රවී ශාස්ත්‍රි දුටු සිහිනය

1303

ඒ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තුන් වන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනයයි. දිල්ලි ගුවන වසා ගත් දූෂිත වාතය ආඝ්‍රාණය කළ ශ්‍රී ලංකා ක්‍රීඩකයන් අසනීප තත්ත්වයෙන් පිටියෙන් ඉවත්ව යද්දී  ‘උඹලට බැරි නම් අපි බෝල් කරන්නම්” යැයි පැවසූ විරාත් කෝලි තම පළමු ඉනිම අත්හිටුවා ශ්‍රී ලංකාවට පන්දුවට පහර දීමේ අවස්ථාව ලබා දුන්නේ ප්‍රධාන පුහුණුකරු රවී ශාස්ත්‍රි සමඟ කතා බහ කිරීමෙන් අනතුරුවයි. ශ්‍රී ලංකාව ඊට පිළිතුරු ලෙස දිල්රුවන් පෙරේරා ආරම්භක පිතිකරුවෙකු බවට පත් කරද්දී දිමුත් සහ ධනංජය අඩු ලකුණු සංඛ්‍යාවකට දවා ගැනීමට ඉන්දියාව සමත් විය.

කෝලි තම දඩබිමේ ගොදුරු සෙවීම ඉක්මන් කරයි

ඉන්දීය ශ්‍රී ලංකා තෙවැනි ටෙස්ට් තරගයේ පළමු දිනයේ දී සේ ම දෙවැනි දිනයේ දී ද තම දඩබිම තමන්ට රිසි අයුරින් චලනය කරවීමට ඉන්දීය ක්‍රීඩකයෝ අද (03) දිනයේ දී ද …

ශිඛර් ධවාන් ස්ලිප් කලාපයේ උඩ පන්දුවක් අත හැරියා පමණක් නොව එම පන්දුව කඩුලු රකින්නා පසුපස තිබූ ආරක්ෂක හිස් වැසුමේ වැදී දඬුවම් ලකුණු 5ක් ශ්‍රී ලංකාවට හිමිවෙද්දී ලොව හොඳම පන්දු රැකීමේ කණ්ඩායම ලෙස සැලකෙන ඉන්දියානු පුහුණුකරු රවී ශාස්ත්‍රි ළඟ තිබුණු පුටුවට ‘ට්‍රේසර් බුලට්’ එකක් වැනි පයින් පාරක් ගැසූවේ, ”ඊළඟට කැච් එක අත අරින එකා ඊළඟ තරගෙන් එළියේ ” කියා ගුගුරමිනි. අවාසනාවක මහත, ඊළඟ උඩ පන්දුව බිම දැමුවේ එළියෙන් තැබිය හැකි ක්‍රීඩකයෙක් නොවේ. විරාත් කෝලිගේ ද නෑදෑ පරපුර ද ආදරයෙන් මතක් කළ රවී ක්‍රීඩක විවේකාගාරයේ පසු පසට වන්නට තිබූ සොෆාවේ දිගෑදුනු අතර මද වේලාවකින් නිදි දෙව් දුව ඔහු කරා පැමිණියේ විනිසුරුවන් සමඟ සාකච්ඡා කිරීමට පිටියට දුවන්නට සිදු වූ බැවින් තරමක් මහන්සියෙන් ද සිටි බැවිනි.

මේ ඔහු දුටු සිහිනයයි,

ඒ තුන් වන ටෙස්ට් තරගයේ පළමු දින රාත්‍රිය විය. ලකුණු 371ක ඉනිමක් දෙස ආශාවෙන් බලා සිටි ශාස්ත්‍රි කණ්ඩායම නවාතැන් ගන්නා හෝටලයට පැමිණ උණුසුම් ජල ස්නානයකින් පසු හෝටල් ලොබිය හරහා ඇදුණේ රාත්‍රි ආහාරය සඳහා චපාතියක් ඇණවුම් කිරීමේ අරමුණ ඇතිවයි. හොරගල් අහුලමින් හෝටලයෙන් පිටතට යන නික් පෝතස්, අසංක ගුරුසිංහ සහ දිනේෂ් චන්දිමාල් දුටු ශාස්ත්‍රි චපාතිය අමතක කර ඔවුන් පසුපස ඇදුණේ දොස්තර වොට්සන් ගෙදර දමා පරීක්ෂණයකට යන ෂර්ලොක් හෝම්ස් මෙනි.

රැඩිසන් හෝටලයෙන් පිටතට පැමිණ කොන්නොට් වටරවුමෙන් කේ. ජී. පාරට හැරුණු තිදෙනා පසුපස ටික දුරක් ගිය ශාස්ත්‍රිට දැන ගන්නට ලැබුණේ තල තෙල් නොදැමූ කෑමක් කන්නට ඔවුන් චීන අවන්හලක් සොයා ඇදෙන බවයි. ‘කමක් නෑ ටිකක් පස්සෙන් ගිහින් බලනවා’ තමන්ටම කියා ගත් ශාස්ත්‍රි ශ්‍රී ලංකා ත්‍රිත්වය වෙත මොනර කනක් යොමු කළේය.

මුඛවාඩමක් බැඳගත් තරුණයන් කිහිප දෙනෙක් පාර මාරු වෙනු දුටු චන්දිමාල් ගුරුසිංහ ගෙන් ‘අර මොකද අයියේ’ කියා ඇසීය. ගුරුසිංහ ඊට ඉංග්‍රීසියෙන් උත්තර දුන්නේ පෝතස්ට නොතේරෙන බැවින් වුවත් එය ශාස්ත්‍රිට හොඳ අවස්ථාවක් විය.

‘මේ දිල්ලිය කියන්නේ ලෝකේ වායු දූෂණය අතින් ඉහළම නගරයක්. සමහර දවස්වලට මෙහේ හුස්ම ගන්නත් අමාරු වෙනවා. පහුගිය කාලේ රංජි ට්‍රෝෆි එකේ මැච් එකක් නවත්තන්නත් සිද්ධ වුනා.”

”සිරාවට?” පෝතස්ට කියවිණි. ”මම මේ හිත හිත හිටියේ මේ මැච් එකට මොකද කරන්නේ කියලා. ඉන්නකෝ මම කියන්න වැඩේ.” එසේ කියමින් පෝතස් ටේස්ට් ඔෆ් චයිනා අවන්හලට ගොඩ වැදුණේ චන්දිමාල්ව අතින් ඇදගෙන මෙනි. ශාස්ත්‍රි ද වට පිට බලා ඔවුන් අසුන්ගත් මේසය අසල පඳුරකට මුවා වී කතාවට කන දැමීය.

”මෙහෙමයි කරන්න තියෙන්නේ, හෙට අපේ කොල්ලන්ට කියන්න නහය වහගෙන පිට්ටනියට යන්න කියලා. වායු දූෂණය වුනාම සෙල්ලම් කරන්න අමාරුයි. ටිකක් වෙලා එහෙම ඉඳලා අසනීපයි වගේ එලියට එන්න කියමු. නැත්තම් මේ කෝලියා ගහන එක නවත්තන්න විදිහක් නැහැ. මූ දෙසීයේ දෙකක් ගැහුවොත් උඹලා ඉන්දියාවට 950 ගානක් ගහපු එකේ තියන වටිනාකමත් නැතුව යනවා.”

”ඊස් ඉට් එතිකල් ටු ඩූ සෝ” ගුරුසිංහ, පෝතස්ගෙන් ඇසුවේ කලින් තරගයේ දීත් දිල්රුවන් රිවීව් එක ලබාගත් විදිහ සදාචාර විරෝධී බවට ඉන්දියානුවන් චෝදනා කළ බවත් මතක් කරමින්.

පොරවෙන් කපනවා ද? නියපොත්තෙන් කඩනවා ද?

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම එදා සිටම වාර්තා තියන්නට සූරයෝ ය. හොඳ නරක කෙසේ වෙතත් ක්‍රිකට් වාර්තා පොත් බොහෝමයක ‘ශ්‍රී ලංකාව’ යන නාමය උඩින්ම ලියවී ඇත….

”ඇයි මතක නැද්ද අර රන්දීව් ෂෙවාග්ට සෙන්චරිය ගහන්න බැරි වෙන්න නෝ බෝල් එකක් දැම්මා. එතකොට දික්වැල්ල පළවෙනි මැච් එකේ කෝලිවයි ඉශාන්ත්වයි ගොනාට ඇන්දුවා. ඒවා හොඳයි ද?” පෝතස් කියද්දී ශාස්ත්‍රි අමාරුවෙන් කට වහගෙන හිටියේ තොලත් හපාගෙනයි.

”මෙහෙමයි ප්ලෑන් එක. www.aqicn.org කියලා වෙබ් සයිට් එකක් තියනවා. ඒක තමයි ලෝකේ වායු දූෂණය ගැන ඒ වෙලාවේම අප්ඩේට් වෙන සයිට් එක. ඉස්සර වෙලාම එකේ ඇඩ්මින්ට පගාවක් දීලා හෙට දිල්ලියේ වායු දූෂණය සෞඛ්‍යයට අහිතකරයි කියලා දම්මන්න ඕනේ. ඊට පස්සේ ඔය හරියානා ප්‍රාන්තේ ඉන්න ගොවියෝ ටිකක් අල්ලාගෙන පගාවක් දීලා කියන්න ඕනේ හෙට උදේට ඔය වගාවේ ඉතුරු වෙලා තියන වී පොතු වගේ දේවල් ගොඩ ගහලා ගිනි තියන්න කියලා. අද රෑ ම ගිහින් කොල්ලෝ ටික නැගිට්ටවලා උගන්නමු උගුරට ඇඟිල්ලක් ගහලා හරි ඕනේ වෙලාවට වමනේ දාන්න. එතකොට කරන්න තියෙන්නේ හෙට උදේට පිට්ටනියට මාස්ක් දාගෙන ගිහින් සැරෙන් සැරේ එක එක්කෙනාට එලියට ඇවිල්ල වමනේ දාන එකයි. එතකොට ඩේවිඩ් බූන් (තරග තීරක) කියයි මැච් එක නවත්තන්න කියලා.” පෝතස් තම සැලසුම් හෙළි කරද්දී ශාස්ත්‍රි තම සටහන් පොතේ සියල්ල ලියා ගන්නට සමත් විය.

චන්දිමාල් ”එහෙනම් ලන්ච් එක වෙනකල් ඉවසමු. අපේ කොල්ලෝ ට්‍රයි කරලා බැරි උනොත් ඔහොම කරමු” යැයි පැවසූ පසු, ටෝෆු සමඟින් චීන බතක් ගිල දැමූ පිරිස තෙල් පිච්චේන්නට චයිනීස් ටී එකකින් ද සප්පායම් වී නැවත හෝටලයට යද්දී කොට පාරකින් එහි ගිය රවී ලොබියට වී ඔවුන් යන තුරු බලා සිටියේ සමච්චල් හිනාවක් ද සමඟයි.

සිහිනයේ ඊළඟ දර්ශනය පසුදා ෆෙරෝස් – ශා – කොට්ලා ක්‍රීඩාංගණය වූ අතර ශ්‍රී ලංකා ක්‍රීඩකයන් දිවා ආහාරයෙන් පසු සැලසුම ක්‍රියාත්මක කළේ ක්‍රීඩාංගණය තුල සොයා ගැනීමට තිබූ එකම මුඛ ආවරණ වර්ගය වූ සාමාන්‍ය ‘සර්ජිකල් මාස්ක්‌’ පැළඳ පිටියට පිවිසෙමිනුයි. ලහිරු ගමගේ පිටිය මැද දෙකට නැමී ආරම්භ කළ රංගනය නිසා මිනිත්තු 17ක් අපතේ ගිය අතර ඒ කාලය තුල ලබා ගැනීමට තිබූ ලකුණු සියල්ල එක පන්දුවකින් රැස් කිරීමට ඉන්දියාවට සිදු වූ බවක් පෙන්වූ අශ්වින් නැවත තරගය ආරම්භ වී පළමු පන්දුවෙන්ම ගලී කලාපයට උඩ පන්දුවක් දෙමින් දැවී ගිය අතර මෙතෙක් වෙලා ඇස් පියාගෙන වුවත් හතරේ පහරක් ගසන්නට හැකිව තිබූ ආකාරයේ පන්දුවකට කෝලි ද ගොදුරු විය.

ජඩේජා පැමිණ හතරේ පහරක් ගැසූ පසු ශ්‍රී ලංකාව නැවතත් අසනීප රංගනය ආරම්භ කළ  අතර සුරංග ලක්මාල් ද ඉවතට යද්දී පන්දු රකින්නන් නොමැති තත්ත්වයට පත් වූ ශ්‍රී ලංකා කණ්ඩායම මනෝජ් අබේවික්‍රමට (පන්දු රැකීමේ පුහුණුකරු) සහ නික් ලී ට (භෞත චිකිත්සක) පන්දු රැකීම සඳහා පිටියට බහින්නට සූදානම් කර තිබුණි. ශ්‍රී ලංකාව වෙනුවෙන් විදේශිකයෙකු ක්‍රීඩා කරනවා දැකීමට අකමැති වූ කෝලි පිටිය දෙසට හැරී ”යහාන් වාපස් ආඕ” (ආපහු එන්න) කියා කෑ ගැසීය.

තමන්ගේ හිසට ඉහළින් බෙරිහන් දෙන්නේ කවුදැයි බැලීමට හිස එසවූ රවී ශාස්ත්‍රි අවදි වුනේ, සෝෆාවෙන් ඇද වැටීමෙන් ඇතිවූ කම්පනයක් ද සමඟයි. ඒ වන විට කඩුලු 3ක් දැවී ලකුණු 131ක් ලබා සිටි ශ්‍රී ලංකාව දිනය අවසන් කර නැවත ක්‍රීඩාගාරය දෙසට ඇදෙමින් සිටින ලදි.

”අරූ………න්” දනි පනි ගා නැගිටගත් ශාස්ත්‍රි කෑ ගැසුවේ ඉන්දීය කණ්ඩායමේ පන්දු යැවීමේ පුහුණුකරු බී. අරුන් හටයි. ”මට අද මාධ්‍ය හමුවට යන්න බැහැ. උඹ ගිහින් කියපන් ශ්‍රී ලංකාව මාස්ක් දාගෙන සෙල්ලම් කළේ කාලය විනාශ කරන්නයි කියලා.” ශාස්ත්‍රි පැවසීය

අරුන් පුදුමයෙන් මෙන් පිළිතුරු දුන්නේ මෙහෙමයි.” ඒ වුනාට ඇත්තටම අද වායු දූෂණ දර්ශකය 300යි නේ.”

”එහෙනම් අපේ කොල්ලෝ සෙල්ලම් කළේ” ශාස්ත්‍රි ගේ කට හඬ තියුණු විය.

”අපේ කොල්ලෝ මේ තත්ත්වෙට පුරුදුයි. එයාලා එන්නේ වායු දූෂණ දර්ශකය 50ක් තරම් අඩු රටකින්. අනික එයාලා සෙෂන් 4ක් ෆීල්ඩ් කරලා මහන්සියෙන් ඉන්නේ. දැක්කේ නැද්ද අපේ කොල්ලොත් උදේ මාස්ක් දාගෙන හිටියේ.” අරුන් සාධාරණ වීමට උත්සාහ කරන ලදි.

”මේ අරුන් ඔයා දන්නේ නැහැනේ. මේක ශ්‍රී ලංකාවේ ප්ලෑන් එකක්. මම ඊයේ රෑ අහගෙනයි හිටියේ එයාලා කතා වෙනවා. මම නේ  කියන්නේ. ඔයා ගිහිල්ලා ඔය මාධ්‍යවේදීන්ට කියන්න මම කියපු විදිහට.” ශාස්ත්‍රි අත හරියේ නැත.

අළුබඳුන මෙතරම් වටින්නේ ඇයි?

ලොව ශ්‍රේෂ්ඨතම ටෙස්ට් ක්‍රිකට් සටන ලෙස හැඳින්වෙන අළුබඳුන පුරාවෘත්තය වර්ෂ 1882 සිට පැවතෙන්නකි…

තම ප්‍රධානියාගේ අණට ඉහළින් යන්නට නොහැකි නිසා මාධ්‍ය සාකච්ඡාව පැවැත්වෙන කාමරයට යන්නට හැරුණු අරුන් ආපසු හැරුණේ එක් වරම මතකයට නැගුණු කරුණක් නිසයි. ”බැරි වෙලාවත් ඔය කාට හරි මතක තිබුනොත් ගිය අවුරුද්දේ හයිද්‍රාබාද් එක්ක දිල්ලි ටීම් එක ගහපු මැච් එකත් වායු දූෂණය නිසා නවත්තන්න සිද්ධ වුනා කියලා. මම කොහොමද නෑ කියන්නේ. මමනේ එතකොට හයිද්‍රාබාද් ටීම් එකේ කෝච්.”

” මේ, අරුන්. ඔය රංජි ට්‍රෝෆි එකේ වෙච්ච දේවල් කාටවත් මතක නැහැ. දැන් ගිහින් මම කියපු විදිහට කරන්න. බැරි නම් තව බෝලිං කෝච් ලා ඉන්නවා මේ රටේ.”

”මූ එක්ක කතා කරනවට වැඩිය හොඳයි රස්සාව බේරා ගන්න එක” කියා සිතූ අරුන් මාධ්‍ය සාකච්ඡාව පැවති කාමරය දෙසට පිය නගන්නට පටන් ගත්තේය.

ශාස්ත්‍රි ආපසු හැරී නිදා සිටි සෝෆාව දැක තමන් දුටුවේ සිහිනයක් බව සිහියට නගා ගන්නා විට බී. අරුන් තමන්ට පැවරුණු රාජකාරිය ඉටු කර අවසානය.

 >> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<