ස්කොෂ් ක්‍රීඩාවෙන් කිරුළු පැලදී ලාංකීය කුමරිය, මිහිලියා

1737

අතිදක්ෂ ශ්‍රී ලාංකික ස්කොෂ් ක්‍රීඩිකාවක් වන මිහිලියා මෙත්සරණි සිය ජාත්‍යන්තර ක්‍රීඩා දිවියේ උච්චතම අවස්ථාවකට ළඟා වීමට පසුගිය දා සමත් විය. ඇය සමඟ කරට කර යමින් ඇයට අභියෝගයක් වීමට ජාතික මට්ටමේ කිසිදු ක්‍රීඩිකාවක් මේ වන විට සමත් වී නොමැති අතර ශ්‍රී ලංකා ස්කෝෂ් ක්‍රීඩාවෙන් ඇය මේ වන විට ඇයට අනන්‍ය වූ ස්ථානයක් ගොඩනගා ගෙන අවසන් ය.

පස්වරක් ජාතික ස්කොෂ් ශූරතාවය දිනා ගැනීමට සමත් වී ඇති ඇය, 2013 යොවුන් ක්‍රීඩා උළෙලේ දී ද, 2015 යොවුන් පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා තරගාවලියේ දී ද සහ 2016 SAG ක්‍රීඩා තරගාවලියේ දී ද ලෝකඩ පදක්කම්වලින් ලක්මාතාව අභිෂේක ගැන්වීමට සමත් වූවාය.

ඕස්ට්‍රේලියාවේ ගෝල්ඩ් කෝස්ට් හිදී නිමා වූ 2018 පොදුරදමඩුලු තරගාවලියේ දී මිහිලියා මෙත්සරණී 17 වැනියා ලෙස කාන්තා කේවල ඉසව්ව අවසන් කරන්නට සමත් වන්නීය. පොදුරදමඩුලු තරගාවලියක දී ශ්‍රී ලංකාව නියෝජනය කළ කිසිම ක්‍රීඩකයෙකු හෝ ක්‍රීඩිකාවක් මේ සා දස්කමක් මේ වන තෙක් වාර්තා කර නොමැත. ස්කොෂ් ක්‍රීඩාව මේ වන තෙක් ඔලිම්පික් තරගාවලියේ නිල ක්‍රීඩාවක් වශයෙන් නම් කර නොමැති අතර එළඹෙන 2020 ගිම්හාන ඔලිම්පික් උළෙලට ද එම ක්‍රීඩාව ඇතුළත් කිරීමට හෝ සම්භාවිතාවක් නැත.

ඉතාමත් අවම පහසුකම් තුලින් මේ තරම් සාර්ථකත්වයක් වාර්තා කර ගැනීමට ඇය සමත් වූ ආකාරය ThePapare.com හමුවේ ප්‍රකාශ කර සිටියේ නිහතමානී ආඩම්බරයක් ද සමඟිනි. ThePapare.com අප ද ඇයට සුබාශිංසන එකතු කරන අතර තවතවත් දස්කම් දක්වමින් ලක්මාතාව ජාත්‍යන්තරය හමුවේ බැබළ වීමට ඇයට හැකි වේවා යන්න ThePapare.com ප්‍රාර්ථනාවයි!