2017 වර්ෂයේ සැප්තැම්බර් මස දී පැවැත්වීමට නියමිතව තිබෙන ආසියානු සත් සාමාජික රග්බි තරගාවලිය සඳහා තරග වදිනු ලබන ශ්‍රී ලංකා රග්බි සත් සාමාජික කණ්ඩායම නියෝජනය කිරීමට වරම් දිනාගත් ක්‍රීඩක නාමාවලිය අද (25) නිකුත් විය. එහි නායකත්වය සුදර්ශන මුතුතන්ත්‍රි හට හිමිව ඇත.

මෙම සංචිතය තුල අනිවාර්යයෙන්ම සිටිය යුතුව තිබූ අත්දැකීම් බහුල ක්‍රීඩකයින් වන රිචඩ් ධර්මපාල, ශ්‍රීනාත් සූරියබණ්ඩාර හා අනුරුද්ධ විල්වර ආබාධ තත්ත්වයන් නිසාවෙන් මෙම තරගාවලිය සඳහා සහභාගි නොවේ. එසේම ෆාසිල් මරීජා පෞද්ගලික හේතුවක් මත මෙම වර්ෂය තුල රග්බි පිටියෙන් ඉවත්ව සිටින නිසා මරීජා ද මෙම සංචිතය තුල නොමැත.

ජාතික කණ්ඩායමේ වගකීම නැවතත් මුතුතන්ත්‍රිට

එළඹෙන 2017 ආසියානු සත් සාමාජික රග්බි තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා ජාතික සත් සාමාජික රග්බි කණ්ඩායමේ නායකත්වය..

උරහිසේ ආබාධයකට ලක්ව සිටින ප්‍රබල රග්බි ක්‍රීඩකයෙක් වන දනුෂ්ක රංජන් මෙම තරගාවලිය සඳහා පිටත්ව යන 12 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායම තුල නොසිටිය ද, අතිරේකව සූදානම් කර ඇති ක්‍රීඩකයින් හතර දෙනා අතර සිය ස්ථානය වෙන්කර ගෙන තිබේ.

ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම් නායකත්වය සුදර්ශන මුතුතන්ත්‍රි හට හිමිව ඇති නිසා මෙවර තරගාවලිය තුල ශ්‍රී ලංකා කණ්ඩායම නව මුහුණුවරකින් යුතුව තරග වදින අතර යොවුන් හා නවක ක්‍රීඩකයින් කිහිප දෙන‍ෙක්ම මෙවර සංචිතය සඳහා සුදුසුකම් ලබාගෙන ඇත.

සාන්ත තෝමස් විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක් වන නවීන් හේනකන්කානම්ගේ මෙවර සංචිතය තුල සිය ස්ථානය වෙන්කරගෙන ඇත්තේ ජාතික රග්බි කණ්ඩායමට ක්‍රීඩා කරනු ලබන පළමු අවස්ථාව ලෙසයි. තවද ඔහු විසින් නිමා වූ වයස අවුරුදු 20න් පහළ රග්බි තරගාවලියේ ශ්‍රී ලංකා රග්බි කණ්ඩායමේ නායකත්වය ද හොඹවන ලදි. ඊට අමතරව ඔහු පාසල් රග්බි කණ්ඩායම, වෙළෙඳ රග්බි තරගාවලිය හා සත් සාමාජික රග්බි තරගාවලි කිහිපයකටම සිය දායකත්වය දක්වා ඇත.

නවීන්ට අමතරව තවත් වේගවත් රග්බි ක්‍රීඩකයෙක් වන බුද්ධිම ප්‍රියරත්න ද ශ්‍රී ලංකා ජාතික රග්බි කණ්ඩායම නියෝජනය කිරීමට මෙවර අවස්ථාව උදා කර ගෙන ඇත.

හැව්ලොක් ක්‍රීඩා සමාජය නියෝජනය කරන සුදම් සූරියආරච්චි ද මෙවර සංචිතය සඳහා කැඳවා ඇත. ඔහු ආදී ඉසිපතන රග්බි ක්‍රීඩකයෙකි.

නාවික හමුදා ක්‍රීඩා සමාජය මෙන්ම KBSL කණ්ඩායම නියෝජනය කරන සමිත් දනංජය ද ජාතික රග්බි සංචිතය සඳහා පළමු වරට කැඳවා තිබේ. ඔහු දැනට පැවැත්වූ රග්බි තරගාවලි තුල ඉතාමත් හොඳින්ම සාර්ථකත්වයට ගමන් කළ ක්‍රීඩකයෙක් ලෙස හැදින්වීමට හැකිය.

ක්‍රීඩකයින් 12 දෙනෙකුගෙන් යුතු ශ්‍රී ලංකා රග්බි සත් සාමාජික සංචිතය

  1. සුදර්ශන මුතුතන්ත්‍රි
  2. සුදම් සූරියආරච්චි
  3. ජේසන් දිසානායක
  4. ඔමල්ක ගුණරත්න
  5. නවීන් හේනකන්කානම්ගේ
  6. තිරින්ද රත්වත්තේ
  7. කවිඳු පෙරේරා
  8. දනුෂ් දයාන්
  9. බුද්ධිම ප්‍රියරත්න
  10. හිරන්ත පෙරේරා
  11. චානක චන්දිමාල්
  12. සමිත් ධනංජය

අතිරේක ක්‍රීඩකයින්:

  • සුපුන් ඩිල්ශාන්
  • රෙහාන් සිල්වා
  • කෙවින් ඩික්සන්
  • දනුෂ්ක රංජන්

කණ්ඩායම් පුහුණුකරු – පීටර් වුඩ්ස්

ශ්‍රී ලංකා සත් සාමාජික කණ්ඩායම මේ මස 29 වෙනිදා දිවයිනෙන් පිටත්ව යනු ඇත.

 තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට