ලහිරු හා හශාන් තවත් දැවැන්ත ජයකට මඟ පාදයි

1618
Red Bull University Cricket Sri Lanka v UAE

Red Bull විශ්ව විද්‍යාල ක්‍රිකට් තරගාවලියේ අද (11) ශ්‍රී ලංකාව හා එක්සත් අරාබි එමීර් රාජ්‍ය අතර පැවැත්වූ තරගයෙන් ශ්‍රී ලංකාව (BMS) කඩුලු 8ක දැවැන්ත ජයග්‍රහණයක් ලබා ගැනීමට සමත් විය. තරගය කොළඹ පී. සරා ඕවල් පිටියේ දී පැවැත්විය.

මෙම තරගය ද Red Bull විශ්ව විද්‍යාල ක්‍රිකට් තරගාවලියේ ලෝක මට්ටමේ අවසන් තරගාවලියේ තරගයක් විය.

ශ්‍රී ලංකාව බංග්ලාදේශය පරාජයට පත්කරමින් ද, එක්සත් අරාබි එමීර් කණ්ඩායම සිම්බාබ්වේ කණ්ඩායම පරාජයට පත්කරමින් ද, අද පැවැත්වූ තරගය සඳහා සහභාගී විය.

ශ්‍රී ලංකා කණ්ඩායමට සාර්ථක ආරම්භයක්

“Red Bull විශ්ව විද්‍යාල ක්‍රිකට් තරගාවලියේ” ලෝක මට්ටමේ අවසන් තරගාවලිය අද (10) ආරම්භ වූ…

එක්සත් අරාබි එමීර් කණ්ඩායම වෙනුවෙන් පළමු කඩුල්ලට ලකුණු 32ක සබඳතාවයක් ගොඩනැංවීමට නබීල් කාශ්මීරි හා මොහොමඩ් නයෙල් සමත් වූයේ, ඔවුන්ගේ කණ්ඩායමට යම් සවිමත් අඩිතාලමක් ද සකසමිනි.

එහි දී පළමු කඩුල්ල ලෙස පිටියෙන් ඉවත්වූ කාශ්මීරි, පන්දු 20කට මුහුණ දෙමින් 4 පහර 2ක් සමඟින් ලකුණු 20ක් වාර්තා කළේය. ඔවුන්ගේ ලකුණු පුවරුවට තවත් ලකුණු 33ක් එක්වූ පසුව එතෙක් වේලාවක් ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට හිසරදයක් වූ මොහොමඩ් නයෙල් ලකුණු 31කට ක්‍රීඩාගාරයට හරවා යැවීමට අමිල අපෝන්සු සමත් වූයේ, ඔහු වෙතම ආ පන්දුවක් සුරැකිව රැක ගනිමිනි. ඔහුගේ ඉනිමට 6 පහර 2ක් ඇතුළත් විය.

ඉමෑඩ් මුස්තාක් එක්සත් අරාබි එමීර් ඉනිමේ වේගවත්ම පිතිකරු බවට පත්වෙමින් පන්දු 16ක් තුල 4 පහර 3ක් හා එක් 6 පහරක් සමඟින් ලකුණු 24ක් ලබා ගත්තේ, ඔවුන්ගේ ඉනිම ලකුණු 99ක් දක්වා ඔසවා තබමිනි. ඔහු විකුම් සංජයගේ පන්දුවකට මනෝජ් සරත්චන්ද්‍රගේ සුරතට උඩපන්දුවක් ලබා දෙමින් දැවී ගියේය.

රෝහිත් ජම්වාල් හා සයිඩ් ෆයිසාන් ඔවුන්ගේ ඉනිමේ අවසන් පන්දුව දක්වාම කඩුල්ල රැකගෙන ක්‍රීඩා කරන ලදි. අවසානයේ ඔවුන්ගේ ඉනිම ලකුණු 133කට සීමා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි විය. රෝහිත් ජම්වාල් පන්දු 40ක් තුළ ලකුණු 30ක් ලබා ගත්තේ, 4 පහර 2ක් ද වාර්තා කර ගනිමිනි. ඉනිමේ අවසන් පන්දුවේ දී දුවද්දී දැවී ගිය සයිඩ් ෆයිසාන් ලකුණු 10ක් රැස්කර ගත්තේය.

පන්දු යැවීමේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් අක්තාබ් කාඩර්, අමිල අපෝන්සු හා විකුම් සංජය එක් කඩුල්ල බැගින් දවා ගන්නා ලදි.

ලකුණු 134ක ඉලක්කයක් හඹා යාමට පිටියට පැමිණි ශ්‍රී ලංකා ආරම්භ පිතිකරුවන් යුගලය, ඉනිමේ පළමු පන්දුවේ සිටම වේගවත් පිතිකරණයකට මාන බැලූ අතර, එහි දී ගේශාන් විමලධර්ම එක් 6 පහරක් හා එක් 4 පහරක් සමඟින් ලකුණු 11ක් ලබාගෙන සිටිය දී, මුකීත් බට්ගේ පන්දුවකට දැවී යන ලදි. එම ලකුණු 11 ලබා ගැනීමට ගේශාන් වැය කළේ පන්දු 5ක් පමණි.

ලකුණු 22ක් වන විට එක් කඩුල්ලක් බිඳ වැටී තිබූ මොහොතේ පිටියට පැමිණි වමත් පිතිකරු ලහිරු මිලන්ත හා එක්වූ හශාන් දුමිඳු, ශ්‍රී ලංකා ඉනිමට නව ජවයක් මුසු කරමින් ලකුණු ලබා ගැනීම තව තවත් වේගවත් කරන ලදි.

එහි දී ලහිරු පන්දු 30ක දී වේගවත්ව ලකුණු 47ක් ලබාගෙන ඔහුගේ අර්ධ ශතකය පෙනෙන මානයේ තිබිය දී අවාසනාවන්ත ලෙස දැවී යන ලදි. ඔහුගේ ඉනිම 4 පහර 6කින් හා 6 පහර 2කින් වර්ණවත් විය.

ඔහුට නොමඳ සහයක් දුන් දුමිඳු නොදැවී ලකුණු 40*ක් ලබා ගත්තේ පන්දු 30ක් පමණක් වැය කරමිනි. එම ඉනිමට 4 පහර 2ක් හා එක් 6 පහරක් ඇතුළත් විය. අවසානයේ ඔහු සමඟින් එක්ව ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගිය මනෝජ් සරත්චන්ද්‍ර නොදැවී ලකුණු 23*ක් ලබා ගත්තේ පන්දු 16ක් තුලයි.

පන්දු යැවීමේ දී රොනක් කහන්දෙල්වාල් හා මුකීත් බට් එක් කඩුල්ල බැඟින් දවා ගන්නා ලදි.

එක්සත් අරාබි එමීර් රාජ්‍ය – 133/4 (20): මොහොමඩ් නයෙල් 31, රොහිත් ජම්වාල් 30*, ඉමෑඩ් මුස්තාක් 24, අක්තාබ්  කාඩර් 1/13, අමිල අපෝන්සු 1/17, විකුම් සංජය 1/27.

ශ්‍රී ලංකාව – 134/2 (13.3):  ලහිරු මිලන්ත 47, හශාන් දුමිඳු 40*,  මනෝජ් සරත්චන්ද්‍ර 23*, රොනක් කහන්දෙල්වාල් 1/29, මුකීත් බට් 1/30.

තරගයේ වීරයා – ලහිරු මිලන්ත (ශ්‍රී ලංකාව – BMS )

මෙම තරගාවලියේ ඊයේ (10) පැවැත්වූ තරගවලින් පාකිස්තානය, එක්සත් අරාබි එමීර් හා දකුණු අප්‍රිකානු කණ්ඩායම් ජයග්‍රහණ ලබා ගන්නා ලදි.  ඔවුන් හමුවේ පිළිවෙළින් ඉන්දියාව, සිම්බාබ්වේ හා ඕස්ට්‍රේලියාව යන විශ්ව විද්‍යාලය කණ්ඩායම් පරාජයට පත්විය.

දැනට පවතින ප්‍රසාද ලකුණු පුවරුව (B කාණ්ඩයේ) අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට මෙම තරගාවලියේ අවසන් පූර්ව වටයට යාමට වැඩි ඉඩකඩක් ඇත.

මෙම තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම මූලික වටය නියෝජනය කරමින් ක්‍රීඩා කරනු ලබන අවසන් තරගය හෙට (12) සිම්බාබ්වේ කණ්ඩායම සමඟින් මෙම ක්‍රීඩා පිටියේ දී ම පැවැත්වේ. එම තරගය උදෑසන 9.30ට ආරම්භ වේ.

තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න –ක්‍රිකට් ක්‍රීඩා පිටුවට