පූනේ පිළට ජය ගෙනෙමින් දෝනි තරගයක් කණපිට පෙරලයි

990
IPL 2017

ඉන්දියන් ප්‍රිමියර් ලීග් තරගාවලියේ ඊයේ (22) ක්‍රියාත්මක වූ තරග දෙකම වචනයේ පරිසමාප්ත අරුතින්ම විශිෂ්ට තරග දෙකක් බවට පත්විය. නිරන්තරයෙන්ම ජය පරාජය දෙපසට දෝලනය වුනු, කුතුහලය උපරිමයෙන්ම ගැබ්වී තිබුණු මෙම තරග දෙක අවසානයේ ජය තහවුරු කර ගන්නට රයිසින් පූනේ සුපර්ජයන්ට් කණ්ඩායම සහ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමත්කම් දැක්වීය.

ප්‍රබල කල්කටා පිළ මට්ටු කරමින් රයිනා නැවතත් ලකුණු අතරට!

නම ගිය පිතිකරුවන් රැසක්ම කණ්ඩායම නියෝජනය කළ ද මුල් තරග වල දී ජයග්‍රාහී රිද්මය හඳුනා ගැනීමට අපොහොසත් වීම හේතුවෙන් ප්‍රසාද ලකුණු සටහනේ පහළටම ඇද වැටී සිටි ගුජරාට් ලයන්ස් පිළ ඊයේ (21) ප්‍රබල කල්කටා නයිට් රයිඩර්ස් පිළට එරෙහිව පෙරළිකාර ජයක් ලබා ගැනීමට සමත් විය.

සන්රයිසර්ස් හයිද්‍රාබාද් සහ රයිසින් පූනේ සුපර්ජයන්ට් අතර තරගය

කාසියේ වාසිය දිනා ගත් පූනේ නායක ස්ටීවන් ස්මිත් සන්රයිසර්ස් හයිද්‍රාබාද් පිළට  මුලින් පන්දුවට පහර දීමට ඇරයුම් කළේය. ඒ අනුව සන්රයිසර්ස් පිතිකරුවන් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 3ක් දැවී ලකුණු 176ක් රැස්කර ගන්නට සමත් වූහ. ඩේවිඩ් වෝනර් සහ ශිකර් ධවාන් ප්‍රථම කඩුල්ල වෙනුවෙන් අර්ධ ශතක සබඳතාවයක් ගොඩ නැගූ අතර ධවාන්ව දවා ගනිමින් එම සබඳතාවය බිඳ දමන්නට ඉම්රාන් තහීර්ගේ දඟ කැවුණු පන්දුවක් සමත් විය.

කෙසේ වෙතත් මෙම තරගය අතරතුර දී හතරේ පහර 3ක් සහ එක් හයේ පහරක් සමගින් ලකුණු 43ක් රැස් කර ගත් ඩේවිඩ් වෝනර් නැවතත් ‘තැඹිලි පැහැ හිස් වැස්ම’ හිස පළඳින්නට අවස්ථාව උදා කර ගත්තේය. මේ වනවිට වෝනර් මුළු ලකුණු 282ක් රැස් කරගෙන සිටින අතර දෙවැනි ස්ථානයේ පසුවන නිතිශ් රානා ලකුණු 263ක් ද, තෙවැනි ස්ථානයේ පසුවන බ්‍රෙන්ඩන් මැකලම් ලකුණු 258ක් ද ලබාගෙන සිටියි.

කලින් තරගයේ දී සුපිරි ඉනිමක් ක්‍රීඩා කරමින් සන්රයිසර්ස් ජය තහවුරු කළ කේන් විලියම්සන් මෙම තරගයේ දී ලකුණු 21කට සීමා වුවද මොයිසස් හෙන්රිකස් පන්දු 28කින් නොදැවී ලකුණු 55ක් රැස් කරමින් සන්රයිසර්ස් කණ්ඩායමට ලකුණු 176ක් ලබා ගැනීමට පාර කැපීය. ඔහුගේ ඉනිම හතරේ පහර 6කින් සහ හයේ පහර 2කින් වර්ණවත් විය. නවක ඉන්දියානු පිතිකරු දීපක් හූඩා ද ඊයේ පන්දු 10කින් නොදැවී ලකුණු 19ක් ලබා ගත්තේය.

මෙම ලකුණු සංඛ්‍යාව හඹා යන්නට පූනේ මුල්පෙළ පිතිකරුවන් රැසක් උත්සාහ දැරූ නමුත් තරග දිනවන ආකාරයේ සුපිරි ඉනිමක් ක්‍රීඩා කරන්නට ඒ කිසිවෙකුත් සමත් වූයේ නැත. නමුත් ආරම්භක පිතිකරු රාහුල් ත්‍රිපති පන්දු 41කින් ලකුණු 59ක් රැස් කිරීම පූනේ පිතිකරුවන්ට ඉලක්කයට ආසන්න වීම සඳහා උපකාරී විය. කෙසේ වෙතත් ඉනිමේ මුල් භාගයේ දී වේගවත් ප්‍රහාරයක් දියත් නොවීම නිසා පූනේ පිතිකරුවන්ට අවසන් පන්දු 18ට ලකුණු 47ක දැවැන්ත ඉලක්කයක් හිමිවී තිබුණි.

මෙම අභියෝගය ජය ගැනීම සඳහා පූනේ කණ්ඩායම වීරයෙකු සොයමින් සිටි අවස්ථාවේ දී ඉදිරියට පැමිණි එම්. එස්. දෝනි සන්රයිසර්ස් පන්දු යවන්නන්ට දිගට හරහට පහර එල්ල කරමින් අවසන් පන්දුවේ ජයග්‍රහණයක් කරා පූනේ කණ්ඩායම කැඳවාගෙන ගියේය. මෙවර තරගාවලියේ ‘දම් පැහැ හිස් වැස්ම’ දරන බුවනේශ්වර් කුමාර් යැවූ යෝකර් පන්දු පවා දෝනිගේ ප්‍රහාරය හමුවේ හතරේ සීමාව කරා ඇදී ගියේය.

විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ දෝනි ලකුණු 2ක් අවශ්‍යව තිබූ අවසන් පන්දුවට හතරේ පහරක් එල්ල කරමින් සමස්ථ පූනේ ක්‍රීඩාංගණයම එකම ජය ඝෝෂාවකින් ගිගුම් දෙන්නට සැලැස්වීය. පන්දු 34කින් නොදැවී ලකුණු 61ක් රැස් කරගත් දෝනිගේ ඉනිමට හතරේ පහර 5ක් සහ ඔහුටම අනන්‍ය වූ හයේ පහර 3ක් ඇතුළත් විය. තරගයේ වීරයා සම්මානය හිමිකර ගැනීමට ද ඔහු තරම් සුදුස්සෙකු මෙම තරගය අතරතුරදී බිහි නොවීය.

සන්රයිසර්ස් හයිද්‍රාබාද් – කඩුලු 3ක් 176 (පන්දුවාර 20): මොයිසස් හෙන්රිකස් 55*, ඩේවිඩ් වෝනර් 43, ශිකර් ධවාන් 30, කේන් විලියම්සන් 21, දිපක් හූඩා 19*, ඩැනියෙල් ක්‍රිස්ටියන් 1/20, ඉම්රාන් තහීර් 1/23, ජාදෙව් උනද්කට් 1/41.

රයිසින් පූනේ – කඩුලු 4ක් දැවී ලකුණු 179 (පන්දුවාර 20): එම්. එස්. දෝනි 61*, රාහුල් ත්‍රිපති 59, ස්ටීවන් ස්මිත් 27, මනෝජ් තිවාරි 17*, බෙන් ස්ටෝක්ස් 10, රශීඩ් කාන් 1/17, බිපුල් ශර්මා 1/30, බුවනේශ්වර් කුමාර් 1/39.

 


මුම්බායි ඉන්දියන්ස් සහ දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස් අතර තරගය

කලින් තරගයේ දී ලකුණු 199ක ඉලක්කයක් පන්දු 93කින් හඹා ගිය මුම්බායි ඉන්දියන්ස් පිළට මෙම තරගයේ දී ලකුණු 142කට සීමා වන්නට සිදු විය. ඒ දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස් කණ්ඩායමේ ආරාධනයෙන් සුප්‍රසිද්ධ වන්කඩේ ක්‍රීඩාංගණයේ දී මුලින් පන්දුවට පහර දීමේ ප්‍රතිඵලයක් ලෙසයි.

කලින් තරගයේ දී දිල්ලි කණ්ඩායමට ක්‍රීඩා කළ ඇන්ජෙලෝ මැතිව්ස්ටත්, මුම්බායි කණ්ඩායම නියෝජනය කළ ලසිත් මාලිංගටත් මෙම තරගයේ දී ස්ථාන අහිමි වී තිබුණි. ඔවුන්ගෙන් හිස්වුණු ස්ථාන දෙකට තුන් ඉරියව් ක්‍රීඩක කුරේ ඇන්ඩර්සන් සහ වමත් වේග පන්දු යවන ක්‍රීඩක මිචෙල් ජොන්සන් කැඳවා තිබුණි.

මුම්බායි ආරම්භක පිතිකරු ජෝස් බට්ලර් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා ලෙස ලකුණු 28ක් රැස් කර ගන්නට ඊයේ සමත් විය. නමුත් පාතිව් පටෙල්, නිතිශ් රානා සහ රෝහිත් ශර්මා වැනි විශ්වාසය තැබිය හැකි මුම්බායි පිතිකරුවන් තනි ලකුණු වලට සීමා වීම ඊයේ මුම්බායි ඉනිම බිඳ වැටීමට මූලික හේතුව බවට පත්විය.

ඉනිමේ අවසන් කොටසේ දී කිරන් පොලාර්ඩ් සහ හාර්දික් පාණ්ඩ්‍යා පිළිවෙලින් ලකුණු 26 සහ 24 බැගින් රැස් කරමින් මුම්බායි ඉනිම යම් තරමක් ඉහළට ඔසවා තැබුවද ඔවුන්ට වෙනදා මෙන් ප්‍රවේගකාරී පිතිකරණයක යෙදීමට දිල්ලි පන්දු යවන්නන්ගෙන් අවස්ථාවක් ලැබුනේ නැත. පන්දු යැවීමේ දී අමිත් මිෂ්රා සහ පැට් කමින්ස් කඩුලු 2 බැගින් බිඳ හෙලූහ. කාගිසෝ රබාඩා ලකුණු 30ට කඩුලු 1යි.

විස්සයි විස්ස තරගයක දී පහසු ඉලක්කයක් ලෙස හැඳින්විය හැකි ලකුණු 143ක් හඹා යාම සඳහා පිටියට පිවිසි දිල්ලි පිතිකරුවන්ට අනපේක්ෂිත අභියෝගයකට මුහුණ දීමට සිදුවිය. ඒ පන්දුවාර 6යි පන්දු 3ක් ගත වෙද්දී දිල්ලි මුල්පෙළ පිතිකරුවන් සය දෙනාම ලකුණු 26ක් තුල දී දැවී ගිය බැවිනි. එහිදී ඇන්ජෙලෝ මැතිව්ස් වෙනුවට කණ්ඩායමට පිවිසි කුරේ ඇන්ඩර්සන්, රිශාබ් පන්ට් සහ ආදිත්‍ය තාරේ යන පිතිකරුවන්ට ලකුණු නොලබාම ක්‍රීඩාගාරයට හැරී යාමට සිදුවූ අතර සන්ජු සැම්සන්, කරුන් නයර් සහ ශ්‍රෙයාස් අයර් යන පිතිකරුවන් තනි ඉලක්කමේ ලකුණු වලට සීමා විය.

පරාජයකින් කෙළවර වන්නට තිබූ තරගය නැවතත් මුම්බායි පිළ දෙසට හරවා දුන් මිචෙල් මැක්ලනගන් ඊයේ තම පන්දු යැවීම නිමා කළේ පන්දුවාර 4ක් තුලදී ලකුණු 24ක් පමණක් ලබා දෙමින් කඩුලු 3ක් බිඳ හෙලමිනි. ජස්ප්‍රිට් බුම්රාහ්ට කඩුලු 2ක් හිමිවිය. ජොන්සන්, මැක්ලනගන්, බුම්රාහ් වැනි ශක්තිමත් පන්දු යැවීමේ බල ඇණියක් සහිත මුම්බායි කණ්ඩායම ඉනිම ආරම්භයේදීම ලබාගත් ග්‍රහණය කිසිම මොහොතක ලිහිල් කළේ නැත.

තරගයේ අවසන් කොටසේ දී අංක 6 සහ 7 පිතිකරුවන් දෙදෙනා වන කාගිසෝ රබාඩා සහ ක්‍රිස් මොරිස් පිළිවෙලින් ලකුණු 44 සහ 52 බැගින් රැස් කළත් එය දණින් ඇද වැටී සිටි දිල්ලි කණ්ඩායමට ජයග්‍රහණය කරා කැඳවාගෙන යන්නට ප්‍රමාණවත් නොවීය. කෙසේ වෙතත් මොවුන් දෙදෙනාගේ මෙම වෑයම නිසා පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 128ක් රැස්කර ගන්නට දිල්ලි පිළට හැකි විය. ඒ අනුව මුම්බායි ඉන්දියන්ස් පිළට මෙම තරගයෙන් ජය හිමිවූයේ ලකුණු 14කිනි.

තරගයේ වීරයා සම්මානය සුපිරි පන්දු යැවීමක නිරත වුනු මිචෙල් මැක්ලනගන්ට හිමිවිය. මේ වන විට තරග 7කට මුහුණ දී ඇති මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ඉන් තරග 6ක්ම ජය ගනිමින් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේම පසුවන්නේ කිසිදු සටනකින් තොරවයි. ඔවුන්ට පහළින් තරග 4 බැගින් ජය ගත් කල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සහ සන්රයිසර්ස් හයිද්‍රාබාද් කණ්ඩායම් ස්ථාන ගත වී ඇත.

අද සවස 4ට ගුජරාට් ලයන්ස් සහ කිංග්ස් XI පන්ජාබ් අතර තරගය රාජ්කොට් හිදී පැවැත්වීමට නියමිතව ඇති අතර කල්කටා නයිට් රයිඩර්ස් සහ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් අතර තරග අද රාත්‍රී 8ට ඊඩ්න් ගාර්ඩ්න් හිදී ආරම්භ වීමට නියමිතව ඇත.

මුම්බායි ඉන්දියන්ස් – කඩුලු 8ක් දැවී ලකුණු 142 (පන්දුවාර 20): ජෝස් බට්ලර් 28, කිරන් පොලාර්ඩ් 26, හාර්දික් පාණ්ඩ්‍යා 24, කෘනාල් පාණ්ඩ්‍යා 17, අමිත් මිෂ්රා 2/18, පැට් කමින්ස් 2/20, කාගිසෝ රබාඩා 1/30.

දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස් – කඩුලු 7ක් දැවී ලකුණු 128 (පන්දුවාර 20): ක්‍රිස් මොරිස් 52*, කාගිසෝ රබාඩා 44, සන්ජු සැම්සන් 9, මිචෙල් මැක්ලනගන් 3/24, ජස්ප්‍රිට් බුම්රාහ් 2/21, හාර්දික් පාණ්ඩ්‍යා 1/23.

තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට්  ක්‍රීඩා පිටුවට