සත්කාරක දේශයේ ප්‍රහාරයෙන් රග්බි ලෝකය උඩුයටිකුරු වෙයි

102

දිනෙන් දින උණුසුම් වන 2019 රග්බි ලෝක කුසලාන තරගාවලියේ දෙවන සතියේ අන්තය ආරම්භ කරමින් අද (28) පැවති මූලික වටයේ තරගයන්ගෙන් ජය ගැනීමට ආර්ජෙන්ටිනාව, ජපානය සහ දකුණු අප්‍රිකාව යන කණ්ඩායම් සමත් විය.

සැමෝවා පීඩනය හමුවේ රුසියාව බිඳ වැටේ

2019 රග්බි ලෝක කුසලානයේ A කාණ්ඩයේ තවත් තරගයක් අද (24) ජපානයේ කුමගයා නුවර දී ශ්‍රී …

ආර්ජෙන්ටිනා සහ ටොංගා – C කාණ්ඩය

දිනය ආරම්භ කරමින් ක්‍රියාත්මක වූ මෙම තරගය නැරඹීම සඳහා විශාල ප්‍රේක්ෂක ජනකායක් ජපානයේ ඔසාකාහී හනසෝනෝ ක්‍රීඩා පිටියට එක් රැස්ව සිටි අතර ආර්ජෙන්ටිනා ආධාරකරුවන් අමන්දානන්දයට පත් කරමින් පළමු අර්ධය තුල දී ම ප්‍රවර්තිත උත්සාහක දිනුම් 4ක් වාර්තා කිරීමට Julian Montoya ප්‍රමුඛ ආර්ජන්ටිනානුවන් සමත් විය.

ටොංගා ආරක්ෂක වැටේ දුර්වල ස්ථානයන් ක්ෂණිකව හඳුනා ගනිමින් පහර පිට පහර එල්ල කළ ආර්ජෙන්ටිනා ක්‍රීඩක Julian Montoya මෙවර තරගාවලිය තුල උත්සාහක දිනුම් ත්‍රිත්වයක් වාර්තා කළ දෙවන ක්‍රීඩකයා ලෙස වාර්තා පොත් අතරට එක් විය.

අසීරු කෝණයන්ගෙන් ලැබුණු ප්‍රවර්තන අවස්ථා කිහිපයක්ම සාර්ථකව ගෝල කණු අතරින් යොමු කළ Benjamin Urdapilleta තමන්ට පැවරුණු රාජකාරිය අකුරටම ඉටු කළේය.

තම ආරක්ෂක පෙළ සවිමත් කරමින් ආර්ජටිනාවෙන් එල්ල වන දැවැන්ත අභියෝගයට පිළිතුරු සෙවූ ටොංගා ක්‍රීඩකයින් හට තරගය පිළිබඳ නව බලාපොරොත්තුවක් ලබාදීමට Telusa Veainu සමත්කම් දැක්වූයේ අලංකාර උත්සාහක දිනුමකින් තම කණ්ඩායමේ ලකුණු පුවරුව පෝෂණය කරමිනි.

පළමු අර්ධය: ආර්ජෙන්ටිනාව 28 (4T,4C) – 07 (1T,1C) ටොංගා

විවේක කාලයෙන් අනතුරුව තරගයට අවතීර්ණ වූ ටොංගා ක්‍රීඩකයින් එතෙක් වේලා දියත් කළ තම තරග සැලසුම් තරමක් වෙනස් කළ ස්වභාවයක් දිස්වූයේ පළමු අර්ධයට සාපේක්ෂව ආක්‍රමණශීලී ක්‍රීඩා විලාසයක් පෙන්නුම් කළ නිසාවෙනි.

40 වැනි මිනිත්තුවේ දී උත්සාහක දිනුමක් වාර්තා කරමින් ආර්ජෙන්ටිනා කණ්ඩායමට යලි පීඩනයක් එල්ල කිරීමට තිබූ පහසු අවස්ථාවක් ටොංගා ක්‍රීඩකයින් අතින් ගිලිහී ගිය නමුත් එම වාඩුව පියවා ගැනීමට Telusa Veainu නැවත වතාවක් වගබලා ගත්තේ තරගයේ ජයග්‍රහණය යලිත් දෙපිලටම විවෘත කරමිනි.

ආර්ජෙන්ටිනාවට එම අර්ධයේ දී එකදු ලකුණක් හෝ එක් කිරීමට ඉඩ ප්‍රස්තාව ලබා නොදීමට ටොංගා ක්‍රීඩකයින් වගබලාගත් නමුත් අමතර ප්‍රසාද ලකුණක් ද සමඟින් තරගයේ ජය ආර්ජෙන්ටිනා කණ්ඩායම හට හිමි වීම වළකාලීමට ඔවුන් දැරූ වෑයම ප්‍රමාණවත් නොවීය.

අවසන් ලකුණු තත්වය: ආර්ජෙන්ටිනාව 28 (4T,4C) – 12 (2T,1C) ටොංගා

තරගයේ වීරයා – Julian Montoya (ආර්ජෙන්ටිනාව)

ලකුණු රැස්කළ ක්‍රීඩකයෝ 

  • ආර්ජෙන්ටිනාව – Julian Montoya (3T) , Santiago Carreras (1T), Benjamin Urdapilleta (4C)
  • ටොංගා – Telusa Veainu (2T), Sonatane Takulua (1C)

ජපානය සහ අයර්ලන්තය – A කාණ්ඩය 

රග්බි ශ්‍රේණිගත කිරිම්හී අංක දෙක ස්ථානයෙහි රැඳෙමින් ඉතා ප්‍රබල මානසික මට්ටමක පසුවූ අයර්ලන්ත කණ්ඩායමට එරෙහිව සත්කාරක ජපාන කණ්ඩායම සටන් වැඳුණු මෙම තරගය ආරම්භයේ සිටම ඉතාමත් තරගකාරී මුහුණුවරක් ගත්තේ දෙපිලේම ක්‍රීඩකයින් ජයග්‍රහණ පිපාසයෙන් තරග බිමට පිවිසි නිසාවෙනි.

තරගයේ ප්‍රථම වතාවට ලකුණු පුවරුව පණගැන්වීමේ ගෞරවය තමන් සතු කරගත් අයර්ලන්ත කණ්ඩායම පළමු අර්ධය තුල දී උත්සාහක දිනුම් දෙකක් වාර්තා කරමින් තියුණු තරගයක් සඳහා අවශ්‍ය පසුබිම සකසාලීය. Rob Kearny සහ Gary ringrose දෙදෙනා තරගයේ ස්වභාවය මැනවින් අවබෝධ කරගනිමින් එම උත්සාහක දිනුම් ද්විත්වය අයර්ලන්ත කණ්ඩායම වෙත දිනා දීමට පුරෝගාමී මෙහෙවරක් ඉටුකළහ.

ධවල රේඛාව අභිබවා යාමට අපොහොසත් වූවත් ලකුණු පුරුව සක්‍රියව තබා ගැනීමට ජපාන කණ්ඩායම යුහුසුලු වූයේ ප්‍රතිවාදී කණ්ඩායම අතින් සිදු වූ අත්වැරදීම් නිසාවෙන් උදාකරගත් දඬුවම් පහර සියල්ල  සාර්ථකව ගෝල කණු අතරින් පා කර හරමිනි.

පළමු අර්ධය: ජපානය 09 (3P) – 12 (2T,1C) අයර්ලන්තය

පැමිණ සිටි දහස් සංඛ්‍යාත ප්‍රේක්ෂකයන්ගේ නොමඳ දිරිමත් කිරීම් මධ්‍යයේ පන්නරය ලැබූ ජපන් ක්‍රීඩකයින් එතෙක් වේලාවක් ක්‍රියාත්මක කළ තම ක්‍රමෝපායන් තරමක් වෙනස් කරමින් අයර්ලන්ත කණ්ඩායම වෙත වැඩි පීඩනයක් යොමු කළේ දෙපසට දෝලනය වෙමින් පැවති තරගයේ වැඩි වාසි තමන් සතු කරගනිමිනි.

අයර්ලන්ත අර්ධය ආක්‍රමණය කරමින් වැඩි වේලාවක් පන්දුවේ පාලනය තමන් සතුකරගත් ජපන් කණ්ඩායම, Kenki Fukuokaගේ වික්‍රමාන්විත උත්සාහක දිනුමත් සමඟ තරගයේ පෙරමුණ ගත්තේ ප්‍රතිවාදීන් හට ප්‍රබල රතු එළියක් දල්වාලමිනි.

තරගයේ නිමාවට සුළු මොහතක් ඉතිරිව තිබිය දී ලැබුණු දඬුවම් පහර අවස්ථාව ද සාර්ථක ගත් Yu Tamara තරගය පුරාවට ලකුණු 15ක් වාර්තා කරමින් ලෝක කුසලාන ඉතිහාසයේ ඓතිහාසික තරග ජයග්‍රහණයක ප්‍රබල කොටස්කරුවකු බවට පත්වීය.

අවසන් ලකුණු තත්වය: ජපානය 19 (1T,1C,4P) – 12 (2T,1C) අයර්ලන්තය 

තරගයේ වීරයා – Shota Horie (ජපානය)

ලකුණු රැස්කළ ක්‍රීඩකයෝ

  • ජපානය – Yu Tamura (4P,1C), Kenki Fukuoka (1T)
  • අයර්ලන්තය – Gary Ringrose (1T), Rob Kearny (1T), Jack Carty (1C)

දකුණු අප්‍රිකාව සහ නැමීබියාව – B කාණ්ඩය 

All Blacks කණ්ඩායම හමුවේ ලද අවාසනාවන්ත පරාජයෙන් අනතුරුව නැවතත් ජයග්‍රාහී මාවතට පිවිසීමේ අටියෙන් පිටියට පිවිසි Springbok ක්‍රීඩකයින් පළමු අර්ධයේ ආරම්භයේ සිටම උත්සාහක දිනුම් වරුසාවකින් නැමිබියාවට සංග්‍රහ කළේ කිසිසේත්ම බිඳ හෙළිය නොහැකි ආධිපත්‍යයක් තරගය පුරාවට ගොඩනංවා ගනිමිනි.

Bongi Mbonambi අවස්ථාවන් දෙකක දී උත්සාහක දිනුම් රේඛාව අභිබවා ගිය අතර Francois Louw, Makazole Maphimpi සහ  Lukhanyo Am එක් උත්සාහක දිනුම බැගින් වාර්තා කරමින් දකුණු අප්‍රිකානු ලකුණු පුවරුව වර්ණවත් කළහ.

දකුණු අප්‍රිකානු ප්‍රහාර හමුවේ අන්ත අසරණ වූ නැමීබියානු ක්‍රීඩකයින්ගේ ලකුණු ඉඩෝරයට යම් අස්වැසිල්ලක් ගෙන ඒමට Cliven Loubser සමත් වූයේ තම පාදය ක්‍රියාත්මක කරමින් වාර්තා කළ ලකුණු තුන කණ්ඩායමේ ගිණුමට හර කරමිනි.

පළමු අර්ධය: දකුණු අප්‍රිකාව 31 (5T,3C) – 03 (1P) නැමීබියාව

පරාජිත මානසිකත්වයෙන් හෙම්බවත්ව සිටි නැමීබියාව හට හිස එසවීමට නොහැකි වන අයුරින් පහර දුන් දකුණු අප්‍රිකානු ක්‍රීඩකයින් දෙවන අර්ධයත් ඉතාමත් ඵලදායි එකක් බවට පරිවර්තනය කරගත්තේ තවත් උත්සාහක දිනුම් පහකට උරුමකම් කියමිනි.

අර්ධ ශතක ලකුණු සීමාව ඉතාමත් පහසුවෙන් පසුකොට සිය Springbok ක්‍රීඩකයින් තරගයේ ජය තමන් සතුකරගත්තේ අමතර ප්‍රසාද ලකුණකට ද අයිතිවාසිකම් කියමිනි.

Warrick Gelant, Siya Kolisi සහ Schalk Brits උත්සාහක දිනුම බැගින් වාර්තා කරමින් සිය දායකත්වය කණ්ඩායමට උපරිමයෙන් ලබා දුන් අතර Elton jantjies ප්‍රවර්තන 9න් 6ක්ම නිවැරදි ඉලක්කය වෙතට යොමු කිරීමට ද සමත් විය.

අවසන් ලකුණු තත්වය: දකුණු අප්‍රිකාව 57 (9T,6C) – 03 (1P) නැමීබියාව

තරගයේ වීරයා – Lood De Jager (දකුණු අප්‍රිකාව)

ලකුණු රැස්කළ ක්‍රීඩකයෝ

  • දකුණු අප්‍රිකාව – Bongi Mbonambi (2T), Fracois Louw (1T), Siya Kolisi (1T), Schalk Brits (1T), Makazole Maphimpi (2T), Warrick Gelant (1T), Lukhanyo Am (1T), Elton Jantjies (6C)
  • නැමීබියාව – Cliven Loubser(1P) 

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<