ළිහිණි ගලට කොඩි ගසන්නට ගිය ආදරණීය රිච්මන්වරයෙක්ගේ මතකය

2180
Chamila Gamage

වාර්ෂික මහා ක්‍රිකට් තරග කැලැන්ඩරයේ දකුණුලක පුබුදු වන රිච්මන්ඩ් මහින්ද ආදරවන්තයේ සටන මාර්තු මස 16 සහ 17 දෙදින සුපුරුදු ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිත ය.

1905 වසරේ දී ඇරඹි මෙම මහා තරගය මෙවර පැවැත්වෙන්නේ 113 වැනි වරට ය. උන්මාදනීය “බිග් මැච්” උණුසුමත් සමඟින් රිච්මන්ඩ් – මහින්ද සටන් ඉතිහාසයේ ආදරණීය ආදරවන්තයෙක් ThePapare.com සමඟ එක්වෙමින් තම මතක සටහන් මෙසේ ආවර්ජනය කළේය. ඔහු නමින් චමිල ගමගේ ය.

“ආදරවන්තයන්ගේ වාර්ෂික මහා ක්‍රිකට් තරගය, තරගයකට වඩා ගාල්ලට තනිකරම සැණකෙළියක්. ලොකු කුඩා සෑම දෙනෙක්ම පුදුම විදිහට මේකට බැඳී සිටිනවා. ගාල්ල කොටු පවුරේ වගේම මුළු නගරෙම පාසල් දෙකේ කොඩි දාන්නේ තරගයට වගේ. ඒ අතුරින් ගාල්ල ළිහිණි ගලේ කොඩිය දැමීම තමයි මම හිතන්නේ අමාරුම දේ. මම සෙල්ලම් කරන අවුරුද්දේ ළිහිණි ගලට පීනගෙන ගිහිල්ලා මමත් මේ කොඩිය දාන්න උදව් කළා. මම විශ්වාස කරනවා කණ්ඩායමට සෙල්ලම් කරද්දී එහෙම ඒ කොඩිය දාන්න සම්බන්ධ වුන එකම කෙනා මම වෙන්න ඇති කියලා.” සුන්දර මතකයක අවදි කරමින් චමිල අප හා එකතු වුනේ ඒ ආකාරයෙනි.

පාසල් ක්‍රිකට් උන්මාදයේ සොඳුරුතම පෙළහැර දැක්ම

ශ්‍රී ලාංකිකයින් වඩාත්ම උද්යෝගයෙන් සමරන ක්‍රීඩාව වන්නේ අවිවාදයෙන්ම ක්‍රිකට් ක්‍රීඩාව යි..

“ගාල්ලෙ බිග් මැච් එක ඉලක්ක කර ගනිමින් විවිධ සංස්කෘතීන් මේ වටා එකතු වෙලා තියෙනවා. එයින් මුල් තැන හිමි වෙන්නේ First Flag වැඩසටහනට. ගාල්ලට බිග් මැච් උණුසුම ගේන්නේ මේ කොඩිය දැමිල්ලෙන්.“

නගරයේ පළමුවෙන්ම එසවෙන මෙම කොඩිය මේ වසරේ මාර්තු මස 1 වැනිදා එසවෙන බවකි සමාජ මාධ්‍ය පවසා ඇත්තේ. වාර්ෂික මහා ක්‍රිකට් තරගයේම කොටසක් ලෙසින් මෙය සිදු වන බැවින් යම් පිළිගත හැකි මට්ටමේ පිරිසක් ද සහභාගී වෙතැයි පැවසේ. මේ කුමන දේ සිදු වුනත් පාසල් දෙක අතර පවතින සුහදතාවයෙහි කිසිදු පළුද්දක් ද නොමැති බැව්ය, චමිල පැවැසුවේ.

“අපි පිටියෙ දී ඉතාම හොඳ සටන්කාමීන්. හැබැයි පිට දී එහෙම නැහැ. පෙරඩ් එක වුනත් කරන්නේ පාසල් දෙකේ අය කතා කරලා. අපි ආරම්භ කරනවා. මහින්දෙ අය අවසන් කරනවා.”

වාර්ෂික මහා ක්‍රිකට් තරග උන්මාදයත් සමඟින් වෙළී ඇති චමිල, තම ක්‍රිකට් ඉතිහාසයේ සුවිශේෂී තැන් ද සිහිපත් කළේය.

“මම වයස අවුරුදු 13න් පහළ කාලයේ සිටම ක්‍රිකට් ගැහුවා. මගේ ගම වැකුණුගොඩ. පාසලට පයින් යන්න එන්න පුළුවන් දුරකින් තිබුණෙ. මම ක්‍රිකට්, ස්විමිං, ෆුට්බෝල් වගේම ඇත්ලටික් කළා. මේ නිසා හවස්වරුත් බොහෝ විට ගත කළේ පාසලේ. අනෙක් අයට වගේ ගමන් බිමන්වල ප්‍රශ්නයක් නොතිබූ නිසා ඒක ලොකු වාසියක් වුනා.  අනෙකුත් ක්‍රීඩාවන් අභිබවා ක්‍රිකට් එක වුණේ බිග් මැච් නිසා. ඒක තනිකරම පිස්සුවක්.”

චමිල රිච්මන්ඩ් කණ්ඩායම නියෝජනය කරමින් 1997 සහ 1998 යන වසර දෙකේ වාර්ෂික මහා ක්‍රිකට් තරගයට ක්‍රීඩා කරන්නේය. ඔහු ආදරවන්තයෙන්ගේ වාර්ෂික මහා ක්‍රිකට් තරගයකට පළමු වරට ක්‍රීඩකයෙක් ලෙසින් පිටියට පිවිසෙන්නේ සමන්ත ලොරෙන්සුහේව‍ෙගේ නායකත්වයෙන් යටතේය.

“වයස අවුරුදු 13න් පහළ කණ්ඩායමේ සිටම මම සිහින දැක්කේ රිච්මන්ඩ් – මහින්ද බිග් මැච් එකට සෙල්ලම් කරන එක. මේ බිග් මැච් සිහිනය මගේ විතරක් නෙවේ, ඕනෑම පාසල් ක්‍රිකට් ක්‍රීඩකයෙක්ගේ සිහිනයක්. ඒ සිහිනය ඉටු වුනා කියන්නේ විශාල සතුටක්. ඇත්තටම ඒක වචනවලින් විස්තර කරන්න දන්නේ නැහැ. කොහොම වුනත් අපි ක්‍රීඩා කරපු අවුරුද්ද අපිට එතරම් හොඳ තත්ත්වයක් නෙවේ තිබුණේ. මහින්දෙ සීනියර් ප්ලේයර්ස්ලා 9ක්ම හිටියා. නඅපේ කණ්ඩායමේ හිටියේ 3 දෙනයි. අපේ තත්ත්වය හොඳ නොවුනත් ඒ තත්ත්වයෙන් වුනත් අපිට හැකි වෙනවා ඒ තරගය ජය පරාජයෙන් තොරව අවසන් කරන්න. එහෙම වුනත් එක්දින තරගයේ ජයග්‍රහණය ලබන්න අපි සමත් වුනා.“

චමිල පවසන්නේ සියුම් ආඩම්බරයක් ද මුසු වූ හඬකිනි. ඔහු සහභාගී වූ පළමු වාර්ෂික මහා ක්‍රිකට් තරගයේ දී රිච්මන්ඩ්වරුන්ගේ කණ්ඩායමේ දක්ෂතම පන්දු යවන්නා වෙන්නේ චමිල ය. එම කුසලානය ලැබෙද්දී ලත් සතුට අදටත් මතකයේ සුවිශේෂී තැනක තැන්පත්ව ඇති බවකි ඔහු පවසන්නේ.

චමිල හා හා පුරා වාර්ෂික මහා ක්‍රිකට් තරගයට ක්‍රීඩා කිරීමට වරම් ලැබෙන විට එම වසරේ පාසල් ක්‍රිකට් පිටියේ කඩුලු 50ක කඩඉම පසුකර සිටියේය. චමිල මේ සා දක්ෂතා දැක්වූව ද ඔහුගේ පාසල් ක්‍රිකට් ජීවිතයේ ආයු කාලය ඉතා කෙටිය. ඒ චමිලගේ පාසල් කාලයේ දී ම ඔහුගේ ආදරණීය මෑණියන් පිළිකා රෝගය හේතුවෙන් අකාලයේ සමුගැනීම හේතුවෙනි.

“අම්මගේ අහිමි වීම මට විශාල පාඩුවක් වුනා. මගේ පාසල් ක්‍රිකට් ජීවිතයේ මගේ ඉලක්ක ගත ගමන යන්න මට බැරි වුනා. මම පාසල් ක්‍රිකට් අතෑරලා ජීවිතය සොයන්න ගත්තා.“ මේ චමිලගේ ජීවිතයේ හැල හැප්පීම් ය.

“මගේ පුහුණුකරු වුණේ නිහාල් ගුණවර්ධන මහතා. එතුමා යටතේ අපි හොඳ පුහුණුවක් වගේම හොඳ ශික්ෂණයක් යටතේ ක්‍රීඩා කරන්නේ සහ ජීවිතයට මුහුණ දෙන්නේ කොහොමද කියන දේත් ඉගෙන ගත්තා. ඇත්තටම එතුමා ක්‍රිකට්වලට පමණක් නොවේ අපේ ජීවිතවලටත් විශාල වටිනාකමක් ලබා දුන්නා.” ඒ චමිලගේ ජීවිතයේ ඇසූ පිරූ උදවිය ය.   

මෙරට ජාතික කණ්ඩායමට ක්‍රීඩකයන් දායාද කිරීමේ දී දකුණුලකින් රිච්මන්ඩ්වරුන්ට හිමි වෙන්නේ සුවිශේෂී ස්ථානයකි. චම්පක රාමනායකගේ සිට වර්තමාන වයස අවුරුදු 19න් පහළ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක කමිඳු මෙන්ඩිස් දක්වා එහි ලැයිස්තුව දිගු ය. චමිල මේ සම්බන්ධයෙන් දක්වන්නේ මෙවන් අදහසකි.

“රිච්මන්ඩ් විද්‍යාලය තමයි මෑත කාලීනව ජාතික කණ්ඩායමට වැඩිම ක්‍රීඩකයන් ප්‍රමාණයක් බිහි කරලා තියෙන්නේ. අවුරුදු 5ක් ඇතුළත ශ්‍රී ලංකාවේ වයස අවුරුදු 19න් පහළ ජාතික කණ්ඩායමේ නායකත්වයට ක්‍රීඩකයන් දෙදෙනෙක් බිහි කරලා තිබෙන්නේ රිච්මන්ඩ් ලා. ඒ වගේම වර්තමාන කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයන් කිහිප දෙනෙක්ම අපේ විද්‍යාලය නියෝජනය කළ අය. මම ආදි රිච්මන්ඩ් කෙනෙක් ලෙස ඒ ගැන ආඩම්බර වෙනවා.” චමිල රිච්මන්ඩ් විද්‍යාලයීය මෑත කාලීන ක්‍රිකට් වපසරිය ගැන දරන්නේ එවන් අදහසකි.

ඒ හා සමඟම මෙවර තරයේ දී චමිල තම කණ්ඩායම කෙරෙහි තබා ඇත්තේ ද විශාල විශ්වාසයකි.

“මෙවර තරගයේ දී රිච්මන්ඩ් කණ්ඩායම මහින්දයට වඩා ඉදිරියෙන් සිටිනවා යැයි විශ්වාසයේ මම සිටින්නේ. විශේෂයෙන්ම කමිඳු මෙන්ඩිස් සහ ධනංජය ලක්ෂාන් කෙරෙහි අපි තබා තියෙන විශ්වාසය විශාලයි. ඒ වගේම පුහුණුකරු ධම්මික සුදර්ශන සහ ඔහුගේ සහායකයන් ද කණ්ඩායමේ විශාල පෙරළියක් සිදු කර තිබෙනවා. ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෝ ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරද්දී අනෙක් සාමාජිකයන් මෙවර පාසල් තරගාවලියේ දී කණ්ඩායම ඉතාම ප්‍රශස්ත මට්ටමට ගෙනත් තිබෙනවා. රිච්මන්ඩ්වරයෙක් ලෙසින් රිච්මන්ඩ්වරුන්ට ආදරෙන් කතා කළත් මෙවර අප කණ්ඩායම සමඟ ප්‍රතිවාදීන් සේ එක්වන මහින්ද විද්‍යාලයීය කණ්ඩායමටත් මම සුබ පතනවා. ඔවුන්ගේ දක්ෂතා අගය කරනවා. ඒත් ඉතිං රිච්මන්ඩ්වරයෙක් ලෙසින් මම අපේක්ෂා කරන්නේ අපේ කණ්ඩායම  වෙතින් පූර්ණ ජයග්‍රහණයක්.”

ආදරවන්තයන්ගේ කඩුලු පන්දු සැමරුමේ තවත් බොහෝ කතා හෙට අනිද්දා ද කරළියට පිවිසෙනු ඇත. ඒ සෑම කතාවකම ඇත්තේ ආදරණීය කතාන්දරම විය හැක. ඒ කතාන්දර ද සමඟින් පිටියට පිවිසෙන රිච්මන්ඩ් – මහින්ද වර්තමාන සටන්කාමීන්ගේ වාර්ෂික මහා ක්‍රිකට් තරගයේ උණුසුම ThePapare.com සමඟ එක්වීමෙන් ඔබට ආශ්වාදනීය කළ හැකිය.

113 වැනි ආදරවන්තයින්ගේ සංග්‍රාමය ThePapare.com තුලින් සජීව ලෙස නරඹන්න රැඳී සිටින්න.

 >> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<