අයන සිරිවර්ධනගේ උත්සාහය අපතේ යයි

95

ලෝක උසස් අධ්‍යාපන ආයතන අතරේ වාර්ෂිකව පැවැත්වෙන Red Bull Campus Cricket විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ගමන පාකිස්තානය හමුවේ අද (02) අවසන් විය. ඒ ඩුබායි හී ජාත්‍යන්තර ක්‍රිකට් ඇකඩමි පිටියේ දී පැවති තරගයේ දී පාකිස්තානය වෙතින් ලකුණු 9කින් පරාජයකට පත් වීමත් සමඟිනි. 

දකුණු අප්‍රිකානුවන්ගේ ප්‍රබල ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවේ සැර තරමක් බාල වේ

2019 Red Bull විශ්ව විද්‍යාලයීය ලෝක මට්ටමේ ක්‍රිකට් තරගාවලියේ පළමු Play-Off තරගය අද (1) ශ්‍රී ලංකාව…………….

Play Off 3 යටතේ පැවති මෙම තරගයේ දී පළමුවෙන් පන්දුවට පහර දුන් පාකිස්තානය කඩුලු 9ක් දැවී ලකුණු 187ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට ලබා ගත හැකි වූයේ කඩුලු 8ක් දැවී ලකුණු 178ක් පමණි. 

ශ්‍රී ලංකා ඉනිම ගොඩ ගැනීම වෙනුවෙන් 20 හැවිරිදි දකුණත් පිතිකරු අයන සිරිවර්ධන තනි අශ්වයෙක්ගේ ගමනක් ගිය ද, ඔහුට අපේක්ෂිත ඉලක්කය කරා යෑමට පාකිස්තාන ක්‍රීඩකයෝ ඉඩ තැබුවේ නැත. කෙසේ වෙතත් පාකිස්තාන ඉනිමේ දී ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ අතිරේක ලකුණු 30ක් ලබා නොදුන්නේ නම් මේ තරගයේ තීරණය මීට වඩා වෙනස් වෙන්නට ඉඩ තිබුණි. ලබා දුන් අතිරේක ලකුණු අතරට Penalty ලකුණු 9ක් සහ Wide පන්දු ලකුණු 11ක්ම ඇතුළත් වීම කැපී පෙණුනි.

තරගාවලිය සඳහා ඉන්දියාව, බංග්ලාදේශය, පාකිස්තානය, දකුණු අප්‍රිකාව, එංගලන්තය, ශ්‍රී ලංකාව සමඟ සත්කාරක එක්සත් අරාබි එමීර් රාජ්‍යය යන රටවල් සහභාගී විය. 

මෙම තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු ප්‍රතිවාදීන් වූයේ පාකිස්තානය ය. ඔවුන්ට එරෙහිව ශ්‍රී ලංකාව කඩුලු 7ක ජයග්‍රහණයක් ලබා ගත්තේය. අනතුරුව එක්සත් අරාබි එමීර් රාජ්‍යයට එරෙහිව ලකුණු 66ක ජයග්‍රහණයක් ලැබූ ඔවුන් දකුණු අප්‍රිකාව වෙතින් ලකුණු 41ක පරාජයක් ලැබූහ. 

කාසියේ වාසිය දිනා ගත් පාකිස්තාන නායකයාගේ අදහස වූයේ පළමුවෙන් පන්දුවට පහර දීම යෝග්‍ය බවයි. ඒ අනුව පාකිස්තාන ඉනිම ආරම්භ කළේ ඉක්බාල් සහ ශාෂාර් හසන් ය. ඔවුන් පළමු කඩුල්ලට ලකුණු 35ක් වාර්තා කළහ. පළමු කඩුල්ල ලෙසින් ශාෂාර් හසන් පන්දු 11ක දී හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 26ක් ලබා ගත්තේය. අනතුරුව යැවුණ 14 වැනි පන්දුවේ දී අනෙක් ආරම්භක පිතිකරු කෂීෆ් ඉක්බාල් (11) ද දැවී ගියේය. 

කවික ඩිල්ශාන්ගෙන් විශිෂ්ට දස්කම්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන Major Club Emerging League ක්‍රිකට් තරගාවලියේ මූලික………………..

ඉනිමේ තෙවැනි කඩුල්ල වෙනුවෙන් අබ්දුල් රේහ්මන් ෂහීර් සහ අබ්දුර් රේහ්මන් එක්ව ලකුණු 40ක සබඳතාවක් ගොඩ නැගුවේ ඉනිමේ හොඳම කඩුලු සබඳතාව වාර්තා කරමිනි. එම කඩුල්ලේ සබඳතාව නිමා කරමින් අබ්දුල් රේහ්මන් ෂහීර් පන්දු 16කට මුහුණ දී හතරේ පහර 2ක් සමඟින් ලකුණු 18ක් ලබා සිටිය දී දැවී ගියේය. 

ඉනිම වැඩිම ලකුණු ලාභියා වූ අබ්දුර් රේහ්මන් පන්දු 23කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 34ක් ලබා ගත්තේය. අනතුරුව ඉනිමේ කැපී පෙණෙන ඉනිම් ක්‍රීඩා කළේ මහමූඩ් අලි සහ හම්සා කදීර් ය. මහමුඩ් අලි පන්දු 16කට මුහුණ දී හතරේ පහරක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 23ක් ලබා ගත් අතර හම්සා කදීර් ඉනිම අවසන් වන විට පන්දු 13කට මුහුණ දී හතරේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 20ක් ලබා සිටියේය. 

මුහම්මද් අසාද් පන්දු 10කට මුහුණ දී හයේ පහර 2ක් සමඟින් ලකුණු 15ක් ලබා ගනිද්දී මුහම්මද් අරුසලන් (2), නායක මෝෂම් මලික් (6), මුහම්මද් සයිෆුල්ලා (2) සහ ශෙරාස් හුසේයින් (නොදැවී 0) අඩු ලකුණුවලට තම ඉනිම් සීමා කර ගත්හ. 

පන්දු යැවීමේ දී ආරම්භක වේගපන්දු යවන ජනිත් ලියනගේ ලකුණු 25කට කඩුලු 3ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කිරීමට සමත් විය. මහීෂ තීක්ෂණ ද ලකුණු 39කට කඩුලු 3ක් දවා ගත් අතර ශෙහාන් සඳරුවන් සහ සහන් නානායක්කාර ද කඩුල්ල බැගින් දවා ගත්හ.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ ආරම්භක කඩුල්ල දෙවැනි පන්දුවාරයේ අවසන් පන්දුවේ දී නිමා කිරීමට පාකිස්තාන ක්‍රීඩකයෝ සමත් වූහ. විශ්ව චතුරංග (6) කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව දැවී යන විට ලකුණු තත්ත්වය වූයේ 14කි. අනතුරුව යැවුණ පන්දුවාරයේ 5 වැනි පන්දුවේ දී ජනිත් ලියනගේ තමන් මුහුණ දුන් පළමු පන්දුවේ දී ම නැවත ක්‍රීඩාගාරය වෙත හරවා යැවීමට පාකිස්තාන ක්‍රීඩකයෝ සමත් වූයේ ඔහුට එකඳු ලකුණක් හෝ ලබා නොදෙමිනි. ඒ වෙද්දී ශ්‍රී ලංකා ඉනිම කියැවුණේ කඩුලු 2කට ලකුණු 27ක් ලෙසින්ය.

වෝනර් වීරයා කරමින් ඕස්ට්‍රේලියානු සංචාරය අවසන් වෙයි!

ඕස්ට්‍රේලියාවේ වාසය කරන ක්‍රිකට් ක්‍රීඩාවට ලැදි ශ්‍රී ලාංකිකයන් දහස් ගණනකගේ සහයෝගය මධ්‍යයේ…………..

ඉනිමේ තෙවැනි කඩුල්ල ලෙසින් ආරම්භක පිතිකරු ලහිරු මිලන්ත පන්දු 15කට මුහුණ දී හතරේ පහර 4ක් සමගින් ලකුණු 22ක් ලබා සිටිය දී දැවී ගියේය. ඒ ශ්‍රී ලංකා ඉනිම ලකුණු 41 නතරව තිබිය දී ය. සිව්වැනි කඩුල්ල ලෙසින් ලකුණු පුවරුව 48ක් වෙද්දී රවින් සේයර් (6) ද දැවී ගියේය. 

ඉන් අනතුරුව පිටියට පිවිසි අයන සිරිවර්ධන වඩාත් ප්‍රවේගකාරී එහෙත් ආරක්ෂා සහිතව තම ඉනිම ආරම්භ කළ ද අනෙක් පිතිකරුවන්ගෙන් ඔහුට ලැබුණේ අඩු දායකත්වයකි. එහි දී නායක සාලින්ද උෂාන් (13), හිමාෂ ලියනගේ (3), ශෙහාන් සඳරුවන් (2), චමීර දිසානායක (6) අඩු ලකුණුවලට තම ඉනිම් පාකිස්තානය වෙත පූජා කළහ. 

ශ්‍රී ලංකා ඉනිම අවසන් වෙන විට අයන සිරිවර්ධන පන්දු 47කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සහ හයේ පහර 4ක් සමඟින් නොදැවී ලකුණු 88ක් ලබා සිටියේය. අනෙක් අන්තයේ නොදැවී සිටි මහීෂ තීක්ෂණ ලබා සිටි ලකුණු සංඛ්‍යාව 8කි. 

කඩුලු ලබා ගැනීමේ දී මහමූඩ් අලි ලකුණු 26කට කඩුලු 3ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළ අතර ඊට අමතරව මුහම්මද් සයිෆුල්ලා කඩුලු 2ක් දවා ගත්තේය. 

පාකිස්තානය; කඩුලු 9ක් දැවී 187 (20): ශාෂාර් හසන් 26, අබ්දුර් රෙහ්මන් 34, මහ්මූඩ් අලි 23, හම්සා කදීර් නොදැවී 20, ජනිත් ලියනගේ 3/25, මහීෂ් තීක්ෂණ 3/39

ශ්‍රී ලංකාව; කඩුලු 8ක් දැවී 178 (20): ලහිරු මිලන්ත 22, අයන සිරිවර්ධන නොදැවී 88, මුහමද් සයිෆුල්ලා 2/31, මහ්මූද් අලි 3/26

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<