ක්‍රිකට් ක්‍රීඩාවේ පන්දු යැවීමේ ක්‍රමවේදයන් අතුරින් වඩාත්ම දුර්ලභ රටාවක් ලෙස සැලකෙන්නේ දකුණත් පා දඟ පන්දුවයි.

මේ වන විට ජගත් ක්‍රිකට් කරළිය තුළ සිටින පා දඟ පන්දු යවන්නන් නැතහොත් පන්දුව දඟ කැවීම සඳහා අතේ මැණික් කටුව භාවිත කරන පන්දු යවන්නන් අතුරින් බොහෝ දෙනෙක් සිටින්නේ ඉහළ දක්ෂතා අතරයි. එබැවින් එදා  මෙදා තුර ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කරන්නට වරම් දිනා ගත් ‘පා දඟයන්’ පිළිබඳ කෙරෙන විමසා බැලීමක් මේ.

ඉතිහාසයෙන් ඇසෙන ශූරයින්ගේ කුසලානයේ කතා පුවත

සමස්ත ලෝකයේම වෙසෙන ක්‍රිකට් ක්‍රීඩාවට ලැදි ප්‍රේක්ෂකයින්ගේ දෙනෙත්..

උපුල් චන්දන

Chandanaශ්‍රී ලංකා කණ්ඩායම තුල වඩාත්ම සාර්ථකත්වයට පත් පා දඟ පන්දු යවන්නා ලෙස උපුල් චන්දන නම් කළ හැකිය. ගාල්ල මහින්ද විද්‍යාලයෙන් ක්‍රිකට් ක්‍රීඩාවට අත් පොත් තැබීමෙන් පසු ඔහු දේශීය අන්තර් සමාජ තරග සඳහා කොළඹ NCC සහ ටැමිල් යූනියන් ක්‍රීඩා සමාජ වෙනුවෙන් ක්‍රීඩා කරන ලදි. පන්දු යැවීමේ දස්කම් වලට අමතරව අති විශිෂ්ට ගණයේ පන්දු රකින්නෙකු ලෙස සහ පසුපෙළ පිතිකරුවෙකු ලෙස ඔහු ප්‍රකට කළ දස්කම් හේතුවෙන් චන්දන එවක ශ්‍රී ලංකා කණ්ඩායමේ නිත්‍ය තුන් ඉරියව් ක්‍රීඩකයා බවට පත්ව සිටි අතර 1996 ලෝක කුසලාන ජයග්‍රහණය කළ කණ්ඩායමේ සාමාජිකයෙකු වීමට ද වරම් දිනා ගන්නා ලදි.

1994 වසරේ දී ජාත්‍යන්තර එක්දින වරම් දිනා ගත් උපුල් චන්දන හට ටෙස්ට් තරගයක් සඳහා පිවිසෙන්නට වසර 5ක දීර්ඝ කාලයක් බලා සිටින්නට සිදු විය. පළමු පෙළ ක්‍රිකට් තරග 165ක් තුළ කඩුලු 469ක් දවා ගැනීමට සමත් වී ඇති චන්දන ඉනිමක දී කඩුලු 5ක් දවා ගත් අවස්ථා සංඛ්‍යාව 20කි. දේශීය සහ ජාත්‍යන්තර එක්දින තරග 306ක් තුළ කඩුලු 258ක් දවා ගන්නට ද ඔහු සමත්ව තිබේ.

1999 වසරේ පකිස්තානයට එරෙහිව ටෙස්ට් වරම් දිනා ගත් චන්දන ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ ටෙස්ට් තරග 16 තුල කඩුලු 37ක් දවාගෙන ඇති අතර එක්දින තරගවල දී ඔහු වඩාත් ප්‍රයෝජනවත් පන්දු යවන්නෙකු බවට පත්ව සිටියේ තරග 147ක දී කඩුලු 151ක් දවා ගනිමිනුයි. ඔහුගේ එක්දින කඩුල්ලක් සඳහා ලකුණු සාමාන්‍ය 31.90ක් ලෙසත් පන්දු වාරයකට ලබා දී ඇති දල ලකුණු වේගය 4.70ක් ලෙසත් සටහන් වෙයි. උපුල් චන්දන තවමත් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට දායකත්වය ලබා දෙන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අනුබද්ධිත පන්දු රැකීමේ පුහුණුකරුවකු ලෙසිනුයි.

මාලිංග බණ්ඩාර.

Malinga Bandara 1ශ්‍රී ලංකා කණ්ඩායමේ දඟ පන්දු ශක්තිය මුත්තයියා මුරලිදරන් නම් විශිෂ්ට පිට දඟ පන්දු බලවේගයක ග්‍රහණයට නැතුව තිබූ සමයක කණ්ඩායම තුල ස්ථානයක් ස්ථීර කර ගැනීමට නොහැකි වූ මාලිග බණ්ඩාරගේ එක්දින තරග දිවිය තරග 31කට සීමා වූ අතර ඔහු එහි දී කඩුලු 36ක් දවා ගෙන ඇත්තේ කඩුල්ලක් සඳහා ලකුණු 34.22ක් සහ පන්දු වාරයකට ලකුණු 5.02ක් ලබා දෙමින්.

ජාත්‍යන්තර කරළියේ කෙටි කලක් සැරිසැරීමෙන් අනතුරුව නැවත දේශීය අන්තර් සමාජ තරග සඳහා පිවිසි බණ්ඩාරගේ පළමු පෙළ තරග දිවිය කඩුලු 570කින් වර්ණවත් වී ඇති අතර ඊට ඉනිමක දී කඩුලු 5ක් හෝ ඊට වැඩියෙන් දවා ගත් අවස්ථා 22ක් ද ඇතුළත්ය. එමෙන්ම ඔහු දේශීය එක්දින කඩුලු 250කට ආසන්න සංඛ්‍යාවකට ද හිමිකම් කියයි.

පසුගිය දශක දෙකක පමණ කාලය තුළ විදෙස් ප්‍රාන්ත තරගාවලි රැසක ද අත්දැකීම් ලබා ඇති මාලිංග බණ්ඩාර පසුගිය වසරේ වෙළඳසේවා ක්‍රිකට් තරගාවලියේ දී MAS යුනිචෙලා කණ්ඩායම නියෝජනය කළ අතර වර්තමානයේ රාගම ක්‍රිකට් සමාජයේ පුහුණුකරු ලෙස කටයුතු කරයි.

කෞෂාල් ලොකුආරච්චි.

Kaushalya Loku‘ලොකූ’ ලෙස ක්‍රිකට් කරළියේ ප්‍රසිද්ධියට පත් බම්බලපිටිය සාන්ත පීතර විදුහල් ආදි ශිෂ්‍ය කෞෂාල් ලොකුආරච්චි දකුණත් පා දඟ පන්දුවෙන් මෙන්ම ප්‍රයෝජනවත් පසු පෙළ පිතිකරුවෙකු ලෙස ද නම් දරා සිටි ක්‍රීඩකයෙකි. කෞෂාල් සිය ජාත්‍යන්තර ක්‍රිකට් ගමන ආරම්භ කරමින් 2000 වසරේ නියෝජනය කළ ප්‍රබල ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම එම වසරේ පැවති ICC යොවුන් ලෝක කුසලාන එක්දින තරගාවලියේ අනු ශූරතාව දිනා ගැනීමට සමත් විය.

බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජයෙන් ආරම්භ කෙරුණු කෞෂාල්ගේ අන්තර් සමාජ ක්‍රිකට් දිවියේ ඊළඟ නවාතැන කොළඹ SSC ක්‍රීඩා සමාජය වූ අතර පළමු පෙළ තරග බිමේ තරග 139ක් තුල ඔහු බිඳ හෙලා ඇති කඩුලු සංඛ්‍යාව 370ක්.

2003 වසරේ නවසීලන්තයට එරෙහිව ටෙස්ට් වරම් ලැබූ ‘ලොකූ’ හට පළමු ඉනිමේ දී එකදු කඩුල්ලක් හෝ දවා ගැනීමට නොහැකි වූ අතර පන්දුවාර 19ක් තුල ලකුණු 47කට කඩුලු 2ක් දවා ගැනීමට ඔහු සමත් විය.

මුරලිගේ දැවැන්ත සෙවණැල්ලෙන් සෙවන ලබා සිටි ශ්‍රී ලංකා කණ්ඩායමට පිවිසීම සඳහා දඟ පන්දු යවන්නන් රැසක් තරග කළ සමයක කෞශාල්ගේ ටෙස්ට් තරග දිවිය තරග 4 කට සීමා වූ අතර එක්දින තරග 21ක් තුල කඩුලු 31ක් දවා ගත්ත ද ස්ථාවර නොවූ දස්කම් ඔහුට දීර්ඝ කාලයක් කණ්ඩායමේ රැඳී සිටින්නට ඉඩ ලබා දුන්නේ නැත.

ක්‍රීඩා පිටියෙන් පිටත සිදු වූ ඇතැම් මතබේධාත්මක සිදුවීම් ද කෞශාල්ගේ ජාත්‍යන්තර තරග දිවිය කෙටි වීමට යම් බලපෑමක් එල්ල කළ අතර ඔහු මේ වන විට ඕස්ට්‍රේලියාවේ ක්‍රීඩා සමාජ තරග සඳහා සහභාගී වීම සඳහා ගොස් සිටියි.

ජෙෆ්රි වැන්ඩර්සේ

Jeffreyශ්‍රී ලංකා ක්‍රිකට් ‘වර්තමාන කාලය’ නියෝජනය කරන දකුණත් පා දඟ පන්දු යවන්නන් අතුරින් දක්ෂතා සපිරි තරුවක් වන ‘වැන්ඩා’ ක්‍රිකට් කරළියට තිලිණ කෙරුණේ කොළඹ වෙස්ලි විද්‍යාලයෙන්.

දැඩි කැපවීමකින් ක්‍රීඩාවට සම්බන්ධ වීම පිළිබඳ ප්‍රසිද්ධියක් උසුලන වැන්ඩර්සේ ජාතික තේරීම් කමිටුවේ අවධානය දිනා ගන්නට සමත් වුනේ සිය අන්තර් සමාජ මට්ටමේ දස්කම් හේතු කොට ගෙනයි. පා දඟ පන්දු යවන්නෙකු සතු විය යුතු සියලුම ආකාරයේ උපක්‍රම වලින් සන්නද්ධ වූවකු ලෙස ඔහුව හැඳින්විය හැක.

සීදූව ‘රද්දොලුව ක්‍රීඩා සමාජය’ නියෝජනය කරමින් අන්තර් සමාජ කරළියට පිවිසි වැන්ඩර්සේ හට මේ වන විට වඩාත් ශක්තිමත් SSC ක්‍රීඩා සමාජයේ සෙවන ලැබී තිබේ.

තවමත් පළමු පෙළ තරග 36කට පමණක් ක්‍රීඩා කර ඇති වැන්ඩර්සේ එහි දී කඩුලු 168කට හිමිකම් කියන්නේ ඉනිමක දී කඩුලු 5ක් හෝ වැඩියෙන් දවා ගත් අවස්ථා 14ක් ද සමඟයි. පකිස්තාන කණ්ඩායම සමඟ පැවති තුන් දින පුහුණු තරගයක දී කඩුලු 8ක් දවා ගනිමින් ප්‍රධාන ක්‍රිකට් රඟ මඬලට පිවිසෙන්නට සමත් වූ ඔහු 2015 වසරේ දී ජාතික සංචිතයක් සඳහා කැඳවනු ලැබීය. පසුගිය වසරේ ශ්‍රී ලංකා කණ්ඩායමට අමතක කර දැමිය යුතු අත්දැකීමක් බවට පත් වූ පන්දුවාර 20 ලෝක කුසලාන තරගාවලිය නම් කළු වලාව තුල මතු වූ එකම රිදී රේඛාව ලෙස ජෙෆ්රි වැන්ඩර්සේ දැක්වූ දක්ෂතා පෙන්වා දිය හැක.

කෙසේ වුවත් ඉන් අනතුරුව අතේ ඇඟිල්ලක මතු වූ ආබාධයක් හේතුවෙන් ජාතික කණ්ඩායමේ තරග සංචාර කිහිපයක් වැන්ඩර්සේ හට අහිමි වූ අතර එබැවින් තවමත් කණ්ඩායම තුලට නැවත පිවිසීමේ අවස්ථාවක් ලැබෙන තුරු බලා සිටීමට ඔහුට සිදුව තිබේ. නමුත් අනාගතයේ ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් කැපී පෙනෙන දක්ෂතා දැක්විය හැකි පන්දු යවන්නෙකු බවට පත් වීම සඳහා වැන්ඩර්සේ හට බෙහෙවින්ම අවස්ථාව පවතී.

ජීවන් මෙන්ඩිස්

Jeewan Mendis 1ජීවන් මෙන්ඩිස් අවසන් වරට ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළේ 2015 වසරේ ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහායි. අවාසනාවකට මෙන් ඉන් අනතුරුව පුහුණුවීමක් අතරතුර පාපන්දු ක්‍රීඩාවේ නිරත වීමේ දී කලවයේ ආබාධයකට ලක්වීමත් සමඟ තවමත් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කිරීමේ වරම ඔහුට හිමි වී නැත.

නිල් මහා සටන මහා ක්‍රිකට් තරගයේ දැක්වූ දස්කම් හේතුවෙන් ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයට වීරයෙකු වූ මෙන්ඩිස්, බ්ලූම්ෆීල්ඩ් සහ SSC ක්‍රීඩා සමාජ නියෝජනය කරමින් ලබාගත් දේශීය ක්‍රිකට් අත්දැකීම් ගොන්නකින් පසු මේ වන විට ටැමිල් යූනියන් ක්‍රීඩා සමාජ කණ්ඩායමේ තම ස්ථානය ස්ථීර කර ගෙන ඇත.

වසර 17ක් පුරා දිවෙන අන්තර් සමාජ තරග නියෝජනය තුළ ජීවන් මෙන්ඩිස් දවාගෙන ඇති කඩුලු සංඛ්‍යාව 400කට අධිකයි. විශේෂඥ පන්දු යවන්නෙකුට වඩා ප්‍රයෝජනවත් දඟ පන්දු යැවීමේ හැකියාව ඇති පිතිකරුවෙකු ලෙස වර්ගීකරණය කළ හැකි ඔහු 2010 වසරේ ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර එක්දින වරම් ලැබීමෙන් පසු ක්‍රීඩා කළ තරග 54ක දී කඩුලු 28ක් දවා ගෙන ඇත. ලොව වටා පන්දුවාර 20 ලීග් තරගාවලි කිහිපයක්ම නියෝජනය කිරීමට වරම් ලැබූ මෙන්ඩිස් මෙම තරග වාරය තුල දී එංගලන්ත ඩර්බිෂයර් ප්‍රාන්ත කණ්ඩායම නියෝජනය කරයි.

සීක්කුගේ ප්‍රසන්න.

Seekuge1ශ්‍රී ලංකා වර්තමාන එක්දින කණ්ඩායමේ පා දඟ පන්දු යවන්නා වන ‘සීක්කු’ පන්දුවෙන් මෙන්ම පිත්තෙන්ද ප්‍රතිවාදීන්ට හිසරදයක් ගෙන දිය හැකි ක්‍රීඩකයෙකි. පන්දුව දඟ කැවීම පිළිබඳ එතරම් ප්‍රසිද්ධියක් නොඋසුලන ඔහුගේ කඩුලු ලබා ගැනීමේ ප්‍රධාන ක්‍රමවේදය වන්නේ නිසි ඉලක්කය රඳවා ගැනීමයි. යුද හමුදා කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරන සීක්කු දේශීය අන්තර් සමාජ තරග බිමේ ඉතා ඉහළ මට්ටමේ දස්කම් දක්වන ක්‍රීඩකයන් අතුරින් කෙනෙකි.

මේ වන විට පළමු පෙළ තරග 98ක් තුළ ඔහු කඩුලු 488ක් දවා ගෙන ඇත්තේ ඉනිමක දී කඩුලු 5ක් සම්පූර්ණ කළ අවස්ථා 37ක් ද සමඟයි. ටෙස්ට් තරගයක දී ශ්‍රී ලංකාව නියෝජනය කළ අවසන් දකුණත් පා දඟ පන්දු යවන්නා ලෙස ප්‍රසන්න නියෝජනය කළ එකම ටෙස්ට් ක්‍රිකට් තරගය 2011 වසරේ ඔස්ට්‍රේලියාවට එරෙහිව පැවැත්විණි.

මෙරට දී පැවති එම තරගාවලිය තුල දී ම ජාත්‍යන්තර එක්දින වරම් ද හිමි කර ගත් ප්‍රසන්න තම මංගල තරගයේ දී පන්දුවාර 6ක් තුල ලකුණු 32කට කඩුලු 3ක් දවා ගැනීමට සමත් විය. මේ වන විට එක්දින තරග 35කට ක්‍රීඩා කරමින් කඩුලු 30ක් දවා ගෙන තිබෙන ප්‍රසන්න පන්දු වාරයක දී ප්‍රතිවාදීන්ට ලබා දෙන සාමාන්‍ය ලකුණ සංඛ්‍යාව ලෙස සටහන් වන්නේ 5.38ක්. මේ වන විට ශූරයින්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා එංගලන්තයට ගොස් සිටින ඔහු එහි දී සිය පන්දු යැවීමේ හැකියාවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට වඩාත් ඉහළ දායකත්වයක් ලබා දීමේ අරමුණින් පසුවනු නොඅනුමානය.

D.S. ද සිල්වා.

DS desilvaගාලු පුරවරයෙන් ක්‍රිකට් කරළියට පිවිසි සෝමචන්ද්‍ර ද සිල්වා සැලකෙන්නේ ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රීඩා කළ විශිෂ්ටතම පා දඟ පන්දු යවන්නෙකු ලෙසයි. 1970 දශකයේ දී සිය කඩුලු දඩයම ස්ථාවර වේගයක රඳවා ගැනීමට සමත් වූ ඔහු පළමු පෙළ තරග 66ක දී කඩුලු 241ක් දවා ගෙන තිබේ. ඊට ඉනිමක කඩුලු 5ක් සම්පූර්ණ කළ අවස්ථා 15ක් ද ඇතුළත්ය.

ශ්‍රී ලංකාවට ටෙස්ට් වරම් හිමි වන විට, අවාසනාවන්ත ලෙස, එවක ජාතික කණ්ඩායමේ සිටි බොහෝ ක්‍රීඩකයන් මෙන් D. S. ද සිල්වා ද පසුවුනේ විශ්‍රාම ගැනීමට ආසන්න වයසකයි. 35 වසරකට පෙර ශ්‍රී ලංකා කණ්ඩායමේ මංගල ටෙස්ට් තරගයේ දී කඩුලු 3ක් දවා ගත් ඔහු සිය ටෙස්ට් තරග 12ක ඉතිහාසයේ බිඳ හෙලා ඇති කඩුලු සංඛ්‍යාව 37ක්. එක්දින තරග 41ක දී දවාගත් කඩුලු 32ක වාර්තාවක් ද ඩී. එස්. සතුව තිබේ.

විශ්‍රාම ගැනීමෙන් පසුව වරක් ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයට ද සම්බන්ධව සිටි D. S. ද සිල්වා මේ වන විට ඔහුගේ පෞද්ගලික ව්‍යාපාර කටයුතු වල නිරතව සිටී.

අසෝක ද සිල්වා

Asoka De silvaකොළඹ ඉසිපතන විද්‍යාලයෙන් බිහි වූ අසෝක ද සිල්වා, 1985 වසරේ සිට 1992 වසර දක්වා ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කළ දැකුම්කළු ඉරියව්වකින් යුතු දකුණත් පා දඟ පන්දු යවන්නෙකි. ගාලු ක්‍රීඩා සමාජය සහ කොළඹ NCC ක්‍රීඩා සමාජය නියෝජනය කරමින් පළමු පෙළ තරග 84කට ක්‍රීඩා කර තිබෙන අසෝක එහි දී කඩුලු 186ක් දවා ගෙන තිබෙන්නේ ඉනිම 7ක දී ම කඩුලු 5 සීමාව සපුරා ගනිමිනුයි.

ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 10කට සහ එක්දින තරග 28කට ක්‍රීඩා කළ අසෝක ටෙස්ට් කඩුලු 8කටත්, එක්දින කඩුලු 17කටත් හිමිකම් කියයි. ජාත්‍යන්තර තරග දිවියෙන් විශ්‍රාම ගැනීමත් සමඟ විනිසුරු වෘත්තියට යොමු වූ ඔහු ජගත් ක්‍රිකට් කවුන්සිල ප්‍රධාන විනිසුරු මඩුල්ල (ICC Elite Panel) පවා නියෝජනය කළ විනිසුරුවරයෙකි. 2003 සහ 2007 ලෝක කුසලාන එක්දින තරගාවලි සඳහා ද විනිසුරුවරයෙකු ලෙස දායකත්වය ලබා දී තිබෙන අසෝක ද සිල්වා වර්තමානයේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ තරග තීරකවරයෙකු ලෙස සේවය කරයි.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<