ඉරිසියාවට වඩා විශාල රුසියාව

4982
cdn-s3.si.com

‘ඔවුන් සිරියාවන්ත නැත. මූණිච්චාවට සිනාසෙන්නේ නැත. දැඩි ය.’ ඒ රුසියානුවන් ය. ගනුදෙනු විසඳන විශේෂ ක්‍රමයක් ඔවුනට ඇත. ඒ, මුහුණට මුහුණ සටන් වැදීම ය.

රුසියානු කාන්තාවන් ගැන ඔබට ඇත්තේ වෙනත් අදහසක් විය යුතුය. එහෙත් රුසියානු අනන්‍යතාවය නම් හැඟීම් රහිත මුව තලයයි. සෑමවිටම සිනාසෙන හෝ රවන, එසේත් නැත්නම් හඬන කෙනෙකු හඳුනා ගැනීමට වඩා කිසිදු හැඟීමක් රහිත මුහුණක් පසුපස ඇතිදෑ හඳුනා ගැනීම අතිශයින්ම අපහසුය. රුසියානුවන්ට ලෝකයම බියවන්නේ එබැවිනි.

ක්‍රීඩාවේ දී උක්ත රුසියානු චින්තනය සෑමවිටම රුසියානුවන්ට හයිය ගෙනැවිත් ඇත. සෝවියට් සමූහාණ්ඩුව ලෙස ලෝක භූමියෙන් අති විශාල පරාසයක් පාලනය කළ යුගයේ ද, 1991 වසරේ දී රටවල් 15කට කැඩී ගිය පසු ද රුසියාව එක ලෙසම ලෝක ක්‍රීඩාවේ ප්‍රබලයෙකි. සම්පූර්ණ භූමි භාගය රටවල් 15කට කැඩී ගිය පසුත් රුසියාව මිලියන 144ක ජනකායකට වාසස්ථාන සපයන ලොව සුවිසල් රාජ්‍යයකි. දෙවැනි ලෝක සංග්‍රාමය අවසන් කිරීමේ ප්‍රබල පුරුකක් වූ රුසියානුවන්, ලෝක ක්‍රීඩාවේ ප්‍රබලයෙකි. යුධමය වශයෙන් කවුරුන් ඉරිසියා කළ ද රුසියාව ඊට වඩා විශාල ය.

2018 පාපන්දු ලෝක කුසලානයට පෙර අසන්නට ලැබුණේ සත්කාරක රුසියානු කණ්ඩායම ඔවුන්ගේ පාපන්දු ඉතිහාසය තුළ පහල වූ දුර්වලම කණ්ඩායම බවයි. අනෙක් පසින් ඇසුණේ ලොව ශක්තිමත්ම ආරක්ෂක ක්‍රීඩකයන් සහිත කණ්ඩායම ස්පාඤ්ඤය බවයි. එහෙත් මේ සියලු කතා අද පුස්සක් වී ඇත. අවසන් 16 දෙනාගේ පිළිමළුන් පිටුදැකීමේ (knock-out) වටයේ දී ස්පාඤ්ඤයට එරෙහිව ගෝල 1-1ක් ලෙස තරග කාලය අවසන් වූ අතර, දඬුවම් පහර 4-3ක් ලෙස රුසියාව හමුවේ ස්පාඤ්ඤය පරාජය විය. උපක්‍රම සහිතව කෙමෙන් කෙමෙන් ගෝල වාර්තා කරමින් තරග ජයග්‍රහණය කරනවාට වඩා රුසියානුවන්ට ගැලපෙන්නේ මුහුණට මුහුණ සටනක් වන “දඬුවම් පහර” යැයි රුසියානු ඉතිහාසය සහ ජනතාව ලෙස බැලූබැල්මට කිව හැකිය.

s3.reutersmedia.net – ස්පාඤ්ඤය පරාජය කොට ඉදිරියට ගිය රුසියානු පාපන්දු කණ්ඩායම

මෙතෙක් පාපන්දු ලෝක කුසලාන 11කට සහභාගී වී ඇති රුසියානු කණ්ඩායම පළමු වරට පාපන්දු ලෝක කුසලානයක් සඳහා සහභාගී වී ඇත්තේ 1958 වසරේ දීයි. 1966 වසරේ දී ලෝක කුසලාන තරගාවලියේ සිව්වැනි ස්ථානය ද රුසියාවට හිමි විය. 1996 අප්‍රේල් මාසය වන විට ලොව පාපන්දු ශ්‍රේණිගත කිරීම්වල 3 වැනි ස්ථානය හිමිව තිබුණේ ද රුසියාවටයි. මෙවර පාපන්දු ලෝක කුසලානය පැවැත්වෙන්නේ ඔවුන්ගේම නිජභූමියේ වන බැවින් තවත් ශක්තියක් ඔවුන් හමුවේ පවතියි.

මල්ලව පොර, ජිම්නාස්ටික්, මලල ක්‍රීඩා සහ රිද්මයානුකූල පිහිනුම් ඉසව්වලින් රුසියාව ලොව ප්‍රබලයෙකි. කෙතරම් දැඩි සිතක් සහිත ජනතාවක් වාසය කළ ද, ශක්තිය සහ ජවය ප්‍රමුඛ වන ක්‍රීඩාවලින් ලොව බැබලුන ද එරට ජනයා සතු තවත් විශේෂ වරප්‍රසාදයක් ඇත.

ඒ කලාවයි. ලොව විශිෂ්ට රචකයන් බිහි කළ රටක් වන “රුසියාවේ සාහිත්‍යය නොහොත් රුසියානු සාහිත්‍යය” ලොව පුරා පාඨකයන්ගේ සිත් ඇද බැඳගත් සාහිත්‍යයකි. බැලේ නර්තනයේ තෝතැන්න සේ සැලකෙන්නේ ද රුසියාවයි. ක්‍රීඩාවට මනසින් ලැබෙන පිටිවහල ගැන ඉන් එහා සාක්ෂියක් අවැසි නැත. බාධක, දුක් පරදා ජයගන්නට හැකි ප්‍රබල ක්‍රීඩාශීලී ජාතියක් නිර්මාණය කිරීමට කලාවෙන් ද ලැබිය යුතු සේවය ගැන පැහැදිලි කරන්නට රුසියාව තරම් හොඳ උදාහරණයක් තවත් නැත. නොදන්නා කෙනෙකු මුහුණට එබුණත් පහරදෙන මට්ටමේ දෘඩ චින්තනයක් සහිත රුසියානු ජනයාගේ මනස තෙත් කොට ඔවුන්ව මිනිසුන් කොට ඇත්තේ ඒ උසස් කලා රසවින්දනයයි.

russianlandmarks.files.wordpress.com – රුසියානු සාහිත්‍යයේ දැවැන්ත ප්‍රතිරූපයක්, නිකොලායි ගොගොල්.

බොහෝ ඇමරිකානු, එංගලන්ත හෝ ලතින් ඇමරිකානු මල්ලව පොර ශූරයන් මෙන් නොව, රුසියානු මල්ලව පොර ශූරයන්ගේ මුවෙහි හැඟීම් විරහිතය. ජයග්‍රහණයේ ද පරාජයේ ද සම හැඟීම් සහිතව මල්ලව පොර පිටියෙන් ඉවත්වන රුසියානුවන් ලොව ඉදිරියේ තම රටේ තානාපතිවරුන් බවට පත්වේ. UFC සහ Pride සටන් ශූර ෆෙඩොර් එමලියනෙන්කෝ ඊට හොඳම උදාහරණයකි. තරග කාලයේ දී ප්‍රතිවාදියාගේ නාසය බිඳී යන පරිද්දෙන් පහර එල්ල කරන ඔහු තරගය නැවතුණු වහාම ප්‍රතිවාදියාට ගෞරවනීය සමුගැනීමක් ලබා දෙයි. තරග ජයග්‍රහණයේ දී නිහඬව සතුටු වනවා විනා ප්‍රතිවාදියා තලන පෙලන පරපීඩිත  චින්තනයෙන් ඔවුන් ඈතය. තමන් ගැන පවතින විශ්වාසය නිසා ඔවුන් අනවශ්‍ය රඟපෑම් සිදුකරන්නේ ඉතා අඩුවෙනි.

themaclife.com – මිශ්‍ර සටන් කලා ශූර, ෆෙඩොර් එමලියනෙන්කෝ

1900 වසරේ සිට 1912 වසර වන තෙක් රුසියානු අධිරාජ්‍යය වශයෙන් ඔලිම්පික් උළෙලට සහභාගී වී ඇති රුසියාව, 1920 සිට 1948 දක්වා කාලය තුළ ඊට සහභාගී වී නැත. 1952 – 1988 කාලයේ දී සෝවියට් සමූහාණ්ඩුව ලෙස නැවත ඔලිම්පික් උළෙලට එන ඔවුන් 1996 වසරේ සිට මේ දක්වා “රුසියාව” ලෙස ඔලිම්පික් තරගාවලියට සහභාගී වන අතර ඒ සෑම වසරකම පදක්කම් සටහනේ පළමු 5 දෙනා අතර රැඳී සිට ඇත. 2018 ඔලිම්පික් උළෙලේ දී තහනම් උත්තේජක චෝදනාවක් පටවමින් රුසියාවට ඔලිම්පික් තහනමක් පැනවීමට දේශපාලනික කුමන්ත්‍රණයක් දියත් විය. එහෙත් රුසියානු නායක ව්ලැඩ්මීර් පුටින් විශ්වාසයෙන් කියා සිටියේ එකකි. “රුසියානු ක්‍රීඩකයින් නැති ඔලිම්පික් උළෙලක් පැවැත්වීමට හැකි නම් පවත්වන්න” ඔහු කීවේය. ලෝක ක්‍රීඩාව තුළ රුසියාව එතරම් දැවැන්ත ය. “අපේ ක්‍රීඩකයන් ඔබේ උළෙලට ආභරණයක්!” යැයි එක එල්ලේ කියන්නට හැකි අන් රාජ්‍ය නායකයෙක් ගැන සිතාගත හැකි ද? ඔහු ද ජූඩෝ ශූරයෙකි. ක්‍රීඩාවෙන් රටට ගෞරවයක් ගෙන ආ තරුණ දේශපාලනඥයන් රුසියාවේ බහුලය. දැනට 65 හැවිරිදි වියේ පසුවන පුටින් රාජ්‍ය නායකත්වයට පත්වන විට තම 45 වැනි විය යාන්තමින් ඉක්මවූ ජවසම්පන්න දේශපාලනඥයෙකි. මේ ඔහුගේ තෙවැනි ධූර කාලයයි.

d1nz104zbf64va.cloudfront.net – රුසියානු රාජ්‍ය නායක, ව්ලැඩ්මීර් පුටින්

එමෙන්ම මෙතරම් ජවසම්පන්න, ක්‍රීඩාශීලී ජාතියක් වන රුසියානුවන් බුද්ධිය මෙහෙයවා ජය ගත යුතු චෙස් ක්‍රීඩාවේ කප්පිත්තන් බව ද ඔබට සිහිවනවා ඇති. 1975 සිට 1985 දක්වා චෙස් ලෝක ශූරයා වූ ඇනටෝලි කාපොව් මෙන්ම කාපොව් පරාජය කොට 1986 සිට 2005 දක්වා ලෝක චෙස් ශ්‍රේණිගත කිරීමේ අංක 1 ස්ථානය දරා සිටි ගැරී කැස්පරෝව් ගැන ද ඔබට සිහිවනවා ඇති. අදටත් ලොව පහල වූ විශිෂ්ටතම චෙස් ක්‍රීඩකයා ලෙස විරුදාවලි ලබන්නේ ගැරී කැස්පරෝව් ය.

theepochtimes.com – ගැරී කැස්පරෝව්

කඩු හරඹ ඔවුන්ගේ ජාන වලින්ම ඔවුන්ට උරුම වූවක් විය හැකිය. වේගය ඉහළින්ම අවශ්‍ය ක්‍රීඩාවක් වන කඩු හරඹ (Fencing) ක්‍රීඩාවෙන් ද රුසියානුවන් දක්වා ඇති දස්කම් ඉහළ ය. කැනඩාව, ඇමරිකාව ආදී රටවල් වල ජනප්‍රිය ක්‍රීඩාවක් වන අයිස් හොකී ක්‍රීඩාවෙන් ද දැනට ලොව තෙවැනි ස්ථානය රුසියානුවන් සතු ය.

මලල ක්‍රීඩා ඉසව් ගැන අවධානය යොමු කළහොත්, රිටි පැනීමේ කාන්තා ඉසව්ව ලොව වෙනත්ම මානයකට රැගෙන ගිය යෙලේනා ඉසින්බයේවා ඇගේ ක්‍රීඩා දිවිය තුළ තමන් විසින් පිහිටවූ ලෝක වාර්තාවන් 20කට හිමිකම් කීවාය. මීටර 800 ඉසව්වෙන් ද රුසියානු ක්‍රීඩක ක්‍රීඩිකාවන් ලෝක රන් පදක්කම් දිනා ඇත. ඒ හැරුණුකොට ටෙනිස්, බොක්සිං, වොලිබෝල් ආදී ලොව ජනප්‍රිය ක්‍රීඩා තුළ ද රුසියානු නාමය සනිටුහන් කරන්නට ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමත්ව ඇත. ලෝක බොක්සිං සංගමයේ (WBC) ලයිට් හෙවිවේයිට්, කෲසර් වෙයිට් ශ්‍රේණිගත කිරීම්වල ඉහළින්ම සිටින්නේ රුසියානුවන්ය.

rediff.com – යෙලේනා ඉසින්බයේවා

සෑම ක්‍රීඩාවකටම අවශ්‍ය දස්කම් කට්ටලය එකම එකක් නොවේ. සාමාන්‍යයෙන් රටින් රටට විශේෂ වූ ක්‍රීඩා පවතින්නේ එබැවිනි. එක් එක් රටේ දේශගුණය සහ පිහිටීමට අනුරූපව ශරීර ප්‍රමාණයන් සහ ශරීර වෙනස්කම් ඇතිවීම නිසා විවිධ ක්‍රීඩාවලට දක්ෂයන් බිහිවන්නේ විවිධ කලාප වලිනි. ඉන්දියානුවන් සහ අග්නිදිග ආසියානුවන් බැඩ්මින්ටන් ක්‍රීඩාවට දක්ෂ වීම, ආසියානුවන් ක්‍රිකට් ක්‍රීඩාවේ දඟපන්දු යැවීමට සමතුන් වීම, එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩකයන් විශාල පහරවල් එල්ල කරන්නන් වීම උදාහරණ සේ දැක්විය හැක. පුදුමය වන්නේ මේ රුසියානු ක්‍රීඩකයන් ඕනෑම ක්‍රීඩාවක දස්කම් දැක්වීමය.

රුසියානුවන්ගේ ශරීර ඕනෑම තත්වයකට ඔරොත්තු දෙන්නකි. ශක්තිය අවශ්‍ය මල්ලව පොර ක්‍රීඩාවේ දස්කම් දක්වන රුසියානුවන්, නම්‍යතාවය අවශ්‍ය ජිම්නාස්ටික් ක්‍රීඩාවට ද සමතුන් ය. ජිම්නාස්ටික් ක්‍රීඩාවට දස්කම් පාන රුසියානුවන් බුද්ධිය අවශ්‍ය චෙස් ක්‍රීඩාවට සමතුන් ය. ජවසම්පන්න බොක්සිං ක්‍රීඩකයන් බිහිවන රුසියාවේම මනස්කාන්ත බැලේ නර්තන ශිල්පීන් ද බිහිවේ. මෙය නම් ඊරිසියා කිරීමටම හේතුවකි.

promoconcert.es – රුසියානු බැලේ නර්තන ශිල්පීන් දෙපලක්

කෙතරම් ඉරිසියා කළ ද රුසියානුවන් ඒවා ගණනකට ගන්නේ නැත. රචනය ආරම්භයේ දී ම කියුවාක් මෙන් පාපන්දු ලෝක කුසලානයට සහභාගී වන රුසියානු කණ්ඩායම දුර්වලයින් යැයි ලෝකය කීවේය. එහි ආන්ද්‍රේ අර්ෂවින් හෝ යූරි සිර්කොව් වැනි ඉතිහාසගත රුසියානු ක්‍රීඩකයන් ඇතුළත් නොවීම ඊට හේතුව වුවත්, ඉගොර් ආකින්ෆෙව්ගේ නායකත්වයෙන් යුත් “ඉතිහාසයේ දුර්වලම රුසියානු කණ්ඩායම”, “ලොව ශක්තිමත්ම ස්පාඤ්ඤ ආරක්ෂක බැම්ම” බිඳ දමා අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා තිබේ. වෙනත් විදියකින් කියතොත්, ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීමේ 70 වැනි ස්ථානය දරන කණ්ඩායම විසින් 10 වැනි ස්ථානය දරන කණ්ඩායම පසුකොට ලෝක කුසලානය වෙත පියවරක් ඉදිරියට තබා ඇත.

කවුරුන් ඉරිසියා කළත්, කලාවෙන් සුපෝෂිත රුසියානුවන්ගේ මානසික ශක්තිය එවැන්නකි.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<