රෙඩ් ස්ටාර්ස්; ප්‍රතික්‍ෂේප වීමේ සිට ශූරතාවය දක්වා

307

රෙඩ් ස්ටාර්ස් පාපන්දු සමාජය වර්නන් ප්‍රනාන්දු ක්‍රීඩාංගණයේ දී රත්නම් ක්‍රීඩා සමාජය පරාජයට පත්කිරීමත් සමඟ ප්‍රිමියර් ලීග් පළමු කාණ්ඩයේ ශූරතාවය දිනා ගනිමින් ‘Dialog’ ශූරයින්ගේ කුසලාන තරගාවලිය සඳහා උසස් වීමක් ලබා ගන්නට සමත් විය.

පසුගිය 2015 සහ 2016 තරග වාර දෙකේ දී ම එම උසස් වීම ලබා ගැනීමට ඉතා ආසන්නයට පැමිණි ඔවුන් මෙවර තරග වාරය සඳහා පිවිසියේ කෙසේ හෝ එය ලබා ගැනීමේ අරමුණිනි.

“අපිට පසුගිය අවුරුදු දෙකේ දී ම ඒ අවස්ථාව මඟ හැරුණා. මේ වසරේ අපේ ඉලක්කය වුනේ ශූරතාවය දිනා ගන්න එක.” රෙඩ් ස්ටාර්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු මොහොමඩ් රමීස් ThePapare.com සමඟ අදහස් දක්වමින් පැවසීය.

ක්‍රීඩා සමාජයේ කළමනාකාරිත්වය මට විශාල අභියෝගයක් ලබා දුන්නා. ඒ අපි මෙවර ශූරතාවය දිනා ගන්න හෝ ශූරයින්ගේ කුසලානයට සුදුසුකම් ලබන්න අසමත් වුනොත් ඔවුන් ක්‍රීඩා සමාජය ඉවත් කර ගන්නවා කියන එක. ඒ නිසා මම මෙවර තරග වාරය ආරම්භ කළේ ලොකු පීඩනයක් එක්ක.” තරග වාරය ආරම්භ වීමටත් ප්‍රථම ඔහුට එල්ල වූ පීඩනය පිළිබඳව අදහස් දක්වමින් රමීස් පැවසීය.

ඒ අනුව රෙඩ් ස්ටාර්ස් ක්‍රීඩකයින් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩල ක්‍රීඩා සමාජය (SLTB SC) කණ්ඩායමට එරෙහිව ගෝල 2-0ක ජයග්‍රහණයක් වාර්තා කර ගනිමින් මෙවර තරග වාරය ආරම්භ කළ අතර ඔවුන්ට එහි දී මුහුණ දීමට සිදු වූ අපහසුම තරගයක් වූ ශූරතාවයට තරග කරනු ලැබූ තවත් ක්‍රීඩා සමාජයක් වූ සෙරන්ඩිබ් පාපන්දු සමාජ කණ්ඩායම සමඟ පැවති තරගය දැඩි උත්සාහයකින් අනතුරුව ජය-පරාජයෙන් තොරව අවසන් කර ගන්නට ඔවුන් සමත් විය.

එහි දී දෙවැනි අර්ධයේ දී ඔවුන් ගෝල 0-2ක් වශයෙන් පසුපසින් සිටි නමුත් සෙරන්ඩිබ් FC නායක මොහොමඩ් රාජ් ෂෙරෝන් හට රතු කාඩ්පතක් නිකුත් වීමත් සමඟ ඔවුන් තරගයට අවතීර්ණ වන්නට සමත් වූ අතර ඒ අනුව තරගය අවසානයේ ගෝල 2-2ක් වශයෙන් තරගය ජය-පරාජයෙන් තොරව අවසන් කර ගන්නට ඔවුන් සමත් විය.  

එම තරගය ඔවුන්ගේ ආරම්භක දිනවලට සමාන තරගයක් විය. ඒ ඔවුන්ගේ ගමන ආරම්භ වන්නටත් පෙර එය අවසන් වන්නට ඉඩ තිබූ බැවිනි. ඔවුන්ට ඔවුන්ගේම පාපන්දු ලීග් තරගාවලිය සඳහා පිවිසීමට අවස්ථාවක් නොලැබුණු නමුත් වෙනත් ලීග් තරගාවලියක් තුළින් වසර 7කට පසුව ඔවුන් ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ප්‍රමුඛතම පාපන්දු තරගාවලිය වන ‘Dialog’ ශූරයින්ගේ කුසලාන තරගාවලිය සඳහා සුදුසුකම් ලබා ගන්නට සමත් වී ඇත.

බේරුවල නගරය කේන්ද්‍ර කර ගනිමින් 2010 වසරේ දී රෙඩ් ස්ටාර්ස් පාපන්දු සමාජය ආරම්භ වූයේ බේරුවල පාපන්දු ලීගය අනුබද්ධ කර ගනිමිනි. කෙසේ නමුත් ඒ වන විට බේරුවල පාපන්දු සමාජයේ සභාපතිවරයා සහ රෙඩ් ස්ටාර්ස් පාපන්දු සමාජය අතර පැවති මතභේදාත්මක තත්වය හේතුවෙන් ඔවුන්ට එම ලීග් තරගාවලිය සඳහා ඇතුළත් වීමට අවස්ථාවක් ලැබුණේ නැත.

ඔවුන්ගේම ලීග් තරගාවලියෙන් ප්‍රතික්‍ෂේප වීමෙන් අනතුරුව ඔවුන්ට අවස්ථාවක් හිමි වුනේ ඊට කී. මී. 45ක් උතුරෙන් පිහිටා තිබූ දෙහිවල-ගල්කිස්ස පාපන්දු ලීගයේ ය. එම වසරේ දී තරගාවලිය අනුශූරතාවය දිනා ගන්නට සමත් වූ ඔවුන් එහි දී ප්‍රිමියර් ලීග් දෙවන කාණ්ඩයේ තරගාවලිය සඳහා සුදුසුකම් ලබා ගන්නට සමත් විය. එහි දී 2011 සහ 2012/13 තරග වාරවල දී එතරම් දක්‍ෂතා දැක්වීමට ඔවුන් අපොහොසත් වූ අතර 2014 වසරේ දී එහි අනුශූරතාවය දිනාගත් ඔවුන් ප්‍රිමියර් ලීග් පළමු කාණ්ඩයේ තරගාවලිය දක්වා උසස් වීමක් ලබා ගන්නට සමත් විය.

ඒ අනුව පළමු කාණ්ඩයේ තරගාවලියේ පළමු වසරේ දී ම එහි අවසන් පූර්ව තරගය දක්වා පැමිණෙන්නට ඔවුන් සමත් වූ අතර ඊළඟ තරග වාරයේ දී ද ඒ දක්වාම පැමිණි ඔවුන් අදිටන් කර ගත්තේ මෙම තරග වාරයේ දී එතනින් නොනැවතී ඉදිරියට යාමටයි.

ඒ අනුව පළමු වටයේ දී රෙඩ් ස්ටාර්ස් කණ්ඩායම තරග 5ක් ජයග්‍රහණය කරමින්, තරග 2ක් ජය-පරාජයෙන් තොරව අවසන් කර ගන්නට සමත් වූ අතර ඔවුන් පරාජයට පත්වුනේ එක් තරගයක් පමණි. ඒ අනුව පළමු වටයේ අවසන් තරගය ඔවුන් පරාජයට පත්වුවත් ඒ වන විටත් ඔවුන් සුපිරි 6 දෙනාගේ වටයේ සිය ස්ථානය තහවුරු කරගෙන තිබුණි. කෙසේ නමුත් එම පරාජය ඔවුන්ට අමිහිරි අත්දැකීමක් විය.

එම තරගය රත්නම් SC කණ්ඩායම සමඟ පැවති අතර රත්නම් ක්‍රීඩකයින් හට සුපිරි 6 දෙනාගේ වටයේ සිය ස්ථානය තහවුරු කර ගැනීමට නම් ඔවුන් එම තරගය ජයග්‍රහණය කිරීම අනිවාර්ය විය. කෙසේ නමුත් එහි දී රෙඩ් ස්ටාර්ස් ක්‍රීඩකයින් තරගයේ ආරම්භක මිනිත්තු කිහිපයේ දී විශිෂ්ට දස්කම් ප්‍රදර්ශනය කරමින් පළමු මිනිත්තු 15ක් තුළ ගෝල 3-0ක් ලෙස තරගයේ ඉදිරියෙන් රැඳෙන්නට සමත් විය. කෙසේ නමුත් ඉන් අනතුරුව සිදු වූයේ අදහාගත නොහැකි දෙයකි. තරගයේ පළමු අර්ධය අවසන් වන විට ලකුණු තත්වය සමකර ගන්නට රත්නම් ක්‍රීඩකයින් සමත් වූ අතර දෙවැනි අර්ධයේ මැද භාගය වන විට ඔවුන් ගෝල 3-6ක් ලෙස තරගයේ ඉදිරියට පැමිණෙන්නට ද සමත් විය. අනතුරුව තරගයේ අවසන් මිනිත්තු කිහිපයේ දී ගෝල 2ක් වාර්තා කර ගන්නට රෙඩ් ස්ටාර්ස් ක්‍රීඩකයින් සමත් වුවත් තරගය ජයග්‍රහණය කිරීම සඳහා එය ප්‍රමාණවත් වූයේ නැත.

“ගෝල 5-6ක් ලෙස රත්නම් කණ්ඩායම සමඟ අපි පැරදුණ තරගයේ පළමු මිනිත්තු 15 අවසන් වන විට අපි ගෝල 3-0ක් වශයෙන් ඉදිරියෙන් පසු වුනා. තරගය අවසන් වෙන්න කලින් ක්‍රීඩකයින් සමරන්න පටන් ගත්ත එක නිසා අන්තිමට අපි තරගය පරාජයට පත්වුනා. අපි කරපු වැරදි නිසා ඔවුන් ගෝල 6ක් වාර්තා කර ගත්තා. අපි අන්තිමට ගෝල 2ක් වාර්තා කර ගත්තත් එය ප්‍රමාණවත් වුනේ නැහැ.” එම තරගය පිළිබඳව අදහස් දක්වමින් රමීස් පැවසීය.

පළමු වටයේ තරග ප්‍රතිඵල

  • රෙඩ් ස්ටාර්ස් FC 2 – 0 SLTB SC (Home)
  • රෙඩ් ස්ටාර්ස් FC 2 – 2 සෙරන්ඩිබ් FC (Home)
  • රෙඩ් ස්ටාර්ස් FC 2 – 1 සිවිල් ආරක්ෂක ක්‍රීඩා සමාජය (Home)
  • රෙඩ් ස්ටාර්ස් FC 1 – 1 හයිලයින් ක්‍රීඩා සමාජය (Away)
  • රෙඩ් ස්ටාර්ස් FC 1 – 0 බඩෝවිට එක්සත් (Away)
  • රෙඩ් ස්ටාර්ස් FC – 1 ආදි මැසිනෝදියන් ක්‍රීඩා සමාජය (Away)
  • රෙඩ් ස්ටාර්ස් FC – 2 සාන්ත මරියා ක්‍රීඩා සමාජය (Home)
  • රෙඩ් ස්ටාර්ස් FC – 6 රත්නම් ක්‍රීඩා සමාජය (Away)

Group B – Points Table

රත්නම් SC කණ්ඩායම සමඟ පැවති තරගය පරාජයට පත්වීමෙන් අනතුරුව රමීස් ප්‍රබල ප්‍රකාශයක් කරමින් පවසා ඇත්තේ;

“සුපිරි 6 දෙනාගේ වටයට පැමිණෙද්දී මම අපේ කළමනාකාරිත්වයට පවසා සිටියා තරග 4කින් මම ශූරතාවය ගේනවා කියලා. මට ඒක කරන්න පුළුවන් වුනා.”

එහි දී ඔවුන්ගේ පළමු අභියෝගය වූයේ සිය නාවලපිටිය ජයතිලක ක්‍රීඩාංගණයේ දී පැවති සෙරන්ඩිබ් FC කණ්ඩායම සමඟ පැවති තරගය යි. එහි දී ඔවුන් ගෝල 1-0ක ජයග්‍රහණයක් වාර්තා කර ගන්නට සමත් විය. අනතුරුව කොම්රේඩ්ස් SC කණ්ඩායමත්, ඊළඟ සතියේ දී ගම්පොළ දී රෙඩ් සන් SC කණ්ඩායමත් ගෝල 3-0ක් වශයෙන් පරාජයට පත්කරන්නට ඔවුන් සමත් විය.

එම තරග 3ම ජයග්‍රහණය කරමින් ශූරතාවය කරා ගිය ගමනේ දී ඔවුන්ට මීළඟට මුණ ගැසුණේ රත්නම් පාපන්දු කණ්ඩායම යි. මෙම තරගයේ දී විශිෂ්ට දක්‍ෂතා ප්‍රදර්ශනය කළ ඔවුන් තරගයේ මිනිත්තු 90 පුරාවටම සිය අවධානය රඳවා ගනිමින් ගෝල 6-0ක විශිෂ්ට ජයග්‍රහණයක් වාර්තා කර ගන්නට සමත් විය.

“පළමු වටයේ රත්නම් කණ්ඩායම සමඟ පැවති තරගය අපි මුදලට පාවා දුන්නා කියලා කතාවක් පැතිර ගිය නිසා මෙම තරගය ජයග්‍රහණය කරන්න අපේ ක්‍රීඩකයෝ දැඩි අධිෂ්ඨානයකින් සිටියේ” රමීස් ක්‍රීඩකයින් සතුව එම තරගයට තිබූ අධිෂ්ඨානය පිළිබඳව අදහස් දක්වමින් පැවසීය.

අනතුරුව රෙඩ් ස්ටාර්ස් ක්‍රීඩකයින් තිහාරිය යූත් කණ්ඩායම ගෝල 5-2ක් ලෙස පරාජයට පත්කරමින් සුපිරි 6 දෙනාගේ වටය අපරාජිතව අවසන් කරන්නට සමත් විය. තරගාවලිය තුළ ගෝල 20කට අධික සංඛ්‍යාවක් වාර්තා කළ පීටර් සිල්වේනස්, මොහොමඩ් රහුමාන් සහ නායක ඉඩෝවූ හමීඩ් තරගාවලිය පුරාවට ඉහළ දස්කම් දක්වමින් සිය කණ්ඩායම ශූරතාවය කරා රැගෙන යන්නට සමත් විය.

“කළමණාකාරීත්වය සහ ක්‍රීඩකයින් ඔවුන්ගේ උපරිමය ලබා දුන්නා. මගේ ඉලක්කය වුනේ කණ්ඩායම ශූරයින්ගේ කුසලානයට රැගෙන යන එක. මම ශූරයින්ගේ කුසලානය වසර 19ක් ක්‍රීඩා කළා. මම තවමත් ක්‍රීඩා කරන අතරතුර තවත් කණ්ඩායමක් එතැනට රැගෙන යන්න ලැබීම මට ලොකු ආඩම්බරයක්. මට හොඳ කණ්ඩායමක් සිටිනවා. නමුත් ශූරයින්ගේ කුසලාන තරගාවලිය සඳහා තව ක්‍රීඩකයින් 2-3ක් ඕන වෙයි.” අවසාන වශයෙන් අදහස් දක්වමින් රමීස් පවසා සිටියේ ය.  

 >> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<