වේල්ස් ගිනිසිළුවෙන් ඕස්ට්‍රේලියාව දැවී යයි

86

ජපානය කේන්ද්‍රකර ගනිමින් මේ දිනවල ක්‍රියාත්මක වන 2019 රග්බි ලෝක කුසලාන තරගාවලියේ දෙවන සති අන්තයේ තවත් තරග දෙකක් අද (29) දී පැවැත්වුණු අතර ඉන් උරුගුවේ සහ ප්‍රබල ඕස්ට්‍රේලියානු කණ්ඩායම් පරාජයට පත්කරමින් විශිෂ්ට ජයක් අත්පත්කර ගැනීමට පිළිවෙළින් ජෝර්ජියාව සහ වේල්සය සමත් විය.

සත්කාරක දේශයේ ප්‍රහාරයෙන් රග්බි ලෝකය උඩුයටිකුරු වෙයි

දිනෙන් දින උණුසුම් වන 2019 රග්බි ලෝක කුසලාන තරගාවලියේ දෙවන….

ජෝර්ජියාව සහ උරුගුවේ – D කාණ්ඩය

ප්‍රබල ෆීජි කණ්ඩායමට එරෙහිව වාර්තා කළ පෙරළිකාර ජයග්‍රහණයත් සමඟින් තම ජයග්‍රාහී ලෝක කුසලාන ගමන් මඟ ඇරඹූ උරුගුවේ කණ්ඩායම මෙම තරගයේ දී ද පළමු අර්ධය පුරාවටම ජෝර්ජියා කණ්ඩායම දැඩි පීඩනයකට හසුකොට ගනිමින් යම්තාක් දුරකට තරගයේ පාලනය ඔවුන් යටතට ගැනීමට උත්සුක විය.

නමුත් ශක්තිමත්, දේහධාරී ක්‍රීඩකයින් රැසකගෙන් සන්නද්ධ ජෝර්ජියා ඉදිරි පෙළ සමඟ පොරබැදීම උරුගුවේ ක්‍රීඩකයින් හට එතරම් පහසු කර්තව්‍යයක් නොවූයේ ඔවුන්ගේ ආරක්ෂක බලමුළු බිඳ දමමින් අවස්ථා දෙකක දී ධවල රේඛාව ඉක්මවා යාමට ජෝර්ජියානු ක්‍රීඩකයින් සමත් වූ නිසාවෙනි. 

ලකුණු පුවරුවට පණ පොවමින් තරගයට නව ජීවයක් ගෙන ඒමට Alexander Todua සහ Otari Giorgadze වාර්තා කළ එම උත්සාහක දිනුම් යුගලය මහෝපකාරී විය.

ප්‍රහාරයට ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට කල් වේලා නොගත් උරුගුවේ ක්‍රීඩකයින් දර්ශනීය ප්‍රවර්තිත උත්සාහක දිනුමක් වාර්තා කළේ ප්‍රථම අර්ධය අවසන් වීමට මත්තෙන් තම ලකුණු පුවරුව පෝෂණය කරමිනි.

පළමු අර්ධය: ජෝර්ජියාව 12 (2T,1C) – 07 (1T,1C) උරුගුවේ

විවේක කාලයෙන් අනතුරුව තරගයේ ජයග්‍රහණය කෙසේ හෝ තමන් දෙසට හරවා ගැනීමේ අටියෙන් තරග බිමට පිවිසි උරුගුවේ කණ්ඩායම හට අත්විඳීමට සිදු වූයේ ඊට හාත්පසින්ම වෙනස් කටුක අත්දැකීමකි.

ඔවුන් තබා තිබූ සියලුම අපේක්ෂාවන් එක් ක්ෂණයකින් කටුගා දැමීමට ජෝර්ජියානු ක්‍රීඩකයින් කටයුතු කළේ තවත් ප්‍රවර්තිත උත්සාහක දිනුම් ත්‍රිත්වයකින් ලකුණු පරතරය තවදුරටත් ඉහළ නංවා ගනිමිනි.

ජපන් වික්‍රමය සමාජ මාධ්‍ය ජාලා කලඹයි

රග්බි ලෝකයේ පතාක යෝධයෙකු දහස් සංඛ්‍යාත වූ තම ප්‍රේක්ෂක ජනයා ඉදිරියේ…..

Levan Chilachava, Jaba Bregvadze සහ Giorgi Kveseladze යන ක්‍රීඩකයින් හට උත්සාහක දිනුම් වාර්තා කිරීමේ ගෞරව හිමි වූ අතර තමන්ට ලැබුණු ප්‍රවර්තන අවස්ථා 5න් 4ක්ම නිවැරදි ඉලක්කය වෙත යොමු කිරීමට Tedo Abzhandadze සමත්කම් දැක්විය.

ඒ අනුව එක් අමතර ප්‍රසාද ලකුණක් ද සමඟින් D කාණ්ඩයේ තෙවැනි ස්ථානය දක්වා උසස්වීමක් ලැබීමට ජෝර්ජියාව සමත් වූ අතර ඔවුන් සහභාගී වන මීළඟ තරගය ඔක්තෝබර් මස 3 වැනිදා ෆීජී කණ්ඩායමට එරෙහිව පැවැත්වීමට නියමිතය.

අවසන් ලකුණු තත්වය: ජෝර්ජියාව 33 (5T,4C) – 07 උරුගුවේ (1T,1C) 

තරගයේ වීරයා – Otari Giorgadze (ජෝර්ජියාව)

ලකුණු රැස්කළ ක්‍රීඩකයෝ

ජෝර්ජියාව – Alexander Todua (1T), Otari Giorgadze (1T), Levan Chilachava (1T), Jaba Bregvadze (1T), Giorgi Kveseladze (1T), Tedo Abzhandadze (4C)

උරුගුවේ – Andres Vilaseca (1T), Nicolas Freitas (1C)


ඕස්ට්‍රේලියාව සහ වේල්ස් – D කාණ්ඩය

D කාණ්ඩය යටතේ පැවති තීරණාත්මකම සටන ලෙස සැලකුණු මෙම තරගයේ මුල් අර්ධයම තම බල ඒකාධිකාරය යටතට ගැනීමට වේල්ස් ක්‍රීඩකයින් යුහුසුලු වූ අතර ඔවුන් ප්‍රහාර දියත් කිරීමට සුදුසු වේලාවන් සහ ආරක්ෂක වැට සවිමත් කළ යුතු අවස්ථාවන් පිළිබඳ මනා අවබෝධයකින් යුතුව තරග කරනු දක්නට ලැබුණි.

Dan Bigger තමන්ට ලැබුණු අනගි අවස්ථාවෙන් උපරිම ඵල නොලා ගත්තේ දර්ශනීය ඩ්‍රොප් ගෝලයකින් වේල්සයට තරගයේ පෙරමුණ ලබා දෙමිනි. ඉන් අනතුරුව වේල්ස් ක්‍රීඩක Hadleigh Parkes එම රිද්මය තවදුරටත් එලෙසම පවත්වා ගනිමින් පිටියේ දකුණු පස අන්තයෙන් අලංකාර ප්‍රවර්තිත උත්සාහක දිනුමකට හිමිකම් කීවේය.

ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ Adam Ashley-Cooper ලෝක කුසලාන ඉතිහාසයේ ඔහු විසින් වාර්තා කළ 13 වැනි උත්සාහක දිනුම වාර්තා කිරීමට අද දිනයේ දී සමත් විය. ඔහුගේ එම වෑයමට වටිනාකමක් එක් කළ Bernard Foley අමතර ලකුණු එකතු කිරීම නිසියාකාරව සිදු කරන ලදි.

වේල්සයෙන් ජෝර්ජියාවට මරු පහරක්!

2019 රග්බි ලෝක කුසලානයේ D කාණ්ඩයේ තවත් තරගයක් අද (23)….

Fly Half ක්‍රීඩක Dan Bigger තරගය අතරතුර දී ආබාධයකට ලක්වීම නිසාවෙන් පිටියෙන් ඉවත්ව ගිය අතර ඔහු වෙනුවට ආදේශ කළ Rhys Patchell තම සඟයාගෙන් පුරප්පාඩු වූ කාර්‍යභරය අකුරටම ඉටු කළේ උදා කර ගත් දඬුවම් පහර අවස්ථාවන් ත්‍රිත්වයක් සාර්ථක කර ගනිමින්.

ඉන්පසුව ක්‍රියාත්මක වූ Gareth Davies ඉතාමත් සුක්ෂම ඕස්ට්‍රේලියානුවන් සතු පන්දුව සොරාගත්තේ වේල්ස් කණ්ඩායමට දිනයේ දෙවන ප්‍රවර්තිත උත්සාහක දිනුමේ සතුට සැමරීමට ඉඩ ප්‍රස්තාව විවර කරදෙමිනි.

පළමු අර්ධය: ඕස්ට්‍රේලියාව 08 (1T,1P) – 23 වේල්ස් (2T,2C,2P,1DP)

එතෙක් වේලාවක් ආරක්ෂාව තර කිරීම වෙනුවෙන් වැඩි අවධානයක් ලබා දුන් ඕස්ට්‍රේලියානුවන් තම ක්‍රමෝපායන්ගේ වෙනසක් සිදු කරමින් ආක්‍රමණශීලී තරග රටාවකට එළඹුණේ වේල්ස් කණ්ඩායමට වැඩි පීඩනයක් යොමු කරමිණි.

Dane Haylett-Petty සහ නායක Michael Hooper විසින් දියත් කළ උත්සාහක දිනුම් ප්‍රහාර මාලාවෙන් පන්නරය ලැබූ ඕස්ට්‍රේලියා කණ්ඩායමේ බලාපොරොත්තු තවදුරටත් ඉහළ නංවාලීමට Matt Toomua සමත් වූයේ ඔහු වෙත ලැබුණු සියලුම ප්‍රවර්තන සහ දඬුවම් පහර අවස්ථා සාර්ථක කරගනිමිනි.

අවසන් මොහොත දක්වාම දෙපසට දෝලනය වෙමින් පැවති මෙම තරගයේ ජයග්‍රහණය නියත වශයෙන්ම තම කණ්ඩායම සතුකර දීමට Rhys Patchell වගබලා ගත්තේ වේල්ස් කණ්ඩායමට D කාණ්ඩයේ පෙරමුණ ද ඒ හා සමඟම හිමිකර දෙමිනි. 

ගෞරවාන්විත පරාජයකට හිමිකම් කී ඕස්ට්‍රේලියානුවන් ලකුණු පරතරය 7කට වඩා අඩුවෙන් පවත්වා ගැනීමට සමත් වූ නිසාවෙනි එක් අමතර ප්‍රසාද ලකුණක් තමන් සතු කරගත්තේය.

අවසන් ලකුණු තත්වය: ඕස්ට්‍රේලියාව 25 (3T,2C,2P) – 29 (2T,2C,1DP,4P) වේල්ස්

තරගයේ වීරයා – Gareth Davies (වේල්ස්)

ලකුණු රැස්කළ ක්‍රීඩකයෝ

ඕස්ට්‍රේලියාව – Adam Ashley-Cooper (1T), Michael Hooper (1T), Dane Haylett-Petty (1T), Bernard Foley (1P), Matt Toomua (1P,2C)

වේල්ස් – Hadleigh Parkes (1T), Gareth Davies (1T), Dan Bigger (1DG,1C), Rhys Patchell (4P, 1C)

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<