2019 රග්බි ලෝක කුසලාන තරගාවලියේ උණුසුම දෙගුණ තෙගුණ කරමින් අද (21) දිනයේ දී පැවති මූලික වටයේ තරග තුනකින් ජය ගැනීමට ඕස්ට්‍රේලියාව, ප්‍රංශය සහ නවසීලන්තයට හැකි විය. ඔවුන් අතින් පරාජයට පත්වූයේ පිළිවෙළින් ෆීජී, ආර්ජෙන්ටිනා සහ දකුණු අප්‍රිකා යන කණ්ඩායම් ය.

සත්කාරකයින්ගෙන් රුසියාවට දරුණු සත්කාරයක්!

ලෝක වාසී සියලු රග්බිලෝලීන්ගේ වසන්තය ආරම්භ කරමින් 2019 රග්බි ලෝක කුසලානය අද (20)…

ඕස්ට්‍රේලියාව සහ ෆීජී D කාණ්ඩය

මීට සති කිහිපයකට ඉහත දී නිමාව දුටු රග්බි ශූරතා තරගාවලියේ දී ප්‍රබල All Blacks කණ්ඩායමට අමිහිරි පරාජයක් උරුම කර දුන් ඕස්ට්‍රේලියානු කණ්ඩායම මෙම තරගයට පිවිසුණේ ඉතාමත් පහසුවෙන් ෆීජී කණ්ඩායම පරාජයට පත්කිරීමේ අපේක්ෂාවෙනි.

එසේ නිරායාසයෙන් තරගය ජය ගැනීමට පැමිණි Wallabies කණ්ඩායමට එකවරම එල්ල වූ දරුණු ෆීජී ආක්‍රමණයන් මෙල්ල කිරීමට දැඩි ආයසයක් දැරීමට සිදු විය.

පළමු අර්ධය තමන්ගේ පාලනයට නතු කර ගත් ෆීජී ක්‍රීඩකයින්ට ලැබුණු දඬුවම් පහර ත්‍රිත්වය සාර්ථකව ගෝල කණු අතරින් පා කර හැරියේ එක් උත්සාහක දිනුමක වාසිය ද තම අතැතිවයි. ෆීජී ක්‍රීඩකයින්ගේ වේගවත් ධාවනයන් මැඬලීමට වෙහෙසකර ප්‍රයත්නයක නිරත වූ ඕස්ට්‍රේලියානුවන් හට එම අර්ධයේ දී සාර්ථක කරගැනීමට හැකි වූයේ උත්සාහක දිනුම් දෙකක් පමණි.

පළමු අර්ධය: ඕස්ට්‍රේලියාව 12 (2T,1C) – 14 (1T,3P) ෆීජී

විවේක කාලයෙන් අනතුරුව තරගය ආරම්භ වී මිනිත්තු 10ක් ගතවීමටත් මත්තෙන් යලි ක්‍රියාත්මක වූ ෆීජී ක්‍රීඩක නෙයාකෙලාවූ තම කණ්ඩායමේ ලකුණු තත්වය තවදුරටත් සවිමත් කළේ ඕස්ට්‍රේලියානුවන් හට දැඩි පීඩනයක් එල්ල කරමිනි.

60 වන මිනිත්තුව දක්වා තරගයේ පෙරමුණෙහි රැඳී සිටි ෆීජී කණ්ඩායම තබා තිබූ බලාපොරොත්තු සියල්ලම එක ක්ෂණයකින් සුනුවිසුනු කර දැමීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ටොලූ ලාටූ සමත් වූයේ උත්සාහක දිනුම් රේඛාව අවස්ථාවන් දෙකක දී අභිබවා යාමත් සමඟිනි.

ඉන් අනතුරුව ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ලකුණු රැස් කිරීමේ සාදයට එක්වූ කෙරෙවි සහ කොරොයිබේ එක් උත්සාහක දිනුම බැගින් වාර්තා කරමින් ෆීජී කණ්ඩායම අත තිබූ තරගය සම්පූර්ණයෙන්ම පාහේ ඔවුන්ගෙන් උදුරා ගැනීමට සමත් විය.

අවසන් ලකුණු තත්වය: ඕස්ට්‍රේලියාව 39 (6T,2C,1P) – 21 (2T,1C,3P) ෆීජී

තරගයේ වීරයා – ටොලූ ලාටූ (ඕස්ට්‍රේලියාව)

ලකුණු රැස් කළ ක්‍රීඩකයෝ

ඕස්ට්‍රේලියාව: මයිකල් හූපර් (1T), රීස් හොඩ්ජ් (1T, 1P), ටොලූ ලාටූ (2T), මරිකා කොරොයිබේ (1T), සමූ කෙරෙවි (1T), ක්‍රිස්ටියන් ලෙයිලිෆානෝ (1C), මැට් තොමු (2C)

ෆීජී: පර්සෙලි යේටෝ (1T), වෙයිසී නෙයාකෙලාවූ (1T), බෙන් වොලවොලා (3T, 1P),

රග්බි ලෝක කුසලාන කාලසටහන ශ්‍රී ලංකා වේලාවෙන්!

2019 රග්බි ලෝක කුසලානය ආරම්භ වීමට තව ඇත්තේ සති දෙකක පමණ සුළු කාලයක් පමණි. නමුත් මේ…

ප්‍රංශය සහ ආර්ජෙන්ටිනාව – C කාණ්ඩය

තමන් අවසන් වරට සහභාගී වූ ටෙස්ට් තරග 10ම පරාජයට පත්ව ඉතාමත් පසුගාමී මානසිකත්වයකින් ලෝක කුසලාන තරගාවලිය සඳහා අවතීර්ණ වූ ආර්ජෙන්ටිනා කණ්ඩායම, තරගය නිසැකවම ජය ගනු ඇතැයි අනුමාන කළ ප්‍රංශ ක්‍රීඩකයින් මවිතයට පත්කළේ නොසිතූ මොහොතක නොසිතූ ප්‍රහාර මාලාවන් කිහිපයක්ම දියත් කරමිනි.

රග්බි ලෝක කුසලානයේ වැඩිම උත්සාහක දිනුම් ලාභීන් ගැන ඔබ දන්නවා ද?

රග්බි ලෝක කුසලානයේ වැඩිම උත්සාහක දිනුම් ලාභීන් අතර පෙරමුණේ සිටින්නේ ලොව පූජනීයම…

පළමු අර්ධය සම්පූර්ණයෙන්ම පාහේ ප්‍රංශ ඒකාධිකාරය යටතේ වූ අතර ආර්ජෙන්ටිනා ක්‍රීඩකයින් හට හිස එසවීමට කිසිදු අවකාශයක් ලබා නොදීමට ප්‍රංශ ආරක්ෂක පෙළ ක්‍රීඩකයෝ සෑම අවස්ථාවක දී ම වගබලා ගත්හ.

ආරක්ෂාව එසේ තර කරද්දී ලකුණු රැස් කිරීමේ කාර්‍යභරය ද සමබරව සිදු කළ ප්‍රංශ ක්‍රීඩකයින් ප්‍රවර්තිත උත්සාහක දිනුම  දෙකක් සහ දඬුවම් පහර දෙකකින් ආර්ජෙන්ටිනා ක්‍රීඩකයින්ට සංග්‍රහ කිරීමට ද අමතක නොකළේය.

පළමු අර්ධය: ප්‍රංශය 20 (2T,2C,2P) – 03 (1P) ආර්ජෙන්ටිනාව 

නිහඬව, නිරුත්තරව සිටීමට තවත් කාලයක් ඉතිරිව නොමැති බව අවබෝධ කර ගත් ආර්ජෙන්ටිනා ක්‍රීඩකයින් ප්‍රංශ ආරක්ෂක වැට බිඳ දමමින් අලංකාර උත්සාහක දිනුම් දෙකක් වාර්තා කළේ තවමත් ඔවුන් තරගය අතහැර නොමැති බවට ප්‍රංශ කණ්ඩායමට රතු එළියක් දල්වාලමිනි.

මොන්ටෝයා සහ පෙටී එසේ ධවල රේඛාව ඉක්මවා ගමන් කරද්දී සැන්චේස් ආර්ජෙන්ටිනාව වෙනුවෙන් පන්දුව ගෝල කණු අතරින් යොමු කිරීමේ කාර්‍ය අකුරටම ඉටු කරන ලදී. කෙසේ නමුත් දෙපසට දෝලනය වෙමින් තිබූ තරගය අවසන් මොහොතේ දී වූවද ජයගැනීමට තිබූ පහසුම අවස්ථාවක් ආර්ජෙන්ටිනා කණ්ඩායම අතින් ගිලිහී ගියේ Fly Half ක්‍රීඩක සැන්චේස් හට උදා වූ දඬුවම් පහර අවස්ථාව සාර්ථක කරගැනීමට ඔහු අපොහොසත් වූ නිසාවෙනි.

අවසන් ලකුණු තත්වය: ප්‍රංශය 23 (2T,2C,3P) – 21 (2T,1C,3P) ආර්ජෙන්ටිනාව 

තරගයේ වීරයා – ගේල් ෆිකෝඌ (ප්‍රංශය)

ලකුණු රැස් කළ ක්‍රීඩකයෝ

ප්‍රංශය: අන්ටොඇන් ඩුපොන්ට් (1T), ගේල් ෆිකෝඌ (1T), රොමේන් න්’ටැමැක් (1C, 2P), කමීල් ලෝපේස් (1P)

ආර්ජෙන්ටිනාව: ජුලියන් මොන්ටෝයා (1T), ගුඉඩෝ පෙටි (1T), නිකොලාස් සැන්චේස් (1C 3P) 

Video- All Blacksලා World Cup එකට Settle නැද්ද?

Watch Asanka Hadirampela & Sudarshana Peiris analyze the likes of All Blacks…

නවසීලන්තය සහ දකුණු අප්‍රිකාව – B කාණ්ඩය

වාර්තාගත ප්‍රේක්ෂක ජනකායක් ඉදිරියේ ක්‍රියාත්මක වූ මෙම තරගය මෙවර ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරගය හා සමාන තරගකාරීත්වයකින් යුතු වටපිටාවක් නිර්මාණය කරනු ඇතැයි බොහෝ දෙනා දැඩිව විශ්වාස කෙරිණි.

වසර ගණනක් මුළුල්ලේ අඛණ්ඩව පවත්වා ගෙන ආ ලෝක ශූර All Blacks බලපරාක්‍රමයින් කෙසේ හෝ බිඳ හෙලීමේ චේතනාවෙන් තරග වැදී Springbok ක්‍රීඩකයින් පළමු විනාඩි 15ක කාලය තුල ඉතාමත් මැනවින් පන්දුව තමන් සන්තකයේ තබා ගනිමින් නවසීලන්ත අන්තය ආක්‍රමණය කළේ ප්‍රතිවාදී ක්‍රීඩකයින් හට සිතන්නට යමක් ඉතිරි කරමිනි.

Springboks කණ්ඩායමේ ප්‍රබල අවතීර්ණ වීම හමුවේ කලබල නොවුනු අත්දැකීම් බහුල All Blacks ක්‍රීඩකයින් එල්ල වූ සෑම තර්ජනයක්ම ඉතාමත් සූක්ෂමව පියවරෙන් පියවර මැඬ පවත්වාලූයේ ප්‍රථම අර්ධයට පෙර තරගයේ පෙරමුණ ද තම කණ්ඩායම වෙත හිමිකර දෙමිනි.

ස්කොට් බැරට් සහ ජෝර්ජ් බ්‍රිඩ්ජ් ඔවුන්ගේ සුරතට ලැබුණු පන්දුව ආරක්ෂිතව උත්සාහක දිනුම් රේඛාව පසුකරමින් රැගෙන යාමට සමත් වූ අතර මො’උන්ගා ඔහුට පන්දුව ලැබුණු සෑම මොහොතක දී ම නිසි ඉලක්කය වෙත පන්දුව යොමු කළේ ඔහුගේ දර්ශනීය පා පහර උපයෝගී කරගනිමිනි.

පළමු අර්ධය: නවසීලන්තය 17 (2T,2C,1P) – 03 (1P) දකුණු අප්‍රිකාව 

දකුණු අප්‍රිකාව ඉදිරියට රැගෙන යාමේ බර තම කර මතට පටවා ගත් හන්ද්‍රේ පොලාඩ් දැකුම්කළු ඩ්‍රොප් ගෝලයකින් කණ්ඩායමේ ලකුණු පුවරුව පෝෂණය කළ අතර පීටර් ඩූ ටොයිට් උත්සාහක දිනුමක් වාර්තා කරමින් දකුණු අප්‍රිකානු කණ්ඩායම ස්ථාවර කිරීමට දැඩිව වෙහෙස මහන්සී වී කටයුතු කළේය.

කෙසේ නමුත් ලද දඬුවම් පහර අවස්ථාවන් ද්විත්වයෙන් තම ලකුණු තත්වය තර කර ගත් All Blacks ක්‍රීඩකයින් සම්පූර්ණ කාලය අවසනායේ දී Springbok ක්‍රීඩකයින්ට වඩා ලකුණු 10ක් ඉදිරියෙන් සිටිමින් තරගයේ ජය තහවුරු කර ගැනීමට සමත් විය.

අවසන් ලකුණු තත්වය: නවසීලන්තය 23 (2T,2C,3P) – 13 (1T,1C,1P,1DG) දකුණු අප්‍රිකාව 

තරගයේ වීරයා – බියුඩින් බැරට් (නවසීලන්තය)

ලකුණු රැස්කළ ක්‍රීඩකයෝ

නවසීලන්තය: ජෝර්ජ් බ්‍රිඩ්ජ් (1T), ස්කොට් බැරට් (1T), රිචී මො’උන්ගා (2C, 2P), බියුඩින් බැරට් (1P)

දකුණු අප්‍රිකාව: පීටර් ස්ටෙෆ් ඩූ ටොයිට් (1T), හන්ද්‍රේ පොලාඩ් (1C, 1P, 1DG)

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<