දෙවැනි දිනය වර්ණ ගන්වමින් චන්දිමාල්ගෙන් විශිෂ්ට ශතකයක්!

502

වර්තමානයේ ශ්‍රී ලංකාව සතු විශ්වාසනීයම ටෙස්ට් පිතිකරුවා වන දිනේෂ් චන්දිමාල් ක්‍රීඩා කළ සුපිරි ඉනිම නිසා ප්‍රථම ඉනිම වෙනුවෙන් ලකුණු 419ක දැවැන්ත ලකුණු පුවරුවක් ගොඩ නැගීමට අද (29) ශ්‍රී ලංකාවට හැකි විය.

ඒ අනුව පසුගිය කාලයේ ඉතාමත් අසාර්ථක වූ ශ්‍රී ලංකා පිළ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී ක්‍රීඩා කළ පළමු ඉනිමේ දීම මේ අයුරින් සාර්ථක වීම සැනසුමට කරුණක් වී තිබේ. කෙසේ වෙතත් අද සන්ධ්‍යා කාලයේ පිටියට පිවිසි පාකිස්තානු පිතිකරුවන් ද පහසුවෙන් සටන අත් හරින බවක් පෙනෙන්නට නොමැත.

දිමුත්ට ශතකය අහිමි වුවත් දිනයේ වැඩි ගෞරවය ශ්‍රී ලංකාවට!

වමත් ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න ක්‍රීඩා කළ විශිෂ්ට ඉනිමත්, නායක චන්දිමාල් සහ දික්වැල්ල…

අද දිනය ඇරඹෙන විට කඩුලු 4ක් දැවී ලකුණු 227ක් ලබා සිටි ශ්‍රී ලංකාවට තිබූ දැවැන්තම තර්ජනය වූයේ ඉනිම ගොඩ නැගීමට තරම් පිතිකරුවන් ඉතිරිව නොසිටීමයි. ඒ ශ්‍රී ලංකා පිළ පිතිකරුවන් 6ක් සහ පන්දු යවන්නන් 5ක් සහිත තීරණාත්මක සංකලනයකින් පළමු ටෙස්ට් තරගය සඳහා පිවිස තිබූ නිසාවෙනි. එබැවින් ඒ වන විට පිටියේ රැඳී සිටි නායක චන්දිමාල් සහ නිරෝෂන් දික්වැල්ල පිට පැටවී තිබුණේ සුළුපටු අභියෝගයක් නොවේ. නමුත් ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයින් අමන්දානන්දයට පත් කරමින් එම අභියෝගයට සාර්ථකව මුහුණ දුන් ඔවුන් දෙදෙනා පස්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 134ක දැවැන්ත සබඳතාවයක් ගොඩ නැගූහ.

විශිෂ්ට අයුරින් පන්දුවට පහර දුන් වමත් ප්‍රහාරක පිතිකරු නිරෝෂන් දික්වැල්ල අද ලකුණු 83ක් රැස්කර ගැනීමට සමත් විය. ඒ ඔහුගේ 6 වැනි අර්ධ ශතකය ලෙසිනි. ටෙස්ට් ක්‍රීඩාවේ ප්‍රබලතම අවියක් වන ස්වීප් පහර මනාව හසුරුවාගත් ඔහු ශතකයකට සියලු සුදුසුකම් සපුරා තිබුණ ද හසන් අලිගේ වේග පන්දුවක් කඩුල්ලේ දැවටීමත් සමඟ පිටිය හැර යන්නට සිදු විය. පන්දු 117ක් වැයවුණු දික්වැල්ලගේ ඉනිමට හතරේ පහර 9ක් සහ එක් හයේ පහරක් ඇතුළත් විය.

අවසානයේ දිමුත් කරුණාරත්නට සහ නිරෝෂන් දික්වැල්ලට ලබාගත නොහැකි වූ ශතකය තමන් නමින් ලියා ගන්නට ශ්‍රී ලංකා නායකයාට අවස්ථාව උදා විය. එය සාමාන්‍යය ශතකයකටත් වඩා එහා ගිය විශිෂ්ට ශතකයක් බවට පත්වූයේ තම කණ්ඩායමේ කඩුලු 3ක් ලකුණු 61ක් තුල දී බිඳ වැටුණු මොහොතේ පටන්, ශ්‍රී ලංකා ඉනිම ලකුණු 419ක් දක්වා සාඩම්බර ලෙස නිමාවන තුරුම දිනේෂ් චන්දිමාල් පිටියේ එක් අන්තයක් ආරක්ෂා කර ගනිමින් රැඳී සිටීම හේතුවෙනි. උත්සාහය, දක්ෂතාව සහ අධිෂ්ඨානය එකසේ කැටිවුණු චන්දිමාල්ගේ නොදැවුණු ඉනිම ලකුණු 155ක්  ලෙස දැක්විණ. එහි දී පන්දු 372කට මුහුණ දෙමින් හතරේ පහර 14ක් එල්ල කරන්නට ද ඔහු සමත්ව තිබුණි.

චන්දිමාල්ට ශතකය සහ ලකුණු 150 වාර්තා කර ගන්නට අනෙක් අන්තයේ සිටි දිල්රුවන් පෙරේරාගෙන් ද හිමි වූයේ නොමද සහයකි. තම නායකයා පියවරෙන් පියවර සාර්ථක ඉනිමක් ගොඩ නගද්දී දිල්රුවන් ද ලකුණු 33ක් රැස් කරමින් පාකිස්තානු පන්දු යවන්නන්ට අමතර හිසරදයක් බවට පත්විය. පන්දු 117ක් වැයවුණු ඔහුගේ දීර්ඝ ඉනිමට හතරේ පහර 2ක් සහ එක් හයේ පහරක් ඇතුළත් විය. වැදගත්ම සිදුවීම වන්නේ දිල්රුවන් තම නායකයා හා එක්ව සයවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 92ක සාර්ථක සබඳතාවයක් ගොඩ නැංවීමයි.

කෙසේ වෙතත් අවසන් පෙළ පිතිකරුවන්ගෙන් සැලකිය යුතු දායකත්වයක් හිමි නොවූ බැවින් ශ්‍රී ලංකා ඉනිම තේ විවේකයෙන් සුළු වේලාවකට අනතුරුව නිමා වූයේ ලකුණු 419ක් ලබා සිටිය දීයි. එහි දී අද දහවල දක්වාම කිසිදු කඩුල්ලක් දවාගෙන නොසිටි මොහොමඩ් අබ්බාස් සැනෙකින් කඩුලු තුනක් දවා ගනිමින් දස්කම් දැක්වීය. ඉනිම අවසානයේ පිට පිටම යැවූ පන්දු දෙකකින් ලක්ෂාන් සඳකැන් සහ නුවන් ප්‍රදීප් දවාගත් නිසා ඔහුට ශ්‍රී ලංකා දෙවැනි ඉනිමේ දී කඩුලු ත්‍රිත්වයක් දවා ගැනීමේ අවස්ථාව ද හිමිව තිබේ. කෙසේ වෙතත් මුල්පෙළ කඩුලු 3ක් බිඳ දැමූ යසීර් ෂා පාකිස්තානු කණ්ඩායමේ සාර්ථකම පන්දු යවන්නා ලෙස සැලකිය හැකිය.

දෙවැනි දිනය නිමාවීමට තවත් පන්දුවාර 23ක් ඉතිරිව තිබූ නිසා පාකිස්තානු කණ්ඩායමට ඒ සඳහා මුහුණ දීමට අද සන්ධ්‍යා කාලයේ දී සිදු විය. එහි දී ඉතාමත් සාර්ථක අන්දමින් නිදහසේ පිත්ත හැසිර වූ පාකිස්තානු කණ්ඩායම මේ වන විට කිසිවෙකු නොදැවී ලබා සිටින ලකුණු සංඛ්‍යාව 64කි. එහි දී ශ්‍රී ලංකා දඟපන්දු යවන්නන්ට පහර පිට පහර එල්ල කළ පාකිස්තානු ආරම්භක පිතිකරුවන් දෙදෙනා හෙට දිනයේ දැවැන්ත අභියෝගයක් බවට පත්වීමට ද ඉඩ ඇත. මීට වසර දෙකකට ඉහත දී ශ්‍රී ලංකාවට එරෙහිව අනර්ඝ ශතකයක් වාර්තා කරගත් ශාන් මසූඩ් නැවතත් එවන් වික්‍රමයක් සිදු කිරීමේ අරමුණින් මේ වන විට ලකුණු 30ක් ලබා සිටින අතර සමී අස්ලාම් ලකුණු 31ක් රැස් කරගෙන සිටියි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ගොඩනගන්න සංගා පෙරට

ක්‍රීඩා අමාත්‍යාංශය මඟින් ඉදිරි වසර දෙක තුළ ශ්‍රී ලංකා ක්‍රිකට් ගොඩනැංවීමට සකස් කර ඇති සැලසුමට අනුව, පස් දෙනෙකුගෙන්…

ඒ අනුව දෙවැනි දිනය නිමා වෙද්දී පාකිස්තානු කණ්ඩායම කඩුලු 10ම අතැතිව ශ්‍රී ලංකා ඉනිමට වඩා ලකුණු 355ක් පිටුපසින් පසුවේ. තරගය පැවැත්වෙන අබුඩාබි ක්‍රීඩාංගණය තවමත් පිතිකරුවන්ට වාසි සහගත වීම නිසා ශ්‍රී ලංකාවට ටෙස්ට් ජයක් ගැන සිතීමට නම් තෙවැනි දිනයේ ක්‍රීඩා කරන ආකාරය ඉතාමත් තීරණාත්මක වනු ඇත. එහිදී දිනය ආරම්භයේ දී ප්‍රදීප් සහ ලක්මාල් අඩු තරමේ කඩුලු දෙකක් හෝ බිඳ දැමීම ඉතාමත් වැදගත් වනු ඇත. එවිට වැඩි දඟ කැවීමක් ඇති සඳකැන්ට සහ පළපුරුද්ද සහිත හේරත්ට පාකිස්තානු මැදපෙළට තර්ජනයක් එල්ල කිරීමේ අවස්ථාව උදා වේ. ජය පැරදුම දෙපසට දෝලනය වෙමින් මේ දක්වා ගලාගිය තරගයේ හෙට දිනය, අවසන් ප්‍රතිඵලය ගැන ඉඟි ලැබෙන වැදගත්ම දිනය බවට පරිවර්තනය වනු ඇත.

ශ්‍රී ලංකාව – සියල්ලන්ම දැවී ලකුණු 419 (පන්දුවාර 154.5): දිනේෂ් චන්දිමාල් 155*, දිමුත් කරුණාරත්න 93, නිරෝෂන් දික්වැල්ල 83, දිල්රුවන් පෙරේරා 33, මොහොමඩ් අබ්බාස් 3/75, යසීර් ෂා 3/120, හසන් අලි 2/88.

පාකිස්තානය – කිසිවෙකු නොදැවී ලකුණු 64 (පන්දුවාර 23): ශාන් මසූඩ් 30*, සමී අස්ලාම් 31*.

 තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න –ක්‍රිකට් ක්‍රීඩා පිටුවට