රග්බි ක්‍රීඩාවේ උත්කර්ෂවත් ලෝක කුසලානය ඇරඹුණේ මෙහෙමයි

339
කවරයේ ඡායාරූපය-නවසීලන්ත නායකයා රග්බි ලෝක කුසලානය සමඟ (gettyimages)

1987 වසරේ දී මුල්මවරට ආරම්භ වූ රග්බි ලෝක කුසලාන තරගාවලිය සඳහා සත්කාරකත්වය ලබා දුන්නේ ලෝක රග්බි පිටියේ සිටින දැවැන්ත රටවල් දෙකක් වන ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය යි.

මංගල ලෝක කුසලාන තරගාවලිය සඳහා අන්තර්ජාතික රග්බි සම්මේලනයේ සාමාජිකයන් ලෙස ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, එංගලන්තය, ප්‍රංශය, වේල්සය, අයර්ලන්තය සහ ස්කොට්ලන්තය යන රටවල් ද ආරාධිත රටවල් ලෙසින් ආජන්ටිනාව, ජපානය, ෆීජි, ටොංගා, ඉතාලිය, කැනඩාව, ඇමරිකාව, රුමේනියාව සහ සිම්බාබ්වේ යන රටවල් ද තරගාවලිය සඳහා එක්විය.

රග්බි ලෝක කුසලානය (gettyimages)

තරගාවලියේ එක් එක් කාණ්ඩවලට අයත් වුණු රටවල්

පළමු කාණ්ඩය                                                        

  • ඕස්ට්‍රේලියාව
  • එංගලන්තය
  • ජපානය
  • ඇමරිකා එක්සත් ජනපදය

දෙවන කාණ්ඩය

  • කැනඩාව
  • අයර්ලන්තය
  • ටොංගා
  • වේල්ස්

තෙවැනි කාණ්ඩය

  • නවසීලන්තය
  • ෆිජී
  • ඉතාලිය
  • ආජන්ටිනාව

සිව්වැනි කාණ්ඩය

  • ප්‍රංශය
  • ස්කොට්ලන්තය
  • රුමේනියාව
  • සිම්බාබ්වේ

පළමු වටයේ තරගවල ප්‍රතිඵල

ඉතාමත් තියුණු මුහුණුවරකින් පැවති පළමු වටයේ තරග අවසානයේ දී කණ්ඩායම් 8ක් අර්ධ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලැබීය. ඒ අනුව එක් එක් කාණ්ඩයේ මූලික වටයේ තරගවල ප්‍රතිඵලයන් මෙසේය.

පළමු කාණ්ඩය

පළමු කාණ්ඩය යටතේ තරග වැදුණු ප්‍රබලතම කණ්ඩායම් දෙක වූයේ සත්කාරක ඕස්ට්‍රේලියා කණ්ඩායම සහ ප්‍රබල එංගලන්ත කණ්ඩායමයි.

එම කණ්ඩායම් දෙක මූලික වටයේ දී ඔවුන් මුහුණ දුන් ඇමරිකාවට එරෙහිව තරගය සහ ජපානයට එරෙහිව තරගය ඉතාමත් පහසුවෙන් ජය ගත්තේය. එමනිසාම කාණ්ඩයේ පළමු වැනියා තීරණය වූයේ එංගලන්ත ඕස්ට්‍රේලියා තරගයෙනි.

එහි දී ප්‍රබල ඕස්ට්‍රේලියානු කණ්ඩායම එංගලන්ත කණ්ඩායම පරදවා පහසු ජයක් ලැබූ නිසාම කාණ්ඩයේ පළමු ස්ථානය ඕස්ට්‍රේලියාවට හිමි වන විට එංගලන්තය ද කාණ්ඩයේ දෙවැනි ස්ථානය ලබා ගනිමින් අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීය

කාණ්ඩයේ තරගවල ප්‍රතිඵල

  • ඕස්ට්‍රේලියාව  සහ එංගලන්තය – 19-06
  • ජපානය සහ ඇමරිකාව – 18-21
  • එංගලන්තය සහ ජපානය – 60-7
  • ඕස්ට්‍රේලියාව සහ ඇමරිකාව – 47-12
  • එංගලන්තය සහ ඇමරිකාව – 34-06
  • ඕස්ට්‍රේලියාව සහ ජපානය – 42-23
ඕස්ට්‍රේලියා – එංගලන්ත තරගයේ අවස්ථාවක් (gettyimages)

දෙවන කාණ්ඩය

දෙවන කාණ්ඩයේ ප්‍රබලතම කණ්ඩායම වූ වේල්සය තරග 3ම ජයග්‍රහණය කරමින් අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබන විට ඔවුන්ට පමණක් දෙවනි වූ අයර්ලන්තය තරග දෙකක් ජයග්‍රහණය කරමින් කාණ්ඩයේ දෙවැනි ස්ථානය දිනා ගත්තේය.

කාණ්ඩයේ තරගවල ප්‍රතිඵල

  • කැනඩාව සහ ටොංගා – 37-04
  • අයර්ලන්තය සහ වේල්සය – 06-13
  • කැනඩාව සහ අයර්ලන්තය – 19-46
  • ටොංගා සහ වේල්සය – 16-29
  • කැනඩාව සහ වේල්සය – 09-40
  • අයර්ලන්තය සහ ටොංගා- 32-09
වේල්ස් අයර්ලන්ත තරගයේ අවස්ථාවක් (gettyimages)

තෙවැනි කාණ්ඩය

ප්‍රබල නවසීලන්ත කණ්ඩායම ඉතාමත් පහසුවෙන් තරග 3ම ජයග්‍රහණය කරන විට කාණ්ඩයේ සෙසු රටවල් වූ ආජන්ටිනාව,ඉතාලිය සහ ෆීජී තරගය බැගින් ජයග්‍රහණය කළේය. නමුත් අවසානයේ දී සමතාවය බිඳීමේ නීතිරීති අනුව ෆීජී කණ්ඩායම අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීය.

කාණ්ඩයේ තරගවල ප්‍රතිඵල

  • නවසීලන්තය සහ ඉතාලිය – 70-06
  • ආජන්ටිනාව සහ ෆීජී – 28-06
  • නවසීලන්තය සහ ෆීජී – 74-13
  • ආජන්ටිනාව සහ ඉතාලිය – 25-13
  • ෆීජී සහ ඉතාලිය -15-18
  • නවසීලන්තය සහ ආජන්ටිනාව – 46-15
නවසීලන්ත – ආජන්ටිනා තරගයේ අවස්ථාවක් (gettyimages)

සිව්වැනි කාණ්ඩය

ප්‍රංශය සහ ස්කොට්ලන්තය තරග 2 බැගින් ජයග්‍රහණය කළ ද ප්‍රංශය කාණ්ඩයේ පෙරමුණ ගත්තේය. මෙම කාණ්ඩය යටතේ පැවති ප්‍රංශ-ස්කොට්ලන්ත තරගය රග්බි ලෝක කුසලාන ඉතිහාසයේ සුවිශේෂී තරගයක් වූයේ තරගාවලි ඉතිහාසයේ ලකුණු සමවූ මුල්ම තරගය එය වීම නිසාය

කාණ්ඩයේ තරගවල ප්‍රතිඵල

  • රුමේනියාව සහ සිම්බාබ්වේ – 21-20
  • ප්‍රංශය සහ ස්කොට්ලන්තය- 20-20
  • ප්‍රංශය සහ රුමේනියාව – 55-12
  • ස්කොට්ලන්තය සහ සිම්බාබ්වේ- 60-21
  • රුමේනියාව සහ ස්කොට්ලන්තය – 55-28
  • ප්‍රංශය සහ සිම්බාබ්වේ – 70-12

අර්ධ අවසන් පූර්ව වටය

පළමු වටයේ තරගවල ප්‍රතිඵල අනුව නවසීලන්තය, ඕස්ට්‍රේලියාව, ප්‍රංශය, එංගලන්තය, වේල්සය, අයර්ලන්තය, ස්කොට්ලන්තය සහ ෆීජී යන කණ්ඩායම් අර්ධ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලැබුවේය. එහි දී එම වටයේ දී එක් එක් කණ්ඩායම් තරග වැදුණේ පහත ආකාරයටය.

නවසීලන්තය සහ ස්කොට්ලන්තය

තරගාවලිය සඳහා එක්වූ ප්‍රබලතම කණ්ඩායමක් වූ නවසීලන්තය මෙම තරගය ලකුණු 30-03ක් ලෙස ඉතාමත් පහසුවෙන් ජයග්‍රහණය කරන විට නවසීලන්තය වෙනුවෙන් දඬුවම් පහර 6ක් සහ ප්‍රවර්තන දෙකක් සාර්ථක කර ගත් ග්‍රාන්ට් ෆොක්ස් ලකුණු 22ක් කණ්ඩායමට වෙනුවෙන් ලබා ගත්තේය.

එම ජයග්‍රහණයත් සමඟින් රග්බි ලෝක කුසලාන තරගාවලි ඉතිහාසයේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබූ මුල්ම රට බවට සත්කාරක නවසීලන්තය ඉතිහාසයට එක්විය.

නවසීලන්ත – ස්කොට්ලන්ත අර්ධ අවසන් පූර්ව තරගයේ උණුසුම් අවස්ථාවක් (gettyimages)

ඕස්ට්‍රේලියාව සහ අයර්ලන්තය

නවසීලන්තය මෙන්ම ප්‍රබල කණ්ඩායමක් වූ ඕස්ට්‍රේලියානු කණ්ඩායම මෙම තරගය කිසිදු අභියෝගයකින් තොරව අයර්ලන්තය කණ්ඩායම හමුවේ ලකුණු 33-15ක් ලෙසින් ජයග්‍රහණය කළේය. එහි දී ඕස්ට්‍රේලියානු කණ්ඩායම වෙනුවෙන් පීටර් බර්ක් උත්සාහක දිනුම් 2ක් වාර්තා කරගන්නා විට මයිකල් පැට්‍රික් තෝමස් කණ්ඩායම වෙනුවෙන් ලකුණු 17ක් එක් කළේ ප්‍රවර්තන 4ක් සහ දඬුවම් පහර 3ක් සාර්ථක කරගනිමිනි.

ප්‍රංශය සහ ෆීජී

ෆීජී කණ්ඩායමට එරෙහිව පැවති අර්ධ අවසන් පූර්ව තරගය 31-16ක් ලෙසින් ජයග්‍රහණය කළ ප්‍රංශ කණ්ඩායම ප්‍රබල ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමඟ පැවැත්වීමට නියමිතව තිබූ පළමු අවසන් පූර්ව තරගය සඳහා සුදුසුකම් ලැබීය. එහි දී ප්‍රංශ කණ්ඩායම ලබා ගත් ලකුණු 31 වෙනුවෙන් ඉහළම දායකත්වයක් ලබා දුන් ගයි ලාපෝර්ට් ලකුණු 15ක් සහ ලෝරන්ට් රොද්‍රිගෝස් ලකුණු 8ක් ලබාගත්තේය.

වේල්සය සහ එංගලන්තය

නවසීලන්ත කණ්ඩායම සමඟ දෙවන අවසන් පූර්ව තරගය සඳහා ක්‍රීඩා කිරීමට සුදුසුකම් ලබන කණ්ඩායම තේරීම සඳහා පැවති මෙම තරගයෙන් ප්‍රබල එංගලන්ත කණ්ඩායම 16-03ක් ලෙස පරාජය කළ වේල්ස් කණ්ඩායම විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගත්තේය.

වේල්සය සහ එංගලන්තය අර්ධ අවසන් පූර්ව තරගයේ දී ගැටුණු අවස්ථාව (gettyimages)

අවසන් පූර්ව වටය

එම අවදිය වන විට ලෝක රග්බි පිටියේ සිටි ප්‍රබලතම කණ්ඩායම් 4ක් වූ නවසීලන්තය, ඕස්ට්‍රේලියාව, ප්‍රංශය සහ වේල්සය තරග වැදුණු මෙම අවසන් පූර්ව වටය සැබවින්ම තියුණු තරග වටයක් විය.

පළමු අවසන් පූර්ව තරගය

සත්කාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම මුල සිටම මෙම තරගයට ඉතාමත් හොඳින් අවතීර්ණ වෙමින් එක් අවස්ථාවක 9-0ක් ලෙසින් පෙරමුණේ පසුවුවද ඉන් නොසැලුණු ප්‍රංශ ක්‍රීඩකයන් ලකුණු තත්වය 15-12ක් බවට පත් කළේය.

නමුත් එම අවස්ථාවේ ක්‍රියාත්මක වූ ඕස්ට්‍රේලියානු ක්‍රීඩක මයිකල් පැට්‍රික් තෝමස් දඬුවම් පහර සහ ඩ්‍රොප් ගෝල මගින් සිය කණ්ඩායම 24-21ක් ලෙසින් පෙරමුණේ තැබීය. එම අවස්ථාවේ දී ඕස්ට්‍රේලියානු කණ්ඩායම එලෙස තරගය ජයග්‍රහණය කරන බවක් පෙනී ගිය ද එම ජයග්‍රහණය වැළකූ ප්‍රංශ ක්‍රීඩකයෝ අවසන් භාගයේ දී උත්සාහක දිනුමකින් ලකුණු 4ක් (එම අවදියේ උත්සාහක දිනුමකට ලබා දුන්නේ ලකුණු 4කි) සහ එහි ප්‍රවර්තනය සාර්ථක කර ගනිමින් ලබා ගත් ලකුණු 2 නිසා 27-24 ලෙස පෙරමුණ ගත් අතර අවසානයේ දී 30-24ක් ලෙස ඔවුන් තරගය ජයග්‍රහණය කළේ රග්බි ලෝක කුසලාන අවසන් තරගය සඳහා සුදුස්සන් වෙමිනි.

ඕස්ට්‍රේලියා -ප්‍රංශ අවසන් පූර්ව තරගයේ අවස්ථාවක්(gettyimages)

දෙවන අවසන් පූර්ව තරගය

ප්‍රබල නවසීලන්ත කණ්ඩායම මෙම තරගය 49-06ක් ලෙසින් ඉතාමත්ම පහසුවෙන් ජයග්‍රහණය කළේය. එහි දී නවසීලන්තය වෙනුවෙන් ජෝන් කිර්වාන් සහ වේන් ෂෙල්ෆර්ඩ් උත්සාහක දිනුම් 2 බැගින් වාර්තා කරන විට ග්‍රාන්ට් ෆොක්ස් ප්‍රවර්තන සහ දඬුවම් පහර මගින් ලකුණු 17ක් කණ්ඩායමට එක් කළේය.

නවසීලන්ත-වේල්ස් අවසන් පූර්ව තරගයේ දසුනක් (gettyimages)

තියුණු සටනකින් පසුව තෙවැනි ස්ථානය වේල්සයට

තෙවැනි ස්ථානය තේරීම සඳහා ඕස්ට්‍රේලියාව සහ වේල්සය අතර පැවති තරගයෙන් ලකුණු 22-21ක් ලෙස තියුණු ජයක් වාර්තා කිරීමට වේල්ස් කණ්ඩායම සමත් විය. එහි දී ඕස්ට්‍රේලියානු ක්‍රීඩක මයිකල් පැට්‍රික් තෝමස් ප්‍රවර්තන, දඬුවම් පහර සහ ඩ්‍රොප් ගෝල් මගින් ලකුණු 13ක් කණ්ඩායමට ලබා දුන්න ද ඕස්ට්‍රේලියානු ජයග්‍රහණය සඳහා එය ප්‍රමාණවත් වූයේ නැත.

ඕස්ට්‍රේලියාවට එරෙහිව වේල්ස් කණ්ඩායම තෙවැනි ස්ථානය සඳහා තරග වදිමින් (gettyiamges)

මංගල රග්බි ලෝක කුසලානය නවසීලන්තයට

නවසීලන්ත කණ්ඩායම සහ ප්‍රංශ කණ්ඩායම අතර පැවති මෙම තරගයේ මුල සිටම ඉදිරියෙන් සිටියේ ප්‍රබල නවසීලන්ත කණ්ඩායමයි. නවසීලන්ත ක්‍රීඩක ග්‍රාන්ට් ෆොක්ස් සිය සුපුරුදු ක්‍රීඩා විලාශය ප්‍රදර්ශනය කරමින් කණ්ඩායම වෙනුවෙන් රැස් කළ ලකුණු 17 නිසා නවසීලන්තය ලකුණු 29-09ක් ලෙසින් ප්‍රංශ කණ්ඩායම පරාජයට පත් කළේ ලෝක රග්බි කිරුළ දිනූ මුල්ම රට ලෙස ඉතිහාසයට එක් වෙමිනි.

අවසන් තරගයේ අවස්ථාවක් (gettyimages) Sinhala Features

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<