සති කිහිපයක් පුරාවට ක්‍රියාත්මක වූ “Redbull විශ්ව විද්‍යාල ක්‍රිකට් තරගාවලියේ” අවසන් මහා තරගය අද (22) කොළඹ පී. සරා ඕවල් පිටියේ දී නිමාවට පත්විය. සේජිස් විශ්ව විද්‍යාලය පරාජයට පත්කරමින් කඩුලු 9ක ජයග්‍රහණයක් ලබාගත් BMS කණ්ඩායම මෙවර ශූරතාවයත් සියතට ගන්නට සමත් විය.

තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ BMS කණ්ඩායම් නායක දිනුක් වික්‍රමනායක පළමුව පන්දු රැකීමට තීරණය කරන ලදි.

BMS හා සේජිස් අවසන් සටනට

Redbull ආයතනය මගින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන “Redbull විශ්ව විද්‍යාල ක්‍රිකට් තරගාවලියේ” අවසන් පූර්ව තරග අද (21) ක්‍රියාත්මක වූ අතර..

පළමුව ලකුණු පුවරුව ක්‍රියාත්මක කිරීම ආරම්භ කළ සේජිස් කණ්ඩායමට ඊයේ (21) තරගයේ දී මෙන් දැවැන්ත ලකුණක් වෙත යාමට BMS පන්දු යවන්නන් ඉඩ දුන්නේ නැත. ශෙහාන් ප්‍රනාන්දු ඔවුන්ගේ කණ්ඩායමේ පළමු කඩුල්ල ලෙස ලකුණු 8කට දැවී ගිය පසුව මෙම තරගය තුල ඔවුන්ගේ ඉනිමේ දී ගොඩනැංවූ ඉහළම සබඳතාවය ගොඩනැංවීමට නිපුන ගමගේ හා අනූෂ පෙරේරා සමත් විය. එම සබඳතාවය ලකුණු 23කට සීමා කරන්නට කොශාන් ජයවික්‍රමට හැකි විය.

එම ඉනිමේ දී දෙවන කඩුල්ල ලෙස දැවී ගිය අනූෂ 4 පහර 2ක් හා එක් 6 පහරක් සමඟින් ලකුණු 20ක් ලබා ගත්තේය. අනූෂට අමතරව සැලකිය යුතු මට්ටමේ ලකුණු ප්‍රමාණයක් ලබා ගැනීමට නිපුන හා චතුරංග කුමාර සමත් වූයේ, පිළිවෙළින් ලකුණු 19ක් හා ලකුණු 17ක් ලබාගෙනයි.

අවසානයේ සේජිස් කණ්ඩායමට සියල්ලන්ම දැවී රැස්කර ගැනීමට හැකි වූයේ ලකුණු 100ක් පමණි.

දක්ෂ ලෙස පන්දු යවමින් සේජිස් ඉනිම සුනුවිසුනු කළ ජනිත් ලියනගේ ලකුණු 7ක් පමණක් ලබා දී කඩුලු 3ක් දවා ගැනීමට සමත් විය.

ලකුණු 101ක පහසු ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි BMS කණ්ඩායමේ පළමු කඩුල්ල සඳහා ලකුණු 66ක සාර්ථක සබඳතාවයක් ගොඩනැංවීමට ගෙශාන් විමලධර්ම හා හශාන් දුමිඳු සමත් විය. එහි දී පළමු කඩුල්ල ලෙස දැවී ගිය ගෙශාන් පන්දු 25කට ලකුණු 46ක් රැස්කර ගන්නා ලදි. එම ඉනිම 4 පහර හා 6 පහර 4කින් වර්ණවත් විය.

එතැන් සිට තම කණ්ඩායම ජයග්‍රහණය කරා මෙහෙයවීමට හශාන් හා සධීර සමරවික්‍රම සමත් විය. පන්දුවාර 10යි පන්දු 4ක් පමණක් වැය කරමින් එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 105ක් ලබාගෙන BMS කණ්ඩායම ජයග්‍රහණය තහවුරු කර ගත් අතර, එහි දී නොදැවී ක්‍රීඩා කළ හශාන් හා සධීර පිළිවෙළින් ලකුණු 29*ක් හා ලකුණු 17*ක් රැස්කර ගන්නා ලදි.

ඒ අනුව BMS කණ්ඩායම නැවත වරක් Redbull විශ්ව විද්‍යාල ක්‍රිකට් තරගාවලියේ ලෝක මට්ටමේ තරගාවලිය නියෝජනය කිරීමට සුදුසුකම් ලබාගත් අතර, පසුගිය වර්ෂයේ දී ජාත්‍යන්තර මට්ටමින් පැවැත්වූ එම තරගාවලියේ ද ශූරතාවය ජයග්‍රහණය කළේ BMS කණ්ඩායමයි.  

සේජිස් විශ්ව විද්‍යාලය – සියල්ලන්ම දැවී 100 (පන්දුවාර 17): අනූෂ පෙරේරා 20, නිපුන ගමගේ 19, චතුරංග කුමාර 17, ජනිත් ලියනගේ 3/07, වනිඳු හසරංග 2/10, ගෙශාන් විමළධර්ම 2/12.

BMS – එක් කඩුල්ලක් දැවී 105 (පන්දුවාර 10.4): ගෙශාන් විමලධර්ම 46, හශාන් දුමිඳු 29*, සධීර සමරවික්‍රම 17*, චරිත් ප්‍රනාන්දු 1/11.

 තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න –ක්‍රිකට්  ක්‍රීඩා පිටුවට