කාර්තික් හා රාහුල් නිසා පාන්ට්ට හා රයිදුට ලෝක කුසලානය මඟ හැරේ

344

2019 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කරන ඉන්දීය සංචිතය එරට ක්‍රිකට් ආයතනය විසින් අද (15) මාධ්‍ය වෙත නිකුත් කළේය. 2019 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට නම් කළ තුන්වැනි ජාත්‍යන්තර ප්‍රබල ක්‍රිකට් කණ්ඩායම වන්නේ මෙයයි.

ඕස්ට්‍රේලියානු ලෝක කුසලාන සංචිතයට ප්‍රබලයින් කිහිප දෙනෙක් නැහැ

2019 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කරන ඕස්ට්‍රේලියානු එක්දින සංචිතය නිවේදනය කර…

සුපුරුදු පරිදි එළඹෙන ලෝක කුසලානයේ දී ඉන්දීය කණ්ඩායම මෙහෙය වීමේ වගකීම පැවරී ඇත්තේ නිත්‍ය නායක විරාත් කෝලි වෙතයි. කෙසේ වෙතත් ගෙවී ගිය වසරේ දී කැපී පෙනෙන දක්ෂතා දැක්වූ රිශාබ් පාන්ට්ට සහ අම්බති රයිදුට ලෝක කුසාලන සංචිතයේ ස්ථානයක් හිමිවී නොමැත.

ඔවුන් දෙදෙනා වෙනුවෙන් දිනේෂ් කාර්තික් සහ රවින්ද්‍ර ජඩේජාට ඉන්දීය ලෝක කුසලාන සංචිතයේ සිය ස්ථානය හිමිව තිබේ. විජේ ශංකර් ද ලෝක කුසලාන ඉන්දීය සංචිතයට ඇතුළත් වීම විශේෂත්වයකි.

එම් එස් කේ ප්‍රසාද්ගේ මූලිකත්වයෙන් සමන්විත ඉන්දීය ක්‍රිකට් තේරීම් කමිටුව අද උදෑසන ඉන්දීය ක්‍රිකට් ආයතන මූලස්ථානයේ දී නායක විරාත් කෝලිව මුණ ගැසීමෙන් පසුව මෙම අවසන් සංචිතය නිවේදනය කර තිබේ.

කෙසේ වෙතත් ඉන්දීය ක්‍රිකට් ආයතනයේ තේරීම් කමිටුව ඉන්දීය ලෝක කුසලාන සංචිතයේ අංක 4 පිතිකරුවා පිළිබඳව දැඩි ලෙස සැලකිලිමත් වූ බව විදෙස් මාධ්‍ය විසින් වාර්තා කරන අතර දිනේෂ් කාර්තික් සංචිතයට කැඳවා ඇත්තේ ඒ අනුවය. කාර්තික් සංචිතයට එක්වීමත් සමඟ රිශාබ් පාන්ට්ට ලෝක කුසලාන සංචිතයට එක්වීමේ අවස්ථාව අහිමි වී තිබේ.

ලෝක කුසලානයේ කිවි සලකුණ – නවසීලන්තය

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට තවත් ඇත්තේ ඉතාමත් අල්ප කාලයකි. ඊට සහභාගී වන…

දිනේෂ් කාර්තික් ඉන්දීය කණ්ඩායමේ අංක 4 පිතිකරුවා ලෙස කටයුතු කිරීමට නියමිත අතර ඔහු සමඟින් තමිල්නාඩු ප්‍රාන්ත ප්‍රවේගකාරී තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වන විජේ ශංකර් ද අංක 4 පිතිකරු ලෙස කටයුතු කිරීමට නියමිතයි.

මේ දිනවල පැවැත්වෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ කිංග්ස් ලෙවන් පන්ජාබ් කණ්ඩායම නියෝජනය කරමින් ආරම්භක පිතිකරු ලෙස දක්ෂතා දැක්වූ ලෝකේෂ් රාහුල් ද අංක 4 හා ආරම්භක පිතිකරුවෙකු ලෙස මෙවර ඉන්දීය ලෝක කුසලාන සංචිතයට කැඳවා තිබේ. ඔහු සංචිතයට එක්වීමත් සමඟ අම්බති රයිදුට ඉන්දීය ලෝක කුසලාන සංචිතයේ ස්ථානය අහිමි වී තිබේ.

බුවනේෂ්වර් කුමාර්, ජස්ප්‍රිට් බුම්රා සහ මොහොමඩ් ශාමි ලෝක කුසලානයට නම් කළ ඉන්දීය සංචිතයේ සිටින ප්‍රධානතම වේගපන්දු යවන්නන්ය. හර්දික් පාන්ඩ්‍යා සහ විජේ ශංකර් තුන් ඉරියව් ක්‍රීඩකයින් සහ මද වේගපන්දු යවන්නන් ලෙස කණ්ඩායමට නම් කර ඇත.

එළඹෙන ලෝක කුසලානයට නම් කළ ඉන්දීය සංචිතයට ඇතුළත් වන දඟපන්දු යවන්නන් වන්නේ කුල්දීප් යාදෙව් සහ යුස්වේන්ද්‍ර චහාල් ය.

ඉන්දීය සංචිතය – විරාත් කෝලි (නායක), රෝහිත් ශර්මා, ශිකර් ධාවාන්, ලෝකේෂ් රාහුල්, විජේ ශන්කර්, මහේන්ද්‍ර සිං දෝනි, දිනේෂ් කාර්තික්, යුස්වේන්ද්‍ර චහාල්, කුල්දීප් යාදෙව්, බුවනේෂ්වර් කුමාර්, ජස්ප්‍රිට් බුම්රා, හර්දික් පාන්ඩ්‍යා, රවින්ද්‍ර ජඩේජා, මොහොමඩ් ශාමි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<