රාශිඩ්, තමීම් හා ශකිබ් ලෝක ක්‍රිකට් කණ්ඩායමට

351
Rashid, Tamim and Shakib

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ශ්‍රේණිගත කිරීම් අනුව ඉහළින්ම සිටින ඇෆ්ගනිස්තානයේ රාශිඩ් කාන් මෙන්ම බංගලාදේශයේ ශකිබ් අල් හසන් හා තමීම් ඉක්බාල් ලබන මස 31 වැනිදා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා ලෝක ක්‍රිකට් කණ්ඩායම (ICC Rest of the World XI) අතර පැවැත්වෙන ක්‍රිකට් තරගය සඳහා තරග වදිනු ලබන ලෝක ක්‍රිකට් කණ්ඩායම වෙත කැඳවා ඇත.

බටහිර ඉන්දීය කොදෙව් – ලෝක ක්‍රිකට් තරගය එංගලන්තයේ දී

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා ලෝක ක්‍රිකට් කණ්ඩායම (ICC Rest of the World XI) අතර…

රාශිඩ් කාන් හා ෂකිබ් අල් හසන් මේ වන විට පැවැත්වෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සන්රයිස්ස් හයිද්‍රාබාද් කණ්ඩායම නියෝජනය කරන අතර රාශිඩ් කාන් ලෝක විස්සයි විස්ස පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානයේ පසුවෙයි.

එසේම ෂකිබ් අල් හසන් ලොව දක්ෂතම විස්සයි විස්ස තුන් ඉරියව් ක්‍රීඩකයින් ශ්‍රේණිගත කිරීමේ තෙවන ස්ථානයේ පසුවෙයි. ඊට අමතරව වමතින් පිත්ත හසුරුවන ප්‍රහාරාත්මක පිතිකරුවෙකු වන බංගලාදේශයේ තමීම් ඉක්බාල් ද ලෝක ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කිරීමට කැමැත්ත ප්‍රකාශ කර ඇත.

එංගලන්තයේ‍ ලෝඩ්ස් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන මේ තරගය පැවැත්වීමේ ප්‍රධාන අරමුණ වන්නේ පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ දී ඉර්මා හා මරියා නම් සුළි කුනාටු නිසා හානි වූ කැරිබියානු ක්‍රිකට් ක්‍රීඩාංගණ නැවත ගොඩනැංවීම හා ප්‍රතිසංස්කරණය සඳහා අරමුදල් රැස් කිරීමයි. බටහිර ඉන්දීය ක්‍රිකට් පාලන අධිකාරිය විසින් මෙම විස්සයි – විස්ස ක්‍රිකට් තරගය සංවිධානය කරනු ලැබේ.

2009 වර්ෂයේ දී එංගලන්තයේ පැවති පළමු විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී ශූරතාවය දිනා ගත් පාකිස්තානු ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන ලද ශාහිඩ් අෆ්රිඩි, ශොයිබ් මලික් හා 2014 වර්ෂයේ දී ශ්‍රී ලංකාවට විස්සයි විස්ස ශූරතාවය දිනා දුන් ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ තිසර පෙරේරා පසුගිය දා ලෝක ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් තරග වැදීමට සිය කැමැත්ත පල කරන ලදි. එම තරගයේ දී ලෝක ක්‍රිකට් කණ්ඩායම මෙහෙයවනු ලබන්නේ එංගලන්ත සීමිත පන්දුවාර ක්‍රිකට් කණ්ඩායම් නායකයා වන ඉයන් මෝර්ගන් විසිනි.

තිසර පෙරේරා ලෝක ක්‍රිකට් කණ්ඩායමට කැඳවයි

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් සංවිධානය කරනු ලබන විස්සයි විස්ස ලෝක කුසලාන..

“කොදෙව් දේශය කියන්නේ ක්‍රිකට් ක්‍රීඩාවට වටිනා දක්ෂයින් දායාද කළ ක්‍රිකට් කණ්ඩායමක්. ඒ වගේ රටක ක්‍රීඩාංගණ මේ වගේ ස්වාභාවික විපතක් නිසා විනාශ වුන එක ගැන කනගාටුයි. ඒ ක්‍රීඩාංගණ ගොඩනැංවීම වෙනුවෙන් පවත්වනු ලබන මේ ක්‍රිකට් තරගයට මා හට සහභාගී වීමට හැකි වීම ලොකු සතුටක් මේ වෙලාවේ දී සහෝදර ක්‍රිකට් ක්‍රීඩකයින් එකිනෙකාට අත්වැල් බැඳ ගැනීම බටහිර ඉන්දීය ක්‍රිකට් පාලන අධිකාරියටත් ලොකු සවියක්.” යැයි රාශිඩ් කාන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය වෙත පවසා ඇත.

“ක්‍රිකට් ක්‍රීඩාව කියන්නේ සහෝදරත්වය ගොඩනැංවීමට හැකි ක්‍රීඩා ඉසව්වක්. මේ වෙලාවේ දී ක්‍රිකට් ක්‍රීඩා කරන අනෙකුත් ජාත්‍යන්තර ක්‍රිකට් කණ්ඩායම් වල සහය කොදෙව් ක්‍රිකට් පාලන අධිකාරියට අවශ්‍යම වෙලාවක්. මෙවන් වූ අගනා අරමුණක් සඳහා පැවැත්වෙන ක්‍රිකට් තරගයකට ලෝක ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කිරීමට මේ ලද අවස්ථාව මා ඉතාමත් කැමැත්තෙන් භාර ගන්නවා.” එහි දී අදහස් දැක්වූ තමීම් ඉක්බාල් පවසා ඇත.

මේ වන විට පැවැත්වෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ කිංග්ස් ඉලෙවන් පන්ජාබ් කණ්ඩායම නියෝජනය කරනු ලබන ක්‍රිස් ගේල්, කොල්කටා කණ්ඩායම නියෝජනය කරනු ලබන ඇන්ඩෘ රසල් හා මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම නියෝජනය කරනු ලබන එවින් ලුවිස් ඇතුළු ප්‍රබල ක්‍රීඩකයින් රැසක් ඇතුළත් කරමින් කොදෙව් කණ්ඩායම මෙම තරගයට ක්‍රීඩා කරනු ලබයි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<