ආදරවන්තයින්ගේ අවසන් දිනයට ධනංජයගෙන් ශතකයක්

425

වසර සියයකටත් වඩා ඈත අතීතයට දිව යන ආදරවන්තයින්ගේ සටනේ 112 වැනි අදියර ඊයේ (17) ගාලු ක්‍රීඩාංගණයේ දී ආරම්භ වන විට විද්‍යාල දෙකම තරග 23 බැගින් ජයගෙන සිටියේ කෙසේ හෝ මෙවර තරගය ජයගෙන තම විද්‍යාලයට ගෞරවයක් අත්කර දීමේ සූදානමෙනි. ඉතිහාසගත තොරතුරු පිරික්සා බැලීමේ දී කරට කර දක්ෂතා දක්වා ඇති ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය සහ මහින්ද විද්‍යාලය මෙවරත් ඒ අයුරින්ම උණුසුම් තරගයකට සමවැදී සිටි නමුත් අද (18) තරගය නිමා වූයේ නම් ජය පරාජයකින් තොරවයි.

ප්‍රබල රිච්මන්ඩ් පිතිකරුවන්ට මහින්ද විද්‍යාලයෙන් නොසිතූ අභියෝගයක්

වසර 100කටත් අධික ඉතිහාසයකට උරුමකම් කියන ආදරවන්තයින්ගේ සටනට එක්වන ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය සහ මහින්ද විද්‍යාලය යනු ජාත්‍යන්තර…

අද දිනයේ දී තරගය තුල වාර්තා වූ සුවිශේෂීම සිදුවීම බවට පත්වූයේ රිච්මන්ඩ් පිතිකරුවන් දෙවැනි ඉනිමේ දී පළ කල සුපිරි පිතිකරණ රටාවයි. එහි දී ඔවුන් දිනය නිමා වන විට එක් කඩුල්ලකට ලකුණු 205ක් ලකුණු පුවරුව මත සටහන් කිරීමට සමත් වූහ. රිච්මන්ඩ් විද්‍යාලයේ මෑත කාලයේ ඉහළ දක්ෂතා දක්වා ඇති යොවුන් තුන් ඉරියව් ක්‍රීඩක ධනංජය ලක්ෂාන් සහ ශ්‍රී ලංකා 19න් පහළ නායක කමිඳු මෙන්ඩිස් අද වේගවත් ලකුණු 168ක සබඳතාවයක් පැවැත්වූයේ ගාලු ක්‍රීඩාංගණයට පැමිණි දහස් සංඛ්‍යාත ප්‍රේක්ෂකයින්ට ඉහළ ආශ්වාදයක් හිමිකර දෙමිනි. එසේම ඔවුන් දෙදෙනාගේ මෙම සුපිරි දක්ෂතාවය විද්‍යාල දෙක අතර පැවති දීර්ඝ මහා තරග ඉතිහාසයේ ආරම්භක කඩුල්ල වෙනුවෙන් ගොඩ නැගුණු ඉහළම ලකුණු සබඳතාවය ලෙස වාර්තා පොතට එක්විය. ඒ සමඟම 2015 වර්ෂයේ දී වාර්තා වුනු ලකුණු 162ක ආරම්භක කඩුල්ලේ සබඳතාවය දෙවැනි තැනට ඇද වැටුණි.

ගාලු පිටිය සිසාරා ඉතාමත් දක්ෂ අන්දමින් පහරවල් එල්ල කරමින් රිච්මන්ඩ් කඳවුර නිරන්තරයෙන් ජය ඝෝෂාවෙන් පුරවාලූ කමිඳු මෙන්ඩිස්ට අද ලකුණු 8කින් තම ශතකය අහිමි වී යාම ඉතාමත් අවාසනාවන්ත සිදුවීමක් බවට පත්විය. කෙසේ වෙතත් ඔහුගේ සහයක පිතිකරුවා බවට පත්වූ ධනංජය ලක්ෂාන් තම සගයාට ලඟා කරගත නොහැකි වූ ඉලක්කයට ලඟා වෙමින් නොදැවී ශතකයක් වාර්තා කළේය.

අද උදෑසන දෙවැනි දිනය සඳහා තරගය ආරම්භ කරන විට කඩුලු 3ක් දැවී ලකුණු 96ක් ලබාසිටි මහින්ද විද්‍යාලය පස්වරුව වනවිට නොසිතූ අයුරින් ලකුණු 180කට සීමාවිය. ඒ අනුව රිච්මන්ඩ් විද්‍යාලය ප්‍රථම ඉනිමෙන් ලකුණු 4ක සුළු ඉදිරියක් ලබා ගත්හ. කෙසේවෙතත් මහින්ද විද්‍යාලය මෙම ලකුණු 180 ලබා ගැනීම සඳහා පන්දුවාර 105යි පන්දු 5ක් වැය කිරීම ඉතාමත් අසාමාන්‍ය තත්වයක් බවට පත්විය.

[rev_slider dfcc728]

.

මහින්ද විද්‍යාලය වෙනුවෙන් විනුර හිරන්ජිත් ඉනිමේ එකම අර්ධ ශතක ලාභියා ලෙස ලකුණු 57ක් රැස් කළේය. කවිඳු එදිරිවීර ලකුණු 27යි. ඒ හැරුණුකොට අනෙක් කිසිදු මහින්ද පිතිකරුවෙකු ලකුණු 20 සීමාව පවා ඉක්මවා නොගියහ. අවිඳු තීක්ෂණ (4/59) සහ සඳුන් මෙන්ඩිස් (3/47) මහින්ද මුල් ඉනිම බිඳ දැමීමේ දී මූලිකත්වය ගත් අතර ඉනිම නිමා වන විට ඔවුන් දෙදෙනා අතරේ කඩුලු 7ක් බෙදී ගොස් තිබුණි. කෙසේ වෙතත් මෙම තරගය ජය පරාජයෙන් තොරව නිමාවීම මහින්ද විද්‍යාලය ලැබූ ජයග්‍රහණයක් බවට පත්වූයේ ඔවුන් පසුගිය පාසල් ක්‍රිකට් තරග වලදී ඉහළ දක්ෂතා අතරට පිවිසීමට අසමත් වූ බැවින් මෙම තරගයේ වාසිය මුල සිටම රිච්මන්ඩ් විද්‍යාලය සතුවූ බැවිනි.

රිච්මන්ඩ් විද්‍යාලය (ප්‍රථම ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 184 (පන්දුවාර 47.1): අවිඳු තීක්ෂණ 38, කමිඳු මෙන්ඩිස් 32, ධනංජය ලක්ෂාන් 30, කවීෂ අභිෂේක් 37,  ආදිත්‍ය සිරිවර්ධන 26, කලිඳු එදිරිසිංහ 2/19, නිපුන් මාලිංග 2/50, කවිඳු එදිරිවීර 2/24.

මහින්ද විද්‍යාලය (ප්‍රථම ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 180 (පන්දුවාර 105.5): විනුර හිරන්ජිත් 57, කවිඳු එදිරිවීර 27, නවෝද් පරණවිතාන 20, සඳුන් මෙන්ඩිස් 3/47, අවිඳු තීක්ෂණ 4/59.

රිච්මන්ඩ් විද්‍යාලය (දෙවන ඉනිම) – එක් කඩුල්ලක් දැවී ලකුණු 205 (පන්දුවාර 33): ධනංජය ලක්ෂාන් 101*, කමිඳු මෙන්ඩිස් 92.

  තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න  ක්‍රිකට් ක්‍රීඩා පිටුවට