1991 වසරේ දී පැවති දෙවන ලෝක කුසලාන රග්බි තරගාවලිය සාර්ථකව නිමා වීමෙන් අනතුරුව නැවතත් 1995 වසරේ දී තෙවැනි ලෝක කුසලාන රග්බි තරගාවලිය දකුණු අප්‍රිකාවේ සත්කාරකත්වය ඇතිව පැවැත්විය. 

1991 ලෝක කුසලාන රග්බි තරගාවලිය

1987 වසරේදී පැවති පළමු ලෝක කුසලාන රග්බි තරගාවලිය සාර්ථකව නිමාවීමෙන්….

එහි දී දෙවන ලෝක කුසලාන රග්බි තරගාවලිය සඳහා සහභාගි වූ නවසීලන්තය, ඕස්ට්‍රේලියාව, එංගලන්තය, ප්‍රංශය, වේල්සය, ස්කොට්ලන්තය, අයර්ලන්තය, ජපානය, ආජන්ටිනාව, කැනඩාව, රුමේනියාව,ඉතාලිය සහ බටහිර සැමෝවා යන රටවල් තෙවැනි ලෝක කුසලාන රග්බි තරගාවලිය සඳහා ද සහභාගි වූ අතර ගියවර සහභාගී වුණු සිම්බාබ්වේ, ඇමරිකාව සහ ෆීජී කණ්ඩායම් වෙනුවට දකුණු අප්‍රිකාව, අයිවරි කෝස්ට් සහ ටොංගා කණ්ඩායම්  මෙම තරගාවලිය සඳහා එක්විය.  

1995 රග්බි ලෝක කුසලාන තරගාවලියේ සමාරම්භක උළෙලේ අවස්ථාවක් (gettyimages)

තරගාවලියේ එක් එක් කාණ්ඩ වලට අයත් වුණු රටවල් 

පළමු කාණ්ඩය දෙවන කාණ්ඩය තෙවැනි කාණ්ඩය සිව්වැනි කාණ්ඩය
දකුණු අප්‍රිකාව එංගලන්තය නවසීලන්තය ප්‍රංශය
ඕස්ට්‍රේලියාව බටහිර සැමෝවා අයර්ලන්තය ස්කොට්ලන්තය
රුමේනියාව ඉතාලිය වේල්සය ටොංගා  
කැනඩාව   ආජන්ටිනාව ජපානය    අයිවරි කෝස්ට්

පළමු වටයේ තරගවල ප්‍රතිඵල 

ඉතාමත් තියුණු මුහුණුවරකින් පැවති පළමු වටයේ තරග අවසානයේ දී කණ්ඩායම් 8ක් අර්ධ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලැබීය. ඒ අනුව එක් එක් කාණ්ඩයේ මූලික වටයේ තරගවල ප්‍රතිඵල මෙසේය. 

පළමු කාණ්ඩය  

1991 ලෝක කුසලාන රග්බි තරගාවලියේ ශූරතාව දිනූ ඕස්ට්‍රේලියාව සහ සත්කාරක රට වූ දකුණු අප්‍රිකාව මෙම කාණ්ඩය යටතේ තරග වැදුණු නිසා කාණ්ඩයේ පළමු ස්ථානය දිනා ගැනීම සඳහා ප්‍රබල සටනක් පැවතිය ද අවසානයේ දී ප්‍රබල ඕස්ට්‍රේලියානු කණ්ඩායම දෙවන තැනට ඇද දමමින් සත්කාරක රට වූ දකුණු අප්‍රිකාව කාණ්ඩයේ පළමු ස්ථානය දිනා ගැනීමට සමත් විය. 

  • දකුණු අප්‍රිකාව 27 – 18  ඕස්ට්‍රේලියාව   
  • කැනඩාව 34 – 03 රුමේනියාව  
  • දකුණු අප්‍රිකාව 21 – 08 රුමේනියාව   
  • ඕස්ට්‍රේලියාව 27 – 11 කැනඩාව 
  • ඕස්ට්‍රේලියාව 42 – 03 රුමේනියාව
  • දකුණු අප්‍රිකාව 20 – 00 කැනඩාව 
ඕස්ට්‍රේලියා – දකුණු අප්‍රිකා තරගයේ අවස්ථාවක් (gettyimages)

දෙවන කාණ්ඩය  

එංගලන්තය සහ බටහිර සැමෝවා යන කණ්ඩායම් දෙක මෙම කාණ්ඩයේ පෙරමුණ ගැනීමට සටන් කළ ද අවසානයේ දී එංගලන්තය කාණ්ඩයේ ජයග්‍රාහකයා විය.

  • බටහිර සැමෝවා 42 – 18 ඉතාලිය  
  • එංගලන්තය 24 – 18 ආජන්ටිනාව 
  • බටහිර සැමෝවා 32 – 26 ආජන්ටිනාව
  • එංගලන්තය 27 – 20 ඉතාලිය  
  • ඉතාලිය 31 – 25 ආජන්ටිනාව  
  • එංගලන්තය 44 – 22 බටහිර සැමෝවා 
එංගලන්ත-බටහිර සැමෝවා තරගයේ අවස්ථාවක් (gettyimages)

තෙවන කාණ්ඩය 

ප්‍රබල නවසීලන්ත කණ්ඩායම ඉතාමත් පහසුවෙන් මෙම කාණ්ඩයේ පළමු ස්ථානය ලබා ගත්ත ද දෙවන ස්ථානය ලබාගැනීම සඳහා අයර්ලන්තය සහ වේල්සය අතර තිබූ තියුණු සටනින් 24-23ක් ලෙසින් අයර්ලන්තයට ජය හිමි විය. 

ඊට අමතරව මෙම කාණ්ඩය යටතේ පැවති නවසීලන්ත – ජපන් තරගයේ දී ලකුණු 145ක් ලබා ගත් නවසීලන්තය රග්බි ලෝක කුසලාන ඉතිහාසයේ එක් තරගයක දී කණ්ඩායමක් ලබා ගත් වැඩිම ලකුණු ප්‍රමාණය ලබා ගත්තේය.

  • වේල්සය 57 – 10 ජපානය 
  • නවසීලන්තය 43 – 19 අයර්ලන්තය 
  • අයර්ලන්තය 50 – 28 ජපානය   
  • නවසීලන්තය 34 – 09 වේල්සය 
  • නවසීලන්තය 145 – 17 ජපානය  
  • අයර්ලන්තය 24 – 23 වේල්සය 
නවසීලන්ත-අයර්ලන්ත තරගයේ අවස්ථාවක් (gettyimage)

සිව්වැනි කාණ්ඩය

මෙම කාණ්ඩයේ පළමු ස්ථානය ලබාගැනීම සඳහා පැවති තියුණු තරගයෙන් ප්‍රංශ කණ්ඩායම ජයග්‍රහණය කරන විට  ස්කොට්ලන්ත කණ්ඩායමට දෙවන ස්ථානය හිමි විය.

  • ස්කොට්ලන්තය 89 – 00 අයිවරි කෝස්ට්  
  • ප්‍රංශය 38 – 10 ටොංගා  
  • ප්‍රංශය 54 – 18 අයිවරි කෝස්ට් 
  • ස්කොට්ලන්තය  41 – 05 ටොංගා 
  • ටොංගා 29 – 11 අයිවරි කෝස්ට්   
  • ප්‍රංශය 22 – 19 ස්කොට්ලන්තය 
ප්‍රංශ – ස්කොට්ලන්ත තරගයේ අවස්ථාවක් (gettyimage)

අර්ධ අවසන් පූර්ව වටය

පළමු වටයේ තරගවල ප්‍රතිඵල අනුව නවසීලන්තය, ඕස්ට්‍රේලියාව, ප්‍රංශය, එංගලන්තය, දකුණු අප්‍රිකාව, අයර්ලන්තය, ස්කොට්ලන්තය සහ බටහිර සැමෝවා යන කණ්ඩායම් අර්ධ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලැබීය. එම අර්ධ අවසන් පූර්ව වටයේ දී එක් එක් කණ්ඩායම් තරග වැදුණේ පහත ආකාරයටය.

ප්‍රංශය සහ අයර්ලන්තය 

අර්ධ අවසන් පූර්ව වටයේ පළමු තරගය වූ මෙම තරගයේ දී ප්‍රංශ  ක්‍රීඩක තියරි ලැක්‍රොයිස් ලකුණු 26ක් තම කණ්ඩායම වෙනුවෙන් රැස් කිරීමට සමත් වීම නිසා අවසානයේ දී ප්‍රංශ  කණ්ඩායම විසින් අයර්ලන්ත කණ්ඩායම ලකුණු 36-12ක් ලෙස පරාජය කරමින් අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබාගත්තේය. 

ප්‍රංශ – අයර්ලන්ත අර්ධ අවසන් පූර්ව තරගයේ අවස්ථාවක් (gettyimage)

දකුණු අප්‍රිකාව  සහ බටහිර සැමෝවා  

චෙස්ටර් විලියම්ස් දකුණු අප්‍රිකාව වෙනුවෙන් වාර්තා කළ උත්සාහක දිනුම් 4 නිසා ඔවුන් බටහිර සැමෝවා කණ්ඩායම හමුවේ 42-14ක් ලෙස පහසු ජයක් වාර්තා කරමින් අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබා ගත්තේය. 

දකුණු අප්‍රිකා-බටහිර සැමෝවා අර්ධ අවසන් පූර්ව තරගයේ අවස්ථාවක් (gettyimage)

ඕස්ට්‍රේලියාව සහ අයර්ලන්තය 

1991 ලෝක කුසලාන තරගාවලියේ ශූරයන් සහ අනු ශූරයන් හමුවුණු මෙම තරගය ඉතාමත් තියුණු එකක් විය. එහි දී එංගලන්ත ක්‍රීඩක ක්‍රිස්ටෝපර් ඇන්ඩෘ විසින් ලකුණු 20ක් ලබා ගනිමින් දැක්වූ සුපිරි දස්කම් නිසා එංගලන්ත කණ්ඩායම 25-22ක් ලෙස තියුණු ජයක් ලැබීය.  

ඕස්ට්‍රේලියා – එංගලන්ත අර්ධ අවසන් පූර්ව තරගයේ අවස්ථාවක් (gettyimage)

නවසීලන්තය සහ කැනඩාව 

මංගල ලෝක කුසලාන රග්බි තරගාවලියේ දී ශූරතාවය හිමි කර ගත් නවසීලන්ත කණ්ඩායම ස්කොට්ලන්ත  කණ්ඩායම හමුවේ ලකුණු 48-30ක් ලෙස ලකුණු ලබාගනිමින් මෙම තරගය ජයග්‍රහණය කළේ එංගලන්ත කණ්ඩායමට එරෙහිව අවසන් පූර්ව තරගය සඳහා සුදුසුකම් ලබමිනි. 

නවසීලන්ත – ස්කොට්ලන්ත අර්ධ අවසන් පූර්ව තරගයේ අවස්ථාවක් (gettyimage)

අවසන් පූර්ව වටය 

එම අවදියේ ලෝක රග්බි පිටියේ සිටි දැවැන්තයන් 4ක් වූ නවසීලන්තය,එංගලන්තය,ප්‍රංශය සහ දකුණු අප්‍රිකාව 1995 ලෝක කුසලාන රග්බි තරගාවලියේ අවසන් පූර්ව තරගය සඳහා සුදුසුකම් ලබා ගැනීමට සමත් විය. 

පළමු අවසන් පූර්ව තරගය 

මෙම තරගය දකුණු අප්‍රිකාව සහ ප්‍රංශය අතර පැවැත්විය. තරගය ආරම්භයේ සිටම ප්‍රබල තරග රටාවක නිරත වූ  දකුණු අප්‍රිකාව එක් අවස්ථාවක 10-00ක් ලෙස ඉදිරියක් ලබාගෙන සිටිය ද පළමු භාගය වන විට ලකුණු තත්ත්වය 10-06ක් බවට පත්විය. 

ඉතාමත් තියුණු මුහුණුවරක් ගත් දෙවන භාගයේ දී කණ්ඩායම් 2ම කරට කර තරග වදිමින් ලකුණු 9 බැගින් ලබා ගත් නිසා තරගයේ ජය 19-15ක් ලෙසින් හිමි වූයේ දකුණු අප්‍රිකාවටය. නමුත් මෙම තරගයේ ඇතැම් විනිසුරු තීරණ ප්‍රංශ කණ්ඩායමට අවාසිදායක ලෙස ලැබුණු නිසා ඔවුන්ට අවසන් තරගය සඳහා සුදුසුකම් ලැබීමට තිබූ වරම අහිමි විය.

දකුණු අප්‍රිකා-ප්‍රංශ අවසන් පූර්ව තරගයේ අවස්ථාවක් (gettyimage)

දෙවන අවසන් පූර්ව තරගය 

තරගාවලියේ දෙවන අවසන් පූර්ව තරගය පැවැත්වූයේ නවසීලන්තය සහ එංගලන්තය අතර ය. එම තරගයේ දී නවසීලන්ත  ක්‍රීඩක ජෝනා ලොමූ දැක්වූ සුපිරි දස්කම් නිසා පළමු භාගය අවසන් වන විට නවසීලන්තය 30-03ක් ලෙස පෙරමුණේ පසුවිය. 

නමුත් දෙවන භාගයේ ප්‍රබල තරග රටාවක නිරත වූ එංගලන්ත කණ්ඩායම ලකුණු 26ක් ලබා ගත්ත ද තරගයේ ජය 45-29ක් ලෙසින් හිමි වූයේ නවසීලන්ත කණ්ඩායමටය. එහි දී ජයග්‍රාහී නවසීලන්ත කණ්ඩායම වෙනුවෙන් ජෝනා ලොමූ උත්සාහක දිනුම් 4ක් වාර්තා කළේය.

නවසීලන්ත-එංගලන්ත අවසන් පූර්ව තරගයේ අවස්ථාවක් (gettyimage)

තරගාවලියේ තෙවැනි ස්ථානය ප්‍රංශයට 

තරගාවලියේ තෙවැනි ස්ථානය සඳහා ප්‍රංශය සහ එංගලන්තය අතර පැවති තරගය ප්‍රංශ  කණ්ඩායම කිසිදු අපහසුවකින් තොරව ලකුණු 19-09ක් ලෙස ජයග්‍රහණය කළේ තරගාවලියේ තෙවැනි ස්ථානය ලබා ගනිමිනි. 

තෙවන ස්ථානය සඳහා පැවති තරගයේ අවස්ථාවක් (gettyimage)

දකුණු අප්‍රිකානු  කණ්ඩායම මුල්ම වරට රග්බි ලෝක ශූරයන් විය 

දකුණු අප්‍රිකාව සහ නවසීලන්තය අතර පැවති මෙම අවසන් තරගය ආරම්භයේ සිටම තියුණු මුහුණුවරක් ගැනීම නිසා පළමු භාගය නිමා වන විට දකුණු අප්‍රිකාව 09-06ක් ලෙස ඉදිරියෙන් පසුවිය. 

නමුත් දෙවන භාගයේ දී නවසීලන්තය ඉතාමත් ප්‍රබල තරග රටාවක නිරත වෙමින් නියමිත කාලය අවසානයේ දී 09-09ක් ලෙස තරගය අවසන් කළේය. ඉන්පසුව අතිරේක කාලය ආරම්භ වී සුලු මොහොතකින් නවසීලන්තය 12-09ක් ලෙසින් තරගයේ පෙරමුණ ගත්ත ද අවසානයේ දී දකුණු අප්‍රිකාවට  15-12ක ජයක් හිමි වුණේ ප්‍රබල නවසීලන්ත කණ්ඩායමට රග්බි ලෝක කුසලාන කිරුළ අහිමි කරමිනි. 

1995 රග්බි ලෝක කුසලාන තරගාවලියේ වැඩිම උත්සාහක දිනුම් ප්‍රමාණයක් වාර්තා කළ නවසීලන්තයේ ජෝනා ලොමූ සහ මාක් එලිස් අවසන් තරගයේ දී කිසිදු උත්සාහක දිනුමක් වාර්තා නොකිරීම නවසීලන්තයට රග්බි කිරුළ අහිමිවීමට ප්‍රබල ලෙස බලපෑවේය.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<