සිංගර් පාසල් රග්බි ලීගය තුළ ත්‍රිත්ව විදුහල සහ විද්‍යා විදුහල අතර රග්බි සටන  පෙරේදා (03) පැවැත්වුණු අතර රාජකීය – පීතර ගැටුම පැවැත්වුණේ ඊයේ (04) දිනයේ දීයි. ඒ තරගවල ජය 52-07ක් වශයෙන් ත්‍රිත්ව විද්‍යාලයටත්, 17-10ක් වශයෙන් රාජකීය විද්‍යාලයටත් හිමි විය.

වෙස්ලි, අන්තෝනි සහ සාන්ත තෝමස් කණ්ඩායම් ඉදිරියට

සිංගර් පාසල් රග්බි තරගාවලියේ දෙවන සතියේ තරග හතරක් ඊයේ (04) වන විට නිමා වී අවසන් අතර, ඉන් වෙස්ලි – වේල්ස් කුමර විද්‍යාල අතර තරගයත්, සාන්ත අන්තෝනි – ඩී. එස්. විද්‍යාල අතර තරගයත් 03 වැනිදා පැවැත්විය…

ත්‍රිත්ව විදුහලට දන්ගේ ගෙන් උත්සාහක දිනුම් ත්‍රිත්වයක්

විද්‍යා විද්‍යාලයට එරෙහි රග්බි තරගය ලකුණු 52-07ක් වශයෙන් ජය ගන්නට ත්‍රිත්ව විද්‍යාලයීය රග්බි කණ්ඩායම සමත් විය. අවසන් ලකුණු තත්වයෙන්  පැහැදිලි නොවන තරමේ සටනක් තරග පිටියේ පසුපෙළ රේඛාව (three quarter line) තුළ දැකිය හැකි විය.

ලෂේන් විජේසූරිය විසින් ලබා ගත් දඬුවම් පහරක් සමඟින් ලකුණු පුවරුව ක්‍රියාත්මක කළ ත්‍රිත්ව විද්‍යාලයට පළමු උත්සාහක දිනුම ලබා දුන්නේ ජනිඳු රත්නායකයි. ලෂේන් එහි ප්‍රවර්තනය ද සාර්ථක කර ගත්තේය. (ත්‍රිත්ව 10-00 විද්‍යා).

පාසල් පිටියේ කැපී පෙනෙන ස්ක්‍රම් හාෆ්  ක්‍රීඩකයෙකු වන අනුක බෝයගොඩ ලබා දුන් පන්දු යොමුවක් උත්සාහක දිනුමක් බවට පරිවර්තනය කර ගත් දිලුක්ෂ දන්ගේ, ත්‍රිත්ව විද්‍යාලයට තවත් උත්සාහක දිනුමක් එක් කළ අතර එහි ප්‍රවර්තනය ද සාර්ථක විය.

ප්‍රථම අර්ධය: ත්‍රිත්ව විද්‍යාලය 17 (2T 2C) – 00 විද්‍යා විද්‍යාලය

දෙවන  අර්ධය ආරම්භයේ දීම දන්ගේ තවත් උත්සාහක දිනුමක් වාර්තා කළ අතර වොරන් වීරකෝන්, ප්‍රතිවාදීන් සිව්දෙනෙකු තම කර මත පටවා ගෙන ගොස් උත්සාහක දිනුම් රේඛාව තරණය කළේය. පාදයෙන් දක්ෂතා ප්‍රදර්ශනය කළ ලෂේන් විජේසූරිය, සියලු  ප්‍රවර්තනයන් සාර්ථක කර ගත්තේය. (ත්‍රිත්ව 31-00 විද්‍යා).

විද්‍යා විද්‍යාලයීය පසුපෙළ රේඛාව අන්ද මන්ද කළ දන්ගේ, තවත් උත්සාහක දිනුමක් සමඟින් තම උත්සාහක දිනුම් ත්‍රිත්වය සම්පූර්ණ කර ගත්තේය. ත්‍රිත්ව විදුහල ලකුණු 50 සීමාව වෙත ගෙන ගියේ අතිරේක ස්ක්‍රම් හාෆ් ක්‍රීඩක විශ්ව රණරාජ යි. හෂාන් මධුමාධව, විද්‍යා විද්‍යාලය ලබා ගත් එකම උත්සාහක දිනුමට හිමිකම් කීය. එහි ප්‍රවර්තනය සාර්ථක කර ගන්නට ද ඔහුට හැකි විය. (ත්‍රිත්ව 52-07 විද්‍යා).

සම්පූර්ණ කාලය: ත්‍රිත්ව විද්‍යාලය 52 (7T 7C 1P) – 07 (1PT 1C) විද්‍යා විද්‍යාලය

ThePapare.com තරගයේ වීරයා: දිලුක්ෂ දන්ගේ (ත්‍රිත්ව)

ලකුණු රැස් කළ ක්‍රීඩකයන්

  • ත්‍රිත්ව විද්‍යාලය – දිලුක්ෂ දන්ගේ 3T 3C, විශ්ව රණරාජ 1T, රිෂේන් මාදෙන 1T, ජනිඳු රත්නායක 1T, වොරන් වීරකෝන් 1T, ලෂේන් විජේසූරිය 4C 1P.
  • විද්‍යා විද්‍යාලය – හෂාන් මධුමාධව 1PT 1C.

රාජකීයයෝ ආරක්ෂිතව ඉදිරියට යති

බී.සී. අංගි කුසලානය වෙනුවෙන් රාජකීය විද්‍යාලය සහ සාන්ත පීතර විද්‍යාලය අද (05) තරග වැදුණු අතර ඉන් ලකුණු 17-10ක් ලෙස ජය ගන්නට රාජකීය ක්‍රීඩකයන් සමත් විය. ඒ අනුව එම කුසලානය පිට පිටම හතර වැනි වතාවටත් හිමි වූයේ රාජකීයයන්ටයි.

දඬුවම් පහරකින් පීතරයින් ලකුණු රැස් කිරීම අරඹද්දී රාජකීයයන් ඊට ප්‍රති උත්තර ලබා දුන්නේ උත්සාහක දිනුමකිනි. ප්‍රොප් ක්‍රීඩක හිමන්ත හිරුශාන්, පීතර ආරක්ෂක පෙළ බිඳලමින් මීටර 30ක පමණ දුරක් ගෙවා ගොස් ජනිඳු දිල්ශාන් අතට පන්දුව ලබා දුන් පසු ඔහු උත්සාහක දිනුම් රේඛාව පසු කළේය. මොහොමඩ් ශාකිර්ගේ ප්‍රවර්තනය අසාර්ථකයි. (පීතර 03-05 රාජකීය).

නැවතත් ක්‍රියාත්මක වූ දිල්ශාන්, මිගාර මිහිසංකගෙන් ලද පන්දුව උත්සාහක දිනුම් රේඛාවෙන් එපිටට ගෙන ගියේය. ශාකිර්ගේ ප්‍රවර්තනය එවර සාර්ථකයි. (පීතර 03-12 රාජකීය). පසුව නීති කඩකිරීමක් හේතුවෙන් රාජකීයයන්ට දඬුවම් අවස්ථාවක් හිමි වූ අතර එහි දී ඔවුන් රාජකීයයන්ටම අවේණික “නොනවතින රැල්ලක්” (Royal maul) නිර්මාණය කර ගනිමින් ඉදිරියට ගොස් හිමන්ත හිරුශාන් හරහා උත්සාහක දිනුමක් වාර්තා කළේය.

ප්‍රථම අර්ධය: රාජකීය විද්‍යාලය 17 (3T 1C) – 03 (1P) ශාන්ත පීතර විද්‍යාලය

ප්‍රථම අර්ධයේ දී මෙන්ම කණ්ඩායම් දෙකම සෙමෙන් ක්‍රීඩා කරන ආකාරයක් දෙවන අර්ධයේ දී ද දිස්විය. පන්දු පාලනයේ දී දැක්වූ දුර්වලතා නොවූයේ නම් පීතරයන්ට ලකුණු රැස් කිරීමේ අවස්ථා කිහිපයක්ම උදාවිය. රාජකීය විද්‍යාලයේ ලෙනොක්ස් කල්‍යාණරත්න හට කහ කාඩ්පතක් හිමි වීමෙන් පසුව වැඩි වාසිය පීතරයන් සතු විය.

ස්ටීවන් සිවරාජ් එහි වාසිය තීව්‍ර කර ගනිමින් පීතරයින් වෙත උත්සාහක දිනුමක් ද එක්කොට එහි ප්‍රවර්තනය ද සාර්ථක කර ගත්තේය. (පීතර 10-17 රාජකීය). තරගයේ අවසන් මිනිත්තු කිහිපයේ දී පීතරයන්ගේ අභියෝගය දැඩි වූ නමුත් විශිෂ්ට ආරක්ෂණයක යෙදුණු රාජකීය ක්‍රීඩකයන් තම පරතරය රැක ගන්නට සමත් විය.

සම්පූර්ණ කාලය: රාජකීය විද්‍යාලය 17 (3T 1C) – 10 (1T 1C 1P) ශාන්ත පීතර විද්‍යාලය

ThePapare.com තරගයේ වීරයා: ජනිඳු දිල්ශාන් (රාජකීය)

ලකුණු රැස් කළ ක්‍රීඩකයන්.

  • රාජකීය විද්‍යාලය – ජනිඳු දිල්ශාන් 2T, හිමන්ත හිරුශාන් 1T, මොහොමඩ් ශාකිර් 1C.
  • සාන්ත පීතර විද්‍යාලය – ස්ටීවන් සිවරාජ් 1T 1P 1C.
 තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි ක්‍රීඩා පිටුවට