දකුණු අප්‍රිකානුවන්ගේ ප්‍රබල ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවේ සැර තරමක් බාල වේ

84

2019 Red Bull විශ්ව විද්‍යාලයීය ලෝක මට්ටමේ ක්‍රිකට් තරගාවලියේ පළමු Play-Off තරගය අද (1) ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතර ඩුබායි ඇකඩමි ක්‍රිකට් පිටියේ දී පැවැත්වූ අතර එම තරගයෙන් ලකුණු 41ක ජයක් ලබා ගත් දකුණු අප්‍රිකාව තරගාවලියේ අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගන්නා ලදි.

ICBT ක්‍රීඩකයෝ Red Bull සටනේ අපරාජිතව පෙරමුණට

2019 Red Bull විශ්ව විද්‍යාලයීය ක්‍රිකට් තරගාවලියේ ලෝක මට්ටමේ අවසන් තරගාවලිය සඳහා…

ශ්‍රී ලංකාව (ICBT) හා දකුණු අප්‍රිකාව යන කණ්ඩායම් දෙකම පළමු Play-Off තරගය සඳහා සුදුසුකම් ලබා ගත්තේ තරගාවලියේ මූලික වටයේ ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානය දිනා ගෙනයි.

කාසියේ වාසිය දිනා ගත් දකුණු අප්‍රිකාව පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ අතර ඔවුන් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 3ක් දැවී ලකුණු 220ක දැවැන්ත ලකුණු ප්‍රමාණයක් රැස් කරන ලදි.

දකුණු අප්‍රිකානු ආරම්භක පිතිකරුවන් ලෙස පිටියට පැමිණි ජිවිෂෙන් පිල්ලෙයි හා ෆ්‍රැන්සිස්කෝ හීඩ්න් හට ගොඩනැංවීමට හැකි වූයේ ලකුණු 26ක සබඳතාවයක් පමණි. ලකුණු 9ක් ලබා සිටි හීඩ්න් දැවී යාමට පසුව දකුණු අප්‍රිකානු ඉනිම සවිමත් කළ පිල්ලෙයි පන්දු 64ක දී ලකුණු 109*ක් ලබා ගනිමින් දැවැන්ත පිතිකරණයක නිරත විය. ඔහුගේ ඉනිම සඳහා 4 පහර 10ක් හා 6 පහර 6ක් ඇතුළත් විය.

ශ්‍රී ලංකා පන්දු යවන්න හමුවේ දකුණු අප්‍රිකානු මැදපෙළ තරමක් අස්ථාවර වුවත් රුවාන් ඩී ස්වාර්ට් දියත් කළ වේගවත් පිතිකරණය නිසා එම අස්ථාවරත්වයෙන් තරමක් දුරට මිදීමට ඔවුන්ට හැකිවිණි. ස්වාර්ට් 4 පහර 2ක් හා 6 පහර 4ක් එල්ල කරමින් 206.67කට ආසන්න දැවැන්ත ප්‍රහාරාත්මක වේගයක් රඳවා ගෙන එම ලකුණු 62ක රැස් කිරීම සඳහා වැය කරන පන්දු 30ක් පමණි.

පන්දු යැවීමේ දී ජනිත් ලියනගේ, මහීෂ තීක්ෂණ හා ශෙහාන් සඳරුවන් අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියේය.  

ලකුණු 221ක දැවැන්ත ලකුණක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමේ ද ආරම්භය සාර්ථක ආරම්භයක් නොවූ නමුත් ලහිරු මිලන්ත හා එක්වූ දකුණතින් පිතිකරණයේ නිරත වන ජනිත් ලියනගේ දෙවන කඩුල්ල සඳහා ලකුණු 61ක සබඳතාවයක් ගොඩනංවමින් ශ්‍රී ලංකා ඉනිම යම් ස්ථාවර මට්ටමකට රැගෙන ඒමට සමත් විය. 

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නැවතත් පාකිස්තානයට?

මේ වසර අවසානයේ ICC ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවට සමගාමීව පැවැත්වීමට නියමිත…

කෙසේ නමුත් ගියෝඩ්න් පීටර්සන් හා ශෝන් ගිල්සන් ශ්‍රී ලංකා මැදපෙළ කඩුලු කිහිපයක් ඉතාමත් අඩු ලකුණු ප්‍රමාණයක් තුල දවා ගැනීම නිසා තරගයේ වැඩි වාසිය තරමක් දුරට දකුණු අප්‍රිකානුවන් සතු වූවත්, හිමාෂ ලියනගේ දියත් කළ වේගවත් පිතිකරණය නිසා තරගයේ උණුසුම් බව තරමක් ඉහළ ගියේය. පන්දු 26ක් තුල වාර්තා වූ ලියනගේගේ එම ඉනිම සඳහා එක් 4 පහරක් හා 6 පහර 5ක් ඇතුළත් විය.  

අවසානයේ ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 221ක ඉලක්කය හඹා යාම සඳහා ප්‍රමාණවත් තරම් පන්දු ප්‍රමාණයක් හෝ කඩුලු ප්‍රමාණයක් අතැතිව නොතිබූ නිසා ලකුණු 41කින් තරගය පරාජයට පත් වීමට සිදු විය. ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ මිලන්ත 4 පහර 6ක් හා 6 පහර 3ක් සමඟින් ලකුණු 53ක් වාර්තා කර ගත්තේ පන්දු 28ක් තුලයි.

ශ්‍රී ලංකාව මේ තරගය පරාජය වූ නමුත් අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකාවට තවත් අවස්ථාවක් ඉතිරිව තිබේ. ඒ අනුව ඉන්දියාව හා පාකිස්තානය අතර අද සවස පැවැත්වෙන දෙවන Play-Off තරගය ජය ගන්නා කණ්ඩායම සමඟ ශ්‍රී ලංකාව හෙට (2) උදෑසන තෙවැනි Play-Off තරගය සඳහා ක්‍රීඩා කරනු ඇත. තෙවැනි Play-Off තරගය ජය ගන්නා කණ්ඩායම හෙට සවස දකුණු අප්‍රිකාව සමඟ අවසන් මහා තරගය ක්‍රීඩා කරනු ඇත. මේ තරග සියල්ලම අබුඩාබි හිදී පැවැත්වේ.

තරගාවලියේ සියලුම තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානමින් සිටියි. රැඳී සිටින්න ThePapare.com සමඟින්.

දකුණු අප්‍රිකාව – 220/3 (20): ජිවිශෙන් පිල්ලෙයි 109*, රුවාන් ඩී ස්වාර්ට් 62.

ශ්‍රී ලංකාව – 179 (19.3): ලහිරු මිලන්ත 53, හිමාෂ ලියනගේ 50, ශෝන් ගිල්සන් 3/27, ජියෝඩ්න් පීටර්ස් 3/31.

 >> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<