28වන ඔලිම්පික් සැණකෙළිය අද අලුයම අවසන් වූයේ සුපුරුදු පරිදි ඇමරිකා එක්සත් ජනපදය පදක්කම් සටහනට අනුව මෙවර ඔලිම්පික් උළෙලේ සමස්ත ශූරයන් බවට පත් කරමිනුයි.

පසුගිය ලිපි: රියෝ උණුසුම – අවසානය ලං වෙද්දී උණුසුම ඉහලට

මෙය ඔවුන් එම දස්කම දැක්වූ 17වන අවස්තාව වීම විශේෂත්වයක්. ඇමරිකාවට රන් පදක්කම් 46ක් අතුලු සමස්ත පදක්කම් 121ක් හිමි විය. 1984 වසරෙන් පසු ඔවුන් දිනාගත් වැඩිම පදක්කම් සංඛ්‍යාවද මෙයයි.

f1මෙවර පදක්කම් සටහනේ දෙවන ස්ථානය දිනා ගන්නට මහා බ්‍රිතාන්‍යය සමත් විය. ඔවුන්ට හිමිවූ රන් පදක්කම් සංඛ්‍යාව 27ක්. 1908 වසරේ ලන්ඩන් ඔලිම්පික් උළෙලේ ශූරයන් බවට පත් වීමෙන් පසු ගෙවී ගිය වසර 108ක කාලය තුල ඔවුන් ඔලිම්පික් උළෙලකදී දැක්වූ ඉහලම දක්ෂතාව මෙයයි.

2008 වසරේ බීජිං ඔලිම්පික් උළෙලේ ශූරයන් සහ 2012 ලන්ඩන් ඔලිම්පික් උළෙලේ අනුශූරයන් වූ චීනයට මෙවර හිමිවූයේ 3වන ස්ථානයයි.

සත්කාරක බ්‍රසීලය ඔවුන්ගේ ඔලිම්පික් ඉතිහාසයේ ඉහලම දස්කම ලෙස පදක්කම් සටහනේ 13වන ස්ථානය දක්වා ඉහලට පැමිණෙන්නට සමත් විය.

විචිත්‍රවත් අවසන් උළෙලක්

සමාරම්භක උළෙලට නොදෙවෙනි වූ සමාප්ති සමාචාරයකින් රියෝ මරකානා ක්‍රීඩාංගනය වර්ණවත් කරන්නට සංවිධායකයන් පියවර ගෙන තිබිණි. දර්ශනීය නර්තනාංග මෙන්ම විචිච්ත්‍ර ගිනිකෙළි සංදර්ශනයක් ද ඊට ඇතුලත් විය.

2020 වසරේ ඔලිම්පික් උළෙල පැවැත්වෙන ජපානය වෙත ඔලිම්පික් ධජය භාරදීමද මෙහිදී සිදුකෙරිණි. මෙම අවස්ථාවට ජපාන අග්‍රාමාත්‍ය ශින්සෝ අබේ ලෝකප්‍රකට වීඩියෝ ක්‍රීඩා චරිතයක් වන ‘සුපර් මාරියෝ’ ලෙස සැරසී එක්ව සිටීම විශේෂත්වයක් විය.

ශ්‍රී ලංකාවට නැතත් නව රන් පදක්කම්ලාභී රටවල් 10ක්

ඔලිම්පික් ඉතිහාසයේ පළමු වරට රන් පදක්කම් දිනාගත් කණ්ඩායම් 10ක් මෙවර රියෝ ඔලිම්පික් උළෙලෙන් බිහිවිය. 1996 ඇට්ලන්ටා උළෙලෙන් පසු නව රන් පදක්කම් ලාභී කණ්ඩායම් වැඩිම සංඛ්‍යාවක් බිහිවූ ඔලිම්පික් උළෙල මෙයයි.

01 බහරේනය

කෙන්යාවේ ඉපිද බහරේනය නියෝජනය කරන රූත් ජෙබට් කාන්තා මීටර් 3000 බාධක දිවීමේ රන් පදක්කම දිනාගත්තේ බහරේනයට ඔලිම්පික් ඉතිහාසයේ පළමු රන් පදක්කම දිනා දෙමින්.

02 ෆීජී

පිරිමි සත් සාමාජික රග්බි කණ්ඩායම දිනාගත් රන් පදක්කම ඉතා කුඩා දූපත් රාජ්‍යයක් වන ෆීජී දේශයේ පළමු ඔලිම්පික් රන් පදක්කමයි.

03 නිදහස් ඔලිම්පික් කණ්ඩායම

කුවේට් දේශයේ ෆෙහායිඩ් අල් දෙහානි ඔලිම්පික් ධජය යටතේ ක්‍රීඩා කරමින් රන් පදක්කමක් දිනාගත් පළමු ක්‍රීඩකයා ලෙස ඉතිහාසයට එක්විය.

04 අයිවරි කෝස්ට්

ඔලිම්පික් උළෙල 13ක් පුරා නොහැකිවූ, මෙම රාජ්‍යයේ කිසිවෙකුට නොහැකිවූ  රන් දස්කමක් ඔවුන්ගේ 14 වන ඔලිම්පික්  උළෙල  තුල දී  සපුරා ගන්නට අයිවරි කෝස්ට් ටයිකොන්ඩෝ ක්‍රීඩක සාලා ජූනියර් සමත් විය.

05 ජෝර්දානය

ඔලිම්පික් උළෙල 10කට සහභාගී වී ඇති ජෝර්දානය වෙනුවෙන් පළමු රන් පදක්කම දිනා ගත්තේ ටයිකොන්ඩෝ ක්‍රීඩක අහමඩ් අබුගෞෂ් විසිනුයි.

06 කොසෝවෝ

වසර ගනානාවක කුරිරු යුද්ධයකින් පසු සර්බියාවෙන් නිදහස ලබා පළමු වරට ඔලිම්පික් වරම් ලැබූ අන්ත දිළිඳු රටක් වන කොසොවෝ රාජ්‍යය වෙනුවෙන් පළමු රන් පදක්කම දිනා ගත්තේ ජුඩෝ ක්‍රීඩිකා මයිලින්ඩා කෙල්මෙන්ඩි විසිනුයි.

07 පූටෝ – රිකෝ

කාන්තා කේවල ටෙනිස් ඉසව්වෙන් මොනිකා පූච් දිනාගත් රන් පදක්කම පූටෝ රිකෝ දිවයිනේ පළමු ඔලිම්පික් රන් පදක්කම වන අතර ඒ සඳහා ඔවුන්ට ඔලිම්පික් උළෙල 18ක් නියෝජනය කිරීමට සිදුවිය.

08 සිංගප්පූරුව

ඉතා දියුණු රටක් වුවත් ක්‍රීඩා දස්කම් අතින් එතරම් දියුණු නොවූ සිගප්පූරුවට පළමු රන් පදක්කම සඳහා ඔලිම්පික් උළෙල 18ක් ගතවන තුරු බලා සිටීමට සිදුවුවත් ජෝසප් ස්කූලින් එම රන් පදක්කම දිනා ගත්තේ ලොව සාර්ථකම ඔලිම්පික් ක්‍රීඩකයා වන මයිකල් පෙල්ප්ස් පරදවමින් වීම විශේෂත්වයකි.

09 ටජිකිස්තානය

ඩිල්ශෝඩ් නසරෝව් වසර 20ක ටජිකිස්තානු ඔලිම්පික් ඉතිහාසයේ පළමු රන් පදක්කම් ලාභියා බවට පත්වුණේ පිරිමි මිටිය විසිකිරීමේ ඉසව්ව ජය ගනිමිනුයි.

10 වියට්නාමය

වියට්කොං ගරිල්ලන් හේතුවෙන් ලොව වඩාත් අවධානය දිනාගත් වියට්නාමයේ පළමු රන් පදක්කම හිමිවුණේ මීටර් 10 වායු රයිෆල් ඉසව්වෙන්. හොං ශුඈන් එහි සාඩම්බර හිමිකරුවා විය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ  බොහෝ ක්‍රීඩකයන් තම පෞද්ගලික හොඳම දක්ෂතා අතරට හෝ පිවිසීමට අසමත් වූ අතර යම් ගෞරවනීය තත්ත්වයක් වෙත පියනගන්නට සමත්වුනේ මැරතන් ක්‍රීඩක අනුරාධ ඉන්ද්‍රජිත්, බැඩ්මින්ටන් ක්‍රීඩක නිලූක කරුණාරත්න සහ ජුඩෝ ක්‍රීඩක චාමර ධර්මවර්ධන පමණි.

මේ අනුව 1948 වසරේ සිට ශ්‍රී ලංකාව ඔලිම්පික් උළෙල 17කට සහභාගී වී ඇතත් 3 වන පදක්කම හෝ පළමු රන් පදක්කම දිනා ගැනීම සඳහා අවම වශයෙන් තවත් වසර 4ක් බලා සිටීමට සිදු වනු ඇති. ඒ වෙනුවෙන් කැපවීම ක්‍රීඩකයන් සතු වගකීමක් වුවත්, කඹ ඇදීම් සියල්ල නවතා ඊට අදාළ පසුබිම සැකසීම ක්‍රීඩා පරිපාලනයේ සහ දේශපාලනයේ ඉහල පුටු දරන්නන්ගේ ප්‍රධාන වගකීමක් වනු ඇත.

සමස්ත පදක්කම් සටහන