අවුරුදු 50 දී ටෙස්ට් වරම් ලබන රුචිර පල්ලියගුරුගේ

4554
ඡායාරූපය gettyimages

ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ හීනය වෙලා තියෙන්නේ තමන්ගේ රටේ ජාතික කණ්ඩායමට කොහොම හරි ක්‍රීඩා කරන එක. එහෙම කරගන්න බැරි වෙන ගොඩක් ක්‍රීඩකයින් කරන්නේ කරන්න තියෙන ලේසිම වැඩේට යොමු වෙන එක. ඒ කියන්නේ පුහුණුකරුවෙකු වෙන එක. එහෙමත් නැති කෙනෙක් නම් කොහේ හරි රටකට ගිහිල්ලා ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වෙන එක.

එහෙම ගිය ගොඩක් අය මොකක් හරි ගේමක් ගහලා ඒ රටේම පදිංචි වෙලා පුළුවන් තරන් කල් ක්‍රිකට් ගහන එක. ක්‍රිකට් විනිසුරුවරයකු විදියට යන්නෙත් එහෙමමත් එක්කෙනෙක්.

විනිසුරු වෘත්තියට ගොඩක් ක්‍රීඩකයින් නොයන්නත් ප්‍රධාන කරුණු කීපයක්ම බලපානවා. ඉන් ප්‍රධානම දේ තමයි ඉංග්‍රීසි භාෂාව චතුර ලෙස කතා කිරීමට සහ ලිවීමට ඇති හැකියාව. අනෙක් එක තමයි නීතිය. ක්‍රිකට්වල නීති 42ක් තියෙනවා. ඒවා ඔක්කොම ඔළුවේ තියාගන්න එක ඒ තරම් ලේසි නැහැ. ඊටත් අමතරව තරගාවලියෙන් තරගාවලියට වෙනස් වෙන කොන්දේසි. ඔය නීති අතරේ ගණන් හදන දේවළුත් ක්‍රිකට් විනිසුරුකරණයට බද්ධව තිබෙන දේවල්. මේ ඔක්කොටම වඩා අමාරුම කාරණය වෙන්නේ තරගයක දී විනිසුරුවරයෙකුට තියෙන පීඩනය. මේ ඔක්කොම දිහා බැලුවහම ක්‍රිකට් විනිසුරුවරයෙක් වෙනවා කියන එක පුහුණුකරුවකුට වඩා ගොඩක් අමාරුයි. අන්න ඒකයි මෙච්චර දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයන් බිහි වෙන ලංකාවේ ක්‍රිකට් විනිසුරුකරණයට ගොඩක් දෙනෙක් අවධානය යොමු නොකරන්නේ.

ඒත් අද අපි ඔබට කියන්න හදන මේ කතාවේ කථා නායකයා නම් ඊට හාත්පසින්ම වෙනස් කෙනෙක්. ඔහු මුලින්ම ක්‍රිකට් ක්‍රීඩාවේ ‘අ’ යන්න කියවන්නේ මාතර සර්වේසස් විද්‍යාලයෙන්. ඒ කියන්නේ ලෝක ක්‍රිකට් වෙනස් කෙරුව ක්‍රීඩකයෙක් විදියට නමක් දිනාගෙන සිටින සනත් ජයසූරියගේ පාසලෙන්. සනත් ජයසූරියගෙම සමකාලීනයෙක් වෙන ඔහුගේ බලාපොරොත්තුවත් වුනේ කොහොම හරි මාතරින් ඇවිල්ලා ලංකාවට ක්‍රීඩා කරන එක. ඒ වෙනුවෙන් ඔහු නොකරපු කැපවීමක් නෑ. ඒත් ජාතික කණ්ඩායමට එන්න දක්ෂතාවයම තිබිලා විතරක් මදි. වාසනාවත් තියෙන්න ඕන. අන්න ඒ වාසනාව කියන දේ අහිමිවීම තමයි මෙයාට ජාතික කණ්ඩායමට පැමිණීමට දොර වැහෙන මූලික හේතුව.

ක්‍රිකට් කියන්නේ හැමදාමත් කරන්න පුළුවන් ක්‍රීඩාවකුත් නොවෙයි. වයස ආවම අයින් වීම කාටත් පොදු බැවින් කාලයත් එක්ක ඔහු ද විශ්‍රාම ගනු ලැබුවා. එහෙත් එහෙමයි කියලා ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඉදිරියට යන්න ඔහුගේ තිබුණ බලාපොරොත්තුවල නම් කිසිම අඩුවක් සිදු වුනේ නෑ. ඔහු කළේ ලේසිම දේ වෙනුවට අමාරුම දේ තෝරා ගැනීම. ඒ කියන්නේ ක්‍රිකට් විනිසුරු වෘත්තිය.

කිසියම් අරමුණක් කරා යෑම සඳහා වූ ඒකායන අධිෂ්ඨානයක් තියෙනවා නම් ඒක වළක්වන්න මොන යකාටවත් බෑ වගේ, ඔහුගේ ජීවිතයේ දෙවැනි ඉනිම ලෙසින් ආරම්භ කරපු විනිසුරු ගමනත් නතර වුනේ ජාත්‍යන්තරයට ගිහිල්ලා. මේ සටහන ලියැවෙන විටත් තම සිහිනය සැබෑ කරගත්ත ඒ අපූරු මිනිසා තමයි රුචිර ශමාන් අක්මීමන පල්ලියගුරුගේ හෙවත් අපි කවුරුත් හොඳින් හඳුනන රුචිර පල්ලියගුරුගේ.

1968 ජනවාරි මස 22 වැනිදා මෙලොව එළිය දුටු රුචිර ප්‍රමුඛ පෙළ ක්‍රිකට් වරම් ලබන්නේ 1989 වසරෙදි. එතැන් පටන් බ්ලූම්ෆීල්ඩ්, හලාවත මේරියන්ස්, එන්. සී. සී., ඕල්ඩ් කේම්බ්‍රියන්ස් මෙන්ම සැරසන්ස් ක්‍රීඩා සමාජ නියෝජනය කරන ඔහු මුළු තරග 124කට ක්‍රීඩා කරන්න වරම් ලබලා තියෙනවා. දකුණත් පිතිකරුවකු ලෙසින් ලකුණු 4478ක් රැස් කරලා තියෙන රුචිර දකුණතින් මද වේගපන්දු යවමින් කඩුලු 220ක් දවා ගෙන කැපී පෙනෙන තුන් ඉරියව් ක්‍රීඩකයකු ලෙසින් ක්‍රීඩා දිවියට පණ පෙව්ව කෙනෙක්. 2008 වසරේ දී සිය පළමු පෙළ දිවියට සමුදෙන ඔහු ඉදිරියට යන්න තෝර ගන්නේ ක්‍රිකට් විනිසුරු වෘත්තිය. ලංකාවේ තියෙන කැපිලි කෙටිලි හැටියට නම් ඒකෙන් ඉස්සරහට යනවා කියන්නෙත් හරියට ‘කළු නික හොනයව’ වගේ වැඩක්.

මේ වගේ ලෝකයක ඉදිරියට පැමිණීමේ දී රුචිරට ද බාධකවල නම් අඩුවක් වුනේ නෑ. ඔහුට හරස් වුනේ වෙන කවුරුත් නොවෙයි. ඔහුත් එක්කම විනිසුරු වෘත්තියේ යෙදුණු ජ්‍යෙෂ්ඨයින්මයි. ක්‍රිකට් ක්‍රීඩා කරලා තියෙන අයට ක්‍රිකට් ආයතනය විසින් හදලා තියෙන ‘ෆාස්ට් ට්‍රැක්’ එක යටතේ අයි. සී. සී. යට රුචිරටව හඳුන්වා දෙද්දී ඒ පිරිස් රුචිරට විරුද්ධව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට පෙත්සමක් භාර දුන්නා. ඒ සිදුවීමට එකල මාධ්‍යය ඕනෑ තරම් සාක්ෂි දරනවා.

මේ කොයි යන්නේ? නැත අප දන්නේ

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවති ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය පසුගිය දා (26) අවසන්…

බන්දුල වර්ණපුර නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා කණ්ඩායමත්, කීත් ෆ්ලේචර්ගේ නායකත්වයෙන් යුතු එංගලන්ත කණ්ඩායමත් එක්ක අපේ ක්‍රිකට් වංශ කතාවේ පළමු වැනි ටෙස්ට් තරගය පැවැත්වුණේ 1982 පෙබරවාරි 17 වැනිදා. ඒ ටෙස්ට් තරගයෙදි විනිසුරුවන් විදියට කටයුතු කරපු කේ. ටී. ෆ්‍රැන්සිස් සහ හර්බි ෆෙල්සිංගර් තමයි මුලින්ම ජාත්‍යන්තර ටෙස්ට් තරගයක් විනිශ්චය කරපු ශ්‍රී ලාංකික විනිසුරුවන් දෙදෙනා. එදා පටන් මෙතෙක් කලක් ටෙස්ට් තරග විනිසුරුවරුන් 15 දෙනෙක් ශ්‍රී ලංකාවෙන් බිහි වෙලා තියෙනවා.

ඇලන් ෆෙල්සිංගර්, ටී. එම්. සමරසිංහ, ඉග්නේෂියස් අනන්දප්පා, ඩොනල්ඩ් බූල්ජන්ස්, කැමිලස් පෙරේරා, ගාමිණී සිල්වා, බැසිල් ඇන්තනි, හර්බි ෆෙල්සිංගර්, බී. සී. කුරේ, අසෝක ද සිල්වා, පී. ඩබ්. විදානගමගේ, සෙල්ලයියා පොන්නදොරේ, කේ. ටී. ෆ්‍රන්සිස්, පීටර් මැනුවෙල් සහ කුමාර් ධර්මසේන රුචිරට කලින් ලංකාව වෙනුවෙන් ටෙස්ට් වරම් දිනුව ක්‍රිකට් විනිසුරුවන්.

ඒත් 2002 වසරෙන් පස්සේ ඒ කියන්නේ අයි. සී. සී. ය විසින් ප්‍රමුඛ පෙළේ විනිසුරු මඩුල්ල හෙවත් එලයිට් පැනල් එක පිහිටුවට පස්සේ මේ 15 දෙනා අතරින් එතැනට යන්න සමත් වුනේ විනිසුරුවරුන් දෙන්නෙක් පමණයි. ඒ අසෝක ද සිල්වා සහ වත්මන් ලොව අංක 1 විනිසුරු ලෙසින් අභිෂේක ලබා සිටින කුමාර් ධර්මසේන. ඒකෙන් අසෝක ද සිල්වා ඉවත් වුනාට පස්සේ ඒ තැන රැඳිලා ඉන්න එකම ශ්‍රී ලාංකිකයා වන්නෙ ධර්මසේන විතරයි.

ලෝකෙ කොහේ හරි ටෙස්ට් තරගයක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම ඒකෙ විනිසුරුවන් වෙන්න ඕන එලයිට් පැනල් එකේ ඉන්න විනිසුරුවන් දෙන්නෙක් කියන ස්ථාවරයේ අයි. සී. සී. ය ඉන්න නිසා ඒකට හිමි වෙන්නේ සුවිශේෂී ස්ථානයක්. ඒකට ඇතුල් වෙනවා කියන ඒක ලේසි පහසු දෙයක් නොවෙයි. ලෝකයේම එක්දින සහ විස්සයි විස්ස තරගවල කටයුතු කරන විනිසුරුවන්ගෙන් වැරදි අඩුවෙන්ම කරන අය තමයි මේ ප්‍රමුඛ පෙළ විනිසුරු මඩුල්ලට එන්න වරම් ලබන්නේ. ඒ අනුව ඒ වගේ අමාරුවෙන් පැනල් එකට ආපු අලුත්ම සාමාජිකයා තමයි රුචිර.

2011 අවුරුද්දේ ලංකාවට ආපු ඕස්ට්‍රේලියානු කණ්ඩායමත් එක්ක අගෝස්තු 06 වැනිදා පල්ලකැලේ පැවැත්වුණු විස්සයි විස්ස තරගය තමයි විනිසුරුවරයකු විදියට රුචිර ජාත්‍යන්තර භෞතීස්මය ලැබුවේ. ඒකෙන් පස්සේ ඒ තරගාවලියෙදිම අගෝස්තු 14 වැනිදා හම්බන්තොට දී පැවැත්වුණු එක්දින තරගය තමයි රුචිරගේ මුල්ම එක්දින තරගය වුනේ.

එදා සිට අද දක්වා රුචිර එක්දින තරග 69ක දී සහ විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 32ක දී විනිසුරුවරයෙක් විදියට කටයුතු කරලා තියෙනවා. ඒ කාලය අතරේ 2015 වසරේ ඕස්ට්‍රේලියාවේ පැවති ලෝක කුසලාන තරගාවලිය විනිශ්චය කරන්න තෝරපු විනිසුරුවන් 20 දෙනා අතර තැනක් රුචිරට හිමිවීමත් විශේෂත්වයක්. ඒ වගේම 2016 වසරේ පැවති ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයත් මෙතෙක් කලක් වූ රුචිරගේ ජාත්‍යන්තර විනිසුරු තරග දිවියේ අමතක නොවන මතක අතරට එක් වෙච්ච අවස්ථාවක්. ඒ වගේම ඩයලොග් ආයතනය සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එක්ව 2016 වසරෙදි සංවිධානය කරපු ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ සම්මාන ප්‍රදානෝත්සවයේ දී හොඳම ක්‍රිකට් විනිසුරුවරයා විදියට සම්මාන ලැබුවෙත් රුචිර.

>> ගාල්ලෙන් ඇරඹී ගාල්ලෙන්ම නිමා වූ විශිෂ්ටයාගේ සුවිශිෂ්ට මෙහෙවර

රුචිර පල්ලියගුරුගේ (වම) සහ ජෙරමායා මාටිබිරි (දකුණ) 2015 වසරේ සිම්බාබ්වේ සහ පාකිස්තානය අතර පැවති තරගයක් අතරතුර.

ජාත්‍යන්තර විනිසුරුවරයෙක් කියන්නේ ඉතා කාර්යය බහුල ජීවිතයක් ගත් කරන්නෙක්. ඒ වුනත් ඉඩ කඩක් ලැබුණ වෙලාවට මෙහේ තියෙන පාසල් තරගවලත් විනිසුරු කටයුතු කරන්න තරම් රුචිර නිහතමානී කෙනෙක්. ඒ තරගවලින් ලැබෙන සල්ලි රුචිර කවදාවත් එයාගේ පොකැට් එකට දාගෙන්නේ නැති කෙනෙක්. ඒ ලැබෙන සල්ලි ඔක්කොම තමන්ගේ පාසල වන සර්වේසස් විදුහලේ ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් බැර කරන්න කටයුතු කිරීමත් රුචිර තුළ තියෙන හොඳ ගුණාංගයක් කියල තමයි ඔහු ගැන දන්න අය අපිත් එක්ක කිව්වේ.

කොහොම හරි රුචිර කරපු කියපු දේවල් ගොඩක්ම හොඳ පැත්තට බර වෙලා තියෙන නිසා රුචිරටත් දැන් ධර්මසේනට වගේම එලයිට් පැනල් එකට එන්න අවස්ථාව ලැබිලා. ඒ කියන්නේ ශ්‍රී ලංකාව වෙනුවෙන් එලයිට් පැනල් එකට ගිය තුන්වැනියා කියන අභිමානය ශ්‍රී ලංකාවට ගෙනල්ලා දෙන්න රුචිර සමත් වෙලා.

ඒ අනුව රුචිරගේ පළමු ටෙස්ට් තරගය වන්නේ හෙට (30) ආරම්භ වන බංග්ලාදේශය සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර ඩකාහි පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයයි. ටෙස්ට් විනිසුරුවරයකු ලෙස අභිෂේක ලබන අවස්ථාව වන විට රුචිරගේ වයස අවුරුදු 50ක්.  මේ තරගාවලිය සඳහා රුචිර බංග්ලාදේශයට ගියේ පහුගිය 18 වැනිදා. එහි දී පළමු ටෙස්ට් තරගයේ දී තෙවැනි විනිසුරුවරයා විදියට රුචිර කටයුතු කළ රුචිර හෙට ඉඳන් ධර්මසේන වගේම ලෝකෙ ටෙස්ට් තරග පැවැත්වෙන කොට පිට්ටනියේ ඉන්නවා අපිට දැක බලා ගන්න පුළුවන්. කෙළින් වැඩ කරන කෙනෙක් විදියට, තවත් පැහැදිලි කරනවා නම්, කරන දේ හරියට කරන කියන දේ මුහුණටම කියන පුද්ගලයකු විදියට ක්‍රිකට් ක්ෂේත්‍රයේ නමක් දිනාගෙන සිටින රුචිර, අපේ ටෙස්ට්වල දී දැක බලා ගැනීමට නොහැකි වුනත් ධර්මසේන වගේම ලෝකෙ වෙනත් රටවල් දෙකක් ක්‍රීඩා කරන තරගයක විනිසුරුවරයකු ලෙස කටයුතු කරනවා අපිට දැක බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ ධර්මසේන වගේම ශ්‍රී ලාංකීය සන්නාමය ලෝකයට රැගෙන යන දෙවැනි චරිතය බවට පත්වෙන්නේ රුචිර පල්ලියගුරුගේ.  

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<