ම මගේ ලකුණු. අපේ රග්බි බිග් මැච් එකත් ඒක තමයි. ඉතින් එදා හැමෝම ඉස්සරහ ඒ වගේ දස්කම් දක්වන්න ලැබුණු එකෙන් මට ලැබුණු සතුට මට ජීවිතේට අමතක වෙන්නේ නැහැ.

රග්බි ක්‍රීඩකයෙක් කියන්නේ යාළුවෝ ගොඩක් ඉන්න කෙනෙක්නේ. කණ්ඩායම ඇතුළෙ සහ පිට ඉන්න හොඳම යාළුවෝ කවුද?

අපේ කණ්ඩායම ගත්තොත්, මගේ හොඳම යාළුවා විනුල් (විනුල් ප්‍රනාන්දු) තමයි. එයා ඉන්නෙ වාද්දූවේ. මං ඉන්නෙ පානදුරේ. අපි ප්‍රැක්ටිස් යන්නෙ එන්නෙත් එකට. අපි දෙන්නා තමයි ගොඩක්ම එකතු. ඒවගේම කණ්ඩායමෙන් පිට යාළුවෝ නම් මගෙ පානදුරේ යාළුවෝ තමයි. එයාලා තමයි මම මැච් එකක් ගැහුවත් බලන්න ඇවිත් සහය දෙන්නේ. මැච් එකක් ඉවර වුණහම ඒගොල්ලො ඇවිත් කියනවා මම ගහපු විදිහ හොඳයි, සතුටුයි කියලා.

රග්බි වලට අමතරව තව මොන වගේ ක්‍රීඩා ද කරලා තියෙන්නේ?

මම හෑන්ඩ් බෝල් ගහලා තියෙනවා. මලල ක්‍රීඩා කරලා තියෙනවා. දුර දුවන ඉසව් තමයි ගොඩක් කළේ.

පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් යම් ක්‍රීඩාවක් කිරීමේ වැදගත්කම ඔබ පැහැදිලි කරන්නේ මොනවගේද?

පාසලේ දී ඉගෙනීම තමයි අංක එක. ඒත් ක්‍රීඩාවක් කරන එක තමන්ගේ ජීවිතේට හොඳයි. ඉගෙනීමට අමතරව අපි තැනකට ගිහින් හැසිරෙන්නෙ කොහොමද, කණ්ඩායමක් එක්ක එකට ඉන්නෙ කොහොමද, කණ්ඩායම් හැඟීම කියන්නෙ මොකද්ද වගේ දේවල් ක්‍රීඩාවක් තුළින් ඉගෙන ගන්න පුළුවන්. ඉතින් මං ශිෂ්‍යයෙක් හැටියට හිතන්නේ ක්‍රීඩාව අපේ ජීවිතේටත් ඉදිරි අධ්‍යාපන කටයුතුවලටත් වැදගත් කියලා.

පාසල් රග්බි ලීගයේ වැඩිම ලකුණු ලාභියා තමයි ඔබ. ඉතින් ක්‍රීඩා සමාජවලින් එහෙම කතා කළේ නැද්ද?

තවම නිල වශයෙන් නම් ආරාධනාවක් ලැබුණේ නැහැ. ඒත් අපේ කිකින් කෝච් (kicking coach) මගෙන් ඇහුවා නාවික හමුදා ක්‍රීඩා සමාජයට සෙල්ලම් කරන්න කැමති ද කියලා. තාම ඒ ගැන හිතුවෙ නම් නැහැ.

ඔයාට වඩා ළාබාල ක්‍රීඩකයන්ට ඔයා මොනවගේ උපදෙසක්ද දෙන්නේ?

මුලින්ම කියන්නේ රගර් ගහන්න එන්න. මේකට බය වෙන්න ඕන නැහැ. සමහර අය හිතනවා ඇඟ නැතුව රගර් ගහන්න බෑ කියලා. ඇඟ නැතුව රගර් ගහන්න පුළුවන්. රගර් ගහන්නේ ඇඟෙන්ම නෙමෙයි, මොළෙන්. කතාවටත් කියනවා වගේ හිත හයිය නම් කරන්න බැරි දෙයක් නැහැ. මං පොඩි අයට කියන්නේ රගර් ගහන්න එන්න. දෙමව්පියෝ මුලින් අකමැති වෙයි. ඒවත් සමබර කරගෙන එන්න, ඇවිත් රගර් ගහන්න. හැමෝටම ක්‍රිකට් ගහන්න බෑනේ නේද? ක්‍රිකට් වගේ රගර් ගහන්නත් එන්න. රගර් ක්‍රීඩාවත් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් වගේම ජනප්‍රිය කරවන්න ඕන.

ඔයා දෙමව්පියන්ගේ අකමැත්ත ගැන මතක් කළා. ක්‍රීඩකයෙක් හැටියට ඔබ ඒ අධ්‍යාපනය ගැනම හිතන දෙමාපියන්ට කියන්නේ මොනවද?

ගොඩක් දෙමව්පියෝ කැමති නෑ තමන්ගේ ළමයි රගර් ගහනවට. මොකද මේක ලේසි ක්‍රීඩාවක් නෙමෙයි. තුවාල වෙනවා, පොරකන්න වෙනවා. ඒ දෙමව්පියන්ට මම කියන්නේ රගර්වල ස්වභාවය ඒකයි. ළමයා කැමති නම් ඒ දේ කරන්න දෙන්න. සමහර විට ළමයගෙ අනාගතයම ඒක වෙන්න පුළුවන්. රගර් අමාරු වුනාට හිත තියෙනව නම් කරන්න බැරි නැහැ. තාක්ෂණය හරි නම් වරදින්න විදිහක් නෑ. 

සචිත්, ඔබ නැගී එන රග්බි තරුවක්. ඉදිරියේ දී ශ්‍රී ලංකා රග්බි ක්ෂේත්‍රයට මොනවගේ දායකත්වයක් දෙන්න ද බලාපොරොත්තු වෙන්නේ?

ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරන්න මට හීනයක් තියෙනවා.  ශ්‍රී ලංකාවේ රග්බි ක්‍රීඩාව ගොඩාක්ම ජනප්‍රිය නැහැ. දැන් දැන් තමයි ඒ ගැන උනන්දුවක් ඇතිවීගෙන එන්නේ. සමහර පළාත්වල විතරයි රග්බි ජනප්‍රිය. මම ශ්‍රී ලංකාව නියෝජනය කළොත් මං කැමතියි මං වගේම අලුත් කෙනෙකුට අතදීලා එයාව තැනකට ගන්න. ලංකාවේ රගර් රටම දැන ගන්න ඕනේ, ලෝකෙම දැන ගන්න ඕනේ. මං රග්බිවලට කරන්න කැමති ඒ වගේ දෙයක් තමයි.Sachith Silva 3

බැලූබැල්මට මෙතරම් විචක්ෂණ දරුවෙකු බව නොපෙනුණත්, සචිත් සමඟ කතාබහ කිරීමේ දී අපට පැහැදිලි වූ එක් දෙයක් මෙහි සටහන් කරන්නෙමු. ඒ, ඔහු අපට පැවසූ සේම ශරීර ශක්තිය තිබූ පමණින් දක්ෂ රගර් ක්‍රීඩකයෙකු විය නොහැකි බවයි. ඔහුගේ පිටත ස්වරූපයෙන් දිස්වන සරල නව යෞවනයාට වඩා විචක්ෂණශීලී ක්‍රීඩකයෙකු ඔහු තුළ සිටි බැවින් “පාසල් රග්බි ලීගයක වැඩිම ලකුණුලාභියා” වීමේ වරම ඔහුට හිමි වූ බව කිවහැකිය.

ලීගය අවසන් ය. එහෙත් “සචිත් සිල්වා” නම් නවක රග්බි තරුවේ දිස්නය අවසන් නොවී තවතවත් ඉදිරියට යමින් බැබළෙනු දැකීම ThePapare.com අපගේ ඒකායන බලාපොරොත්තුවයි.

  >> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<