නාලන්ද ක්‍රීඩකයින් පරදා තෝමසුවන් ඉදිරියට

339

සිංගර් කුසලාන 17න් පහළ පළමු කාණ්ඩයේ අර්ධ අවසන් පූර්ව වටයේ තරගයකින්, කොළඹ නාලන්ද විද්‍යාලයේ 17න් පහළ කණ්ඩායම පරාජය කළ ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයීය කණ්ඩායම අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබා ගන්නට අද (1) සමත් විය.

නාලන්ද – සාන්ත තෝමස් ගැටුම සමවෙද්දී; සාන්ත සෙබස්තියන් ගොඩයයි

අනාගතයේ ලොව දින්නට වෙර දරන පාසල් ක්‍රීඩකයින් හට තෝතැන්නක් වන සිංගර් කුසලාන වයස අවුරුදු 17න් පහළ පළමු….

මෙම කණ්ඩායම් දෙක අතර පසුගිය අගෝස්තු 29 වැනිදා අර්ධ අවසන් පූර්ව තරගය පැවතුණද එම තරගය සම තත්වයෙන් (දෙපිලම ලකුණු 113 බැගින් රැස් කළහ) නිමා වීම හේතුවෙන් අද දිනයේ දී එම තරගය නැවත පැවැත්වීමට තරග සංවිධායකයන් කටයුතු කරනු ලැබීය. ඒ අනුව මෙම තරගය බොහෝ දෙනාගේ අවධානයට පාත්‍රවිය.

කොළඹ රාජකීය විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දී පැවැත්වුන මෙම තරගයේ මුලින්ම පන්දුවට පහර දුන් නාලන්ද 17න් පහළ ක්‍රීඩකයන් ඉතාමත් සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට සමත් විය. පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 54 සම්බන්ධයක් පිහිටුවීමට ලක්ෂාන් මායාදුන්නේ සහ ජයෝඩ් කල්දේරා සමත් විය.

නමුත් එම සම්බන්ධතාවය බිඳී ගිය පසු නැවතත් හොඳ ලකුණු සම්බන්ධතාවක් පිහිටුවීමට නාලන්ද ක්‍රීඩකයන්ට නොහැකි වූ අතර වරෙක ඔවුන්ගේ ඉනිම දැක්වුණේ 125/8ක් වශයෙනි.

එහි දී නාලන්ද කණ්ඩායමේ රවීන් ද සිල්වා සහ නදුන් සේනාරත්න ලකුණු 39 සම්බන්ධයක් පිහිටුවමින් නාලන්ද කණ්ඩායමේ ලකුණු තත්වය ඉහළ දැමීමට කටයුතු කළේ නාලාන්දා පන්දු යවන්නන්ට, පන්දු යැවීමට හෝ යමක් ලබා දෙමිනි.

ඒ අනුව නාලන්ද කණ්ඩායම පන්දුවාර 48.2ක් තුල සියලුම දෙනා දැවී ලකුණු 164ක් ලබා ගැනීමට සමත් විය. නාලන්ද කණ්ඩායම වෙනුවෙන් ලක්ෂාන් මායාදුන්නේ ලකුණු 35ක් ද, රවීන් ද සිල්වා ලකුණු 29ක් ද ලබා ගැනීමට සමත් විය.

පන්දු යැවීමේ දී සාන්ත තෝමස් කණ්ඩායම වෙනුවෙන් පා දඟපන්දු යවන දිල්මින් රත්නායක කඩුලු 4ක් හා නායක ශලින් ද මෙල් කඩුලු 4ක් ද බිඳහෙලීය.

වෙල්ලාලගේ හා පරණවිතානගේ පිතිකරණයෙන් ඉරණම් තීන්දුයි

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය හා සිංගර් ආයතනය එක්ව සංවිධානය කරන අන්තර් පාසල් වයස අවුරුදු 17න් පහළ පළමු පෙළ පාසල්…..

පන්දුවාර 50 තුළ ලකුණු 165 ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ගල්කිස්ස සාන්ත තෝමස් ක්‍රීඩකයන්ට හොඳ ආරම්භයක් ලබා ගැනීමට හැකි වූයේ නැත. ලකුණු 13ක් වන විට තෝමස් කණ්ඩායමේ කඩුලු දෙකක් දවා ගැනීමට නාලන්ද වේගපන්දු යවන ක්‍රීඩක ජිතේෂ් වාසලට හැකි විය.

ඉන් අනතුරුව ද සාන්ත තෝමස් ක්‍රීඩකයන්ට ඔවුන්ගේ ඉනිම හොඳින් පවත්වා ගෙන යාමට ඉඩ ලබා නොදුන් නාලන්ද ක්‍රීඩකයන් ලකුණු 79 දී කඩුලු 5ක් දවා ගැනීමට සමත් විය.

නමුත් එම අවස්ථාවේ දී පිටියට එක් වූ සාන්ත තෝමස් කණ්ඩායමේ කිෂාන් මුණසිංහ සහ කඩුලු රකින ක්‍රීඩක මනීෂ මුණසිංහ පන්දු 99 දී ලකුණු 78 සම්බන්ධතාවක් පිහිටුවමින් සාන්ත තෝමස් කණ්ඩායමේ ජය මාර්ගය එලි පෙහෙළි කිරීමට සමත් විය.

සාන්ත තෝමස් විද්‍යාලය වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ කිෂාන් මුණසිංහ පන්දු 68 දී නොදැවී ලකුණු 47ක් ලබා ගැනීමට සමත් වූයේ හතරේ පහර 6ක් සහ එක් හයේ පහරක් ද එල්ල කරමිනි. ඔහුට අනගි සහයක් දැක්වූ කඩුලු රකින ක්‍රීඩක මනීෂ මුණසිංහ පන්දු 44 දී ලකුණු 28ක් ලබා ගත්තේය.

සාන්ත තෝමස් කණ්ඩායමට ඔවුන්ගේ ඉනිම පුරාවටම දල ලකුණු වේගය පිළිබඳ අවධානය යොමු කිරීමට සිදු නොවූ අතර එය ඔවුන්ට වාසි සහගත කරුණක් විය. වයිඩ් පන්දු 15ක්, නිපන්දු 2ක් ද ඇතුළුව අතිරේක ලකුණු 19ක් නාලන්ද පන්දු යවන්නන් විසින් ලබා දී තිබීම ද මෙම තරගයේ විශේෂ සිදුවීමක් විය.

ඒ අනුව පන්දුවාර 44.2 දී කඩුලු 6ට ලකුණු 165ක් ලබාගත් ගල්කිස්ස සාන්ත තෝමස් ක්‍රීඩකයන් සිංගර් කුසලාන 17න් පහළ පළමු කාණ්ඩයේ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබා ගැනීමට සමත් විය.

නාලන්ද විද්‍යාලය වෙනුවෙන් ජිතේෂ් වාසල, චමෝද්‍ය රාජපක්ෂ සහ රෂාන් දිසානායක කඩුලු 2 බැගින් ලබාගත්හ.

මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය, ගාල්ලේ මහින්ද විද්‍යාලය සහ කොළඹ සාන්ත ජෝසප් විද්‍යාලය, 17න් පහළ පළමු කාණ්ඩයේ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබා තිබෙන අනෙකුත් කණ්ඩායම් වේ.

  • කොළඹ නාලන්ද විද්‍යාලය – 164 (48.2): ලක්ෂාන් මායාදුන්නේ 35, ජයෝද් කල්දේරා 29, රවීන් ද සිල්වා 29, අවිශ්ක පෙරේරා 17, දිල්මින් රත්නායක 45/4, ශලින් ද මෙල් 28/3, ශමිල්ක වික්‍රමතිලක 22/2, රන්දිව් ගුණසේකර 19/1
  • ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය – 165/6 (44.2): කිෂාන් මුණසිංහ නොදැවී 47, මනීෂ රූපසිංහ 28, ඩියෝන් ප්‍රනාන්දු 28, මොහොමඩ් ඉසාක් 19, රෂාන් දිසානායක 19/2, ජිතේෂ් වාසල 30/2, චමෝද්‍ය රාජපක්ෂ 31/2

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<