රිනවුන් කණ්ඩායම කැලණිය පාපන්දු ක්‍රීඩා සංකීර්ණයේ  පැවති තරගයේ දී ඉතා අගනා ජයග්‍රහණයක් ගුවන් හමුදා කණ්ඩායමට එරෙහිව වාර්තා කිරීමට සමත් විය. ජොබ් මයිකල් සහ මොහොමඩ් උස්මාන්ගේ කැපී පෙනෙන දක්ෂතා නිසාවෙන් ඔවුන්ට තරගය ගෝල 2-0ක් ලෙස  ජය ගැනීමට හැකි විය.

තරග සති 3ක්; කණ්ඩායම් 3ක්

2016/17 ඩයලොග් ශූරයන්ගේ පාපන්දු කුසලානයේ සුපිරි 8 දෙනාගේ තරග සමයේ 4 වන සතිය ද නිමාව දකිමින් කණ්ඩායම් තුනක් පමණක් මේ වන විට ශුරතාවයේ බලාපොරොත්තු ඇතිව තරගාවලියේ රැදී සිටියි..

රිනවුන් කණ්ඩායම අද (11) කැලණිය පාපන්දු ක්‍රීඩා සංකීර්ණයේ  පැවති තරගයේ දී ඉතා වෙහෙසකර ජයග්‍රහණයක් ගුවන් හමුදා කණ්ඩායමට එරෙහිව වාර්තා කිරීමට සමත් වීමෙන්,  ඩයලොග් ශූරයන්ගේ  කුසලාන පාපන්දු තරගාවලියේ ශූරතාවය සඳහා යන මාවතේ තවදුරටත්  ඉදිරියට යාමට හැකි විය. පළමු අර්ධයේ දී එල්ල වුනු ගෝල 2ත් සමඟ තරගය මර්දනය කල රිනවුන් කණ්ඩායමට, තම ශූරතා සිහිනය තව දුරටත් ජීවමාන කර ගැනීමට හැකි විය.

ආරම්භක සංඥාවේ අවසරයෙන් ක්‍රීඩකයෝ තරගය ආරම්භ කල අතර පළමු අර්ධයේ ප්‍රථම භාගයේ දී ගුවන් හමුදා කණ්ඩායම අන්ත දෙකෙන්ම ප්‍රහාර එල්ල කරමින් රිනවුන්  ආරක්ෂක ක්‍රීඩකයින් පීඩනයට ලක් කල අතර නුවන් වෙල්ගමගේ දැරූ උත්සාහයන් මෙහි දී කැපී පෙනෙන්නට විය.

ප්‍රතිප්‍රහාරකාරී ක්‍රීඩා විලාශයකින් ක්‍රීඩා කළ රිනවුන්  කණ්ඩායම තම ගෝල සිහිනය යථාර්ථයක් බවට පත්කර ගත්තේ මොහොමඩ් ෆසාල් විසින් 34’ වන මිනිත්තුවේ දී ලබා ගත් දර්ශනීය ගෝලයත් සමඟිනි.

යළි 45′ වන මිනිත්තුවේ දී  මොහොමඩ් ෆසාල්  වෙතින් යොමු කෙරුණු පන්දුවට ක්‍රියාත්මක වූ ජොබ් මයිකල් විසින්  එල්ල කල අගනා පහරත් සමඟ තම කණ්ඩායමේ ලකුණු පරතරය දෙගුණ කරන්නට ඔහුට හැකි විය.

ප්‍රථම අර්ධය: රිනවුන් ක්‍රීඩා සමාජය 02 – 00 ගුවන් හමුදා ක්‍රීඩා සමාජය

පළමු අර්ධයේ දී රැස් කළ ගෝල 2ක නිසාවෙන් දෙවැනි අර්ධය සඳහා රිනවුන්  කාණ්ඩායම පිටියට පිවිසියේ දැඩි අධිෂ්ඨානයකිනි. රිෆ්නාස්,රහුමාන් හා ෆසාල්  වෙතින් මනා ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කෙරුනත්  ඔවුන්ගේ අපේක්ෂාවන් සඵල කර ගැනීමට ගුවන් හමුදා ක්‍රීඩකයින් ඉඩ තැබුවේ නැත.

මේ  හේතුවෙන් තරගය දැඩි තරගකාරි බවක් ගැනුණු අතර දෙවන අර්ධයේ පමණක් කාඩ්පත් නිකුත් කිරීම් 4ක් වාර්තා විය. රිනවුන් කණ්ඩායමේ ආරක්ෂක ක්‍රීඩක උස්මාන් විසින් ගුවන් හමුදා කණ්ඩායමට ලැබුණු ගෝල වාර්තා කිරීමේ අවස්ථා කිහිපයක්ම වැළැක්විය.

කණ්ඩායම් දෙකටම ලැබුණු අවස්ථාවන් කිහිපයක් නිසි අයුරින් සාර්ථක කර ගැනීමට දෙපිලෙහිම ක්‍රීඩකයින් සමත් නොවූ අතර තරගය අවසාන වන තෙක් කිසිදු ගෝලයක් ඉන්පසුව වාර්තා වූයේ නැත.

අවසන් ලකුණු තත්වය: රිනවුන් ක්‍රීඩා සමාජය 02 – 00 ගුවන් හමුදා ක්‍රීඩා සමාජය

ThePapare.com තරගයේ වීරයා: මොහොමඩ් උස්මාන් (රිනවුන් කණ්ඩායම)

තරගයෙන් පසුව ThePapare.com සමඟින් අදහස් දැක්වූ ජයග්‍රාහී කණ්ඩායමේ පුහුණුකරු මොහොමඩ් අමනුල්ලා

අද තරගයට අපි වෙනස්ම ශෛලියකින් තමයි අවතීර්ණ වුනේ. අපි බලාපොරොත්තු වුන ආකාරයකටම ගුවන් හමුදා කණ්ඩායමට එරෙහිව අනුවර්තනය වෙන්න අපිට පුළුවන් වුනා.”

ගුවන් හමුදා සමාජයේ පුහුණුකරු සම්පත් පෙරේරා  ThePapare.com සමඟින් පවසා සිටියේ;

පළමු අර්ධය තරමක් හොඳින් අපි ක්‍රීඩා කලත් අපි අතින් වැරදි සිදු වුනා. අපිට ශූරතාවය සඳහා අවස්ථාවක් දැන් නැහැ. ඒත් ඊළඟ අවස්ථාවේ දී අපි හොඳින් ක්‍රීඩා කරන්න බලාපොරොත්තු වෙනවා.”

ගෝල ලබා ගත් ක්‍රීඩකයින්:

  • රිනවුන් කණ්ඩායම – මොහොමඩ් ෆසාල් 34’, ජොබ් මයිකල් 45′

කහ කාඩ්පත්

රිනවුන් – ෆසුල් රහුමාන් 33′, දිමුතු ප්‍රියදර්ශන 50′, මොහොමඩ් උස්මාන්  78, හකීම් කමිල් 83′.

ගුවන් හමුදාව – හර්ෂ ප්‍රනාන්දු 37′,  කවිඳු ඉෂාන් 72′

  තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට