වේගපන්දු පුහුණුකරු නවසීලන්ත තරගාවලියේ ප්‍රධාන පුහුණුකරු වෙයි

2121
Sinhala News

නවසීලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය ටෙස්ට් තරග දෙකකින් හා විස්සයි විස්ස තරග තුනකින් සමන්විත අතර එම තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ අන්තර්වාර ප්‍රධාන පුහුණුකරු ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේගපන්දු පුහුණුකරු ලෙස කටයුතු සිදු කළ රුමේෂ් රත්නායක මහතාව පත් කර තිබේ.

පරණ මුහුණු කිහිපයක් ආයිත් ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයට

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හා සංචාරක නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම අතර මේ…….

ශ්‍රී ලංකා – නවසීලන්ත ක්‍රිකට් තරගාවලිය ආරම්භ වීමට පෙර තරගාවලිය පිළිබඳව දැනුවත් කිරීම වෙනුවෙන් අද (7) කොළඹ දී පැවැත්වුණු මාධ්‍ය හමුවේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා එය මාධ්‍ය වෙත නිවේදනය කරන ලදි.

“මේ තරග සංචාරයේ දී අපේ කණ්ඩායමේ තාවකාලික ප්‍රධාන පුහුණුකරු ලෙස අපි රුමේෂ් රත්නායක මහතාව තෝරාගත්තා. ඔහු මේ තරගාවලිය අවසන් වෙනකන් අපේ කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස වැඩකටයුතු කරාවි. “

නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය ආරම්භ වීමට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස මේ දක්වා කාලයක් නිල වශයෙන් වැඩ කටයුතු කළ චන්දික හතුරුසිංහ මහතා එම තනතුරෙන් ඉවත් කර ඇති බව පසුගිය 5 වැනිදා වාර්තා විය. 

ඒ නිසාවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරියෙකු වන ජෙරොම් ජයරත්න මහතා නවසීලන්තය සංචාරය නිමා වන තුරු අන්තර්වාර ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකාරිත්වය භාර ගනු ඇතැයි බොහෝ දෙනා බලාපොරොත්තුවෙන් සිටි නමුත් එම මතය බිඳී යන ලදි.

මීට පෙර ද 2015 වසරේ දී මාස හතරකට ආසන්න කාලයක් සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ අන්තර්වාර පුහුණුකරු ලෙස ජයරත්න මහතා කටයුතු කළේය.

හතුරුසිංහ ප්‍රධාන පුහුණුකරු තනතුරෙන් ඉවතට!

නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය ආරම්භ වීමට පෙර ශ්‍රී ලංකා…..

හිටපු ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වන චන්දික හතුරුසිංහ මහතා 2017 වසරේ දෙසැම්බර් මාසයට පසුව වසර තුනක කාලයක් සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමඟ ගිවිසුම් ගත විය. ඔහුගේ නිල කාලය නිමා වීමට තිබුණේ 2020 වසරේ දී ය. 

කෙසේ වෙතත් එළඹෙන දින කිහිපය තුළ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ඔහුගේ කොන්ත්‍රාත්තුව නිල වශයෙන් නිමා කරනු ඇත. නමුත් හතුරුසිංහ මහතා හා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එක මතයකට නොපැමිණීම නිසා හතුරුසිංහ මහතා විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එරෙහිව නීතිමය පියවර ගනු ඇති බවත් වාර්තා වේ.

ශ්‍රී ලංකා – නවසීලන්ත තරග කාල සටහන 

  • අගෝස්තු 08 – 10: තුන්දින පුහුණු තරගය – කටුනායක මේරියන්ස් ක්‍රීඩාංගණය.  
  • අගෝස්තු 14 – 18: පළමු ටෙස්ට් තරගය – ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය. 
  • අගෝස්තු 22 – 26: දෙවන ටෙස්ට් තරගය – කොළඹ පී. සරා ඕවල් ක්‍රීඩාංගණය.  
  • අගෝස්තු 29: විස්සයි විස්ස පුහුණු තරගය – කටුනායක මේරියන්ස් ක්‍රිකට් ක්‍රීඩාංගණය.  
  • සැප්තැම්බර් 01: පළමු විස්සයි විස්ස තරගය – මහනුවර පල්ලෙකැලේ ක්‍රිකට් ක්‍රීඩාංගණය.  
  • සැප්තැම්බර් 03: දෙවන විස්සයි විස්ස තරගය – මහනුවර පල්ලෙකැලේ ක්‍රිකට් ක්‍රීඩාංගණය. 
  • සැප්තැම්බර් 06: තුන්වැනි විස්සයි විස්ස තරගය – මහනුවර පල්ලෙකැලේ ක්‍රිකට් ක්‍රීඩාංගණය.  

තරගාවලියේ සියලුම උණුසුම් තතු, තරග සේයා රූ, ලකුණු  සටහන්, තරග වාර්තා ඇතුළු තවත් බොහෝ දෑ හා සජීව තරග අත්දැකීම ඔබ වෙතට රැගෙන ඒමට ThePapare.com සූදානමින් සිටී. තවත් උණුසුම් පුවත් හා තොරතුරු දැන ගැනීමට ThePapare.com සමඟින් රැඳී සිටින්න.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<