ශ්‍රී ලංකාවෙන් සරසවි කුසලානය ගිලිහෙයි; ශූරතාවය දකුණු අප්‍රිකාවට!

1797

මෙවර “Red Bull සරසවි ලෝක කුසලානය” සිය රටට ගෙන යාමට අද (16) දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායම සමත් විය. ඒ අද ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති අවසන් මහා තරගය කඩුලු 7කින් ජය ගනිමිනි. ඒ අනුව ගියවර ශූරයින් ලෙස තරගාවලියට එක්වුණු ශ්‍රී ලංකාවට මෙවර අනුශූරතාවයෙන් සෑහීමකට පත් වන්නට සිදු විය.

චාමික සහ සුපේෂල තරගය කණපිට හරවයි; සිංහයින් අවසන් තරගයට!

ලොව පුරා විසිරී පැතිරී තිබෙන සරසවි රැසක් එක මිටකට එකතු කර ගනිමින් පැවැත්වෙන “Red Bull සරසවි ලෝක කුසලාන” විස්සයි විස්ස..

අද උදෑසන සරසවි කුසලානයට හිමිකම් කීම සඳහා තීරණාත්මක සාධකයක් බවට පත්විය හැකි කාසියේ වාසිය ජය ගැනීමට සමත් වූයේ දකුණු අප්‍රිකානු කණ්ඩායමයි. ඒ අනුව දෙවරක් නොසිතාම ශ්‍රී ලංකා පිළ පන්දුවට පහර දීමට යොමු කරවමින් පීඩනයක් එල්ල කිරීමට ඔවුන් තීරණය කළහ. තම නායකයාගේ අභිප්‍රායන් එලෙසින්ම ඉටුකොට දුන් දකුණු අප්‍රිකානු පන්දු යවන්නන් ඉතාමත් දක්ෂ ආකාරයෙන් පන්දුව හසුරුවමින් ශ්‍රී ලංකා මුල්පෙළට දැඩි තර්ජනයක් එල්ල කිරීමට සමත් වූහ. එහි ප්‍රතිඵලයක් ලෙස කණ්ඩායම ගොඩ ගැනීමට සිටි මුල් පෙළ පිතිකරුවන් අතරින් තිදෙනකුම අද දැවී ගියේ ලකුණු නොලබායි.

ඊයේ දිනයේ පැවති අවසන් පූර්ව තරගය අතරතුරදීත් මේ අයුරින්ම ශ්‍රී ලංකා පිළේ මුල්පෙළ කඩුලු 4ක් ලකුණු 14ක් තුල දී බිඳ වැටුනත් එය මැනවින් කළමනාකරණය කර ගන්නට ශ්‍රී ලංකා පිතිකරුවන් සමත් වූහ. නමුත් අද දිනයේ එවන් වාසනාවක් ශ්‍රී ලංකා පිළ සමඟ නොතිබූ නිසා කිසිදු සාර්ථක සබඳතාවයක් ගොඩ නගා ගැනීමට පිතිකරුවන් සමත් වූයේ නැත. මුල් පෙළ ක්‍රීඩකයින් අතරින් යම් තරමකට හෝ සාර්ථක වූයේ ලකුණු 24ක් රැස් කර ගත් මනෝජ් සරත්චන්ද්‍ර සහ ලකුණු 21ක් ලබාගත් දිනුක් වික්‍රමනායක පමණි.

අවසානයේ ලකුණු 100කටත් අඩුවෙන් සීමා වන්නට තිබූ ශ්‍රී ලංකා ඉනිම ලකුණු 121ක් දක්වා ගෙන යන්නට චාමික කරුණාරත්න රැස් කර ගත් ලකුණු 29 හේතු විය. ඔහුගේ කෙටි සටන්කාමී ඉනිමට හතරේ පහර 3ක් ඇතුළත් විය. අවසන් පෙළ පිතිකරුවෙකු ලෙස තමන්ට හැකි පමණින් පිතිකරණයේ යෙදුණු කොෂාන් ජයවික්‍රම ලකුණු 12යි. සුපිරි පන්දු යැවීමක යෙදුණු දකුණත් වේග පන්දු යවන ක්‍රීඩක ජුලියන් සවුටර් තණතිල්ලේ සහය උපරිමයෙන් උකහා ගනිමින් ලකුණු 16කට කඩුලු 3ක් බිඳ හෙලීය. ශ්‍රී ලංකා පිළේ අවසන් කඩුලු කිහිපය ඉතාමත් ඉක්මනින් බිඳ දැමීමට දකුණත් පා දඟ පන්දු යවන ක්‍රීඩක ඩිලන් මැතිව්ස් සමත් විය. ඒ ලකුණු 22කට කඩුලු 3ක් දවා ගනිමිනි.

ඒ අනුව දකුණු අප්‍රිකානුවන්ට සරසවි කුසලානයේ පහස විඳ ගැනීමට අවශ්‍ය වූයේ ලකුණු 122ක් තරම් සුළු ලකුණු සංඛ්‍යාවක් පමණි. එහි දී ඔවුන්ගේ ප්‍රථම කඩුල්ල ලකුණු 10ක් තුල දී බිඳ වැටුණ ද, ඉනිම ස්ථාවරව පවත්වා ගැනීමට ඔවුන්ගේ මුල්පෙළ පිතිකරුවන්ට අපහසු වූයේ නැත. තම කණ්ඩායමට ඉතාමත් පහසුවෙන් ජයග්‍රාහී ඉලක්කය කරා යාමට මාවත විවර කළ ජැන්මන් මාලන් නොදැවී ලකුණු 64ක් රැස් කරමින් එහි නියමුවා බවට පත්විය. ඒ හතරේ පහර 7ක් සහ හයේ පහර 2ක් සමඟිනි. ඔහුට අනගි සහයක් ලබා දුන් මාකස් ඇකර්මන් ලකුණු 23යි.

ඇකර්මන්ගේ දැවී යාමෙන් අනතුරුව මැදපෙළ පිතිකරුවෙකු ලෙස පිටියට පිවිසි රුවාන් හාස්බ්‍රෝක් නොදැවී ලකුණු 20ක් රැස් කරමින් දකුණු අප්‍රිකානු පිළේ ජය තහවුරු කළේය. පන්දු යැවීමේ දී දකුණත් දඟපන්දු යවන ක්‍රීඩක කොෂාන් ජයවික්‍රම කඩුලු 2ක් දවාගත් අතර ගෙශාන් විමලධර්ම ඉනිමේ බිඳ වැටුණු අනෙක් කඩුල්ල දවා ගැනීමට සමත් විය. නමුත් මේ කිසිවකින් ශ්‍රී ලංකා පිළේ අඩු ලකුණු ප්‍රමාණය ආරක්ෂා කර ගැනීමට නම් හැකි වූයේ නැත. තරගයේ වීරයා සම්මානය හිමි වූයේ පන්දුවෙන් සුපිරි දස්කම් දක්වමින් කඩුලු 3ක් දවාගත් ජුලියන් සවුටර්ටයි.

ඒ අනුව සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 7කින් පරාජය කළ දකුණු අප්‍රිකාව මෙවර සරසවි ලෝක කුසලානයේ සාඩම්බර හිමිකරුවන් බවට පත්වූහ. කෙසේ වෙතත් ලොව ප්‍රමුඛ පෙළ ක්‍රිකට් ක්‍රීඩා කරන රටවල් රැසක් හමුවේ කැපී පෙනෙන දක්ෂතා දක්වමින් ශ්‍රී ලංකා පිළ තරගාවලියේ ආ ගමන් ඉතාමත් ප්‍රශංසනීය විය. දකුණු අප්‍රිකානු ක්‍රීඩකයින් දෙපළක් වන ජැන්මන් මාලන් (ලකුණු 259) සහ ඩිලන් මැතිව්ස් (කඩුලු 12) මෙවර තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා සහ වැඩිම කඩුලු ලාභියා බවට පත්වූහ.

ශ්‍රී ලංකාව – සියල්ලන්ම දැවී ලකුණු 121 (පන්දුවාර 18.4): චාමික කරුණාරත්න 29, මනෝජ් සරත්චන්ද්‍ර 24, දිනුක් වික්‍රමනායක 21, කොෂාන් ජයවික්‍රම 12, මිශේන් සිල්වා 8, ජුලියන් සවුටර් 3/16, ඩිලන් මැතිව්ස් 3/22, නීල් ඩුරෝ 1/14.

දකුණු අප්‍රිකාව – කඩුලු 3ක් දැවී ලකුණු 122 (පන්දුවාර 15.2): ජැන්මන් මාලන් 64*, මාකස් ඇකර්මන් 23, රුවාන් හාස්බ්‍රෝක් 20*, කොෂාන් ජයවික්‍රම 2/31, ගෙශාන් විමලධර්ම 1/16.

 තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න –ක්‍රිකට් ක්‍රීඩා පිටුවට