මහමායාවෝ හා විසාකාවෝ කරට කර සටනක

721

වසර 19ක අභිමානය මේ වසරේදීත් රඳවා ගන්නට මහනුවර මහාමායා විද්‍යාලය මාන බලන අතර මහනුවරට ජයග්‍රහණය ගෙන යාමට නොදී කොළඹ විසාකා විද්‍යාලය මහාමායාවන්ට ප්‍රබල අභියෝගයක් එල්ල කරද්දී සිව්වැනි දිනය අවසාන වන විට (9) සාන්ත ජෝසප් විද්‍යාලය බාලක කාණ්ඩයේ පෙරමුණේ ආරක්ෂිතව සිටියි.

මහමායා කිරුළ ඩැහැගන්නට විසාකාවෝ මාන බලති

හතළිස් පස්වැනි මයිලෝ ශ්‍රී ලංකා පාසල් වයස් සීමා ජල ක්‍රීඩා තරගාවලියේ තෙවන දිනය වූ ඊයේ (8) බාලක කාණ්ඩයෙන් මරදාන ජෝසප් විද්‍යාලය තෙවන……..

දෙවන දිනය අවසානයේ දී මයිලෝ ශ්‍රී ලංකා පාසල් වයස් සීමා ජල ක්‍රීඩා තරගාවලියේ ලකුණු 86ක වාසියකින් බාලිකා අංශයේ පෙරමුණ ගැනීමට මහනුවර මහාමායා බාලිකා විදුහල සමත්වුවත්, මහමායාවන් පසුපස හඹා ආ විසාකාවන් තෙවන දිනයේ දී ලකුණු පරතරය ලකුණු 32ක් දක්වා අඩු කර ගැනීමට සමත් විය. දැන් තවත් එක්දිනක් පමණක් ඉතිරිව තිබිය දී විසාකාවන් ලකුණු පරතරය ලකුණු 7ක් දක්වා අඩු කර ගැනීමට සමත්ව ඇති අතර අවසාන දිනය වන අද දිනයේ ප්‍රේක්ෂකයින් සියලු දෙනා හට ඉතා උණුසුම් කරට කර තරගයක් නැරඹිය හැකි වනු ඇත.

රන් සම්මානයේ පහස විඳින්නට මහාමායාවෝ හා විසාකාවෝ සටන් වදිද්දී වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල ස්ථාන තුනක් ඉදිරියට පැමිණ මේ වන විට තෙවන ස්ථානයේ රැඳී සිටියි. තෙවන දිනයේ 6 වැනි ස්ථානයේ සිටි ඔවුන් කාන්තා විද්‍යාලය සිව්වැනි ස්ථානයට අද දමමින් ලකුණු 18ක් ලබා තෙවන ස්ථානයට පත්වීමට සමත් විය.

බාලක කාණ්ඩයේ පළමු දිනයේ සිටම සිය ආධිපත්‍ය පැතිර වූ සාන්ත ජෝසප් විද්‍යාලය අනෙක් කිසිදු පාසලකට ඔවුන් අසලටවත් පැමිණීමට ඉඩ ලබා නොදුන් අතර මේ වන විට ලකුණු 498ක දැවැන්ත ලකුණු පුවරුවක් සමඟින් ඔවුන් සිය 15 වන ශූරතාවයට දෑස් දල්වා බලා සිටියි. ආනන්ද විද්‍යාලය ලකුණු 322ක් සමඟින් දෙවන ස්ථානයේ ස්ථාවරව සිටියි.

සිව්වැනි දිනයේ නව තරග වාර්තා හතක් බිහිවුණු අතර සාන්ත පීතර විද්‍යාලයේ කුයිඩ් ෆාරුක් බාලක වයස අවුරුදු 9න් පහළ මීටර 50 පසුපස ආර ඉසව්ව තත්පර 42.82කින් නිමා කරමින් පසුගිය වසරේ පිහිටුවා තිබූ තත්පර 44.33 ක වාර්තාව බිඳ හෙලීමට සමත් විය.    

>> තරගයේ සිව්වැනි දිනයේ ඡායාරූප ඇල්බමය <<

වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසලේ දමිරු වික්‍රමතුංග සිය දෙවන තරගාවලි වාර්තාවත් පිහිට වූ අතර වයස අවුරුදු 11න් පහළ මීටර 50 පසුපස ආර ඉසව්ව තත්පර 40.00කින් නිමා කරමින් වසර 10කට පෙර එම්. ඒ ඉඳුවර පිහිටුවා තිබූ තත්පර 41.34ක වාර්තාව බිඳ හෙලීමට සමත් විය. දමිරු දෙවන දිනයේ දී මීටර 100 පසුපස ආර ඉසව්වෙන් ද නව තරග වාර්තාවක් පිහිටුවීමට සමත් විය.   

නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසලේ ක්‍රිස් පවිත්‍ර බාලක වයස අවුරුදු 13න් පහළ මීටර 50 ළය ආර ඉසව්ව තත්පර 34.00කින් නිමා කරමින් නව තරග වාර්තාවක් පිහිටුවීමට සමත් විය. ඔහු අතින් බිඳ වැටුණේ පසුගිය වසරේ බානුක ජයතිලක පසුගිය වසරේ පිහිටුවා තිබූ තත්පර 36.10 ක වාර්තාවයි.  

සාන්ත ජෝසප් විද්‍යාලයේ වනුජ කන්නන්ගර, 2011 දී ඉමේෂ් චතුරංග තත්පර 31.65කින් පිහිටුවා තිබූ වාර්තාවක් වයස් අවුරුදු 13න් පහළ මීටර 50 පසුපස ආර ඉසව්ව තත්පර 31.55කින් නිමා කරමින් මිලිතත්පර දහයක වෙනසකින් නව වාර්තාවක් පිහිටුවීමට සමත් විය.   

>> තරගාවලියේ තරග වාර්තා සටහන <<

ශ්‍රී ලංකාව වෙනුවෙන් ඔලිම්පික් ක්‍රීඩා උළෙල නියෝජනය කළ කිමිකෝ රහීම්ගේ වාර්තා දෙකක් විසාකා විද්‍යාලයේ ගංගා සෙනෙවිරත්න පළමු දින දෙකේ දී බිඳ දැමීමට සමත් වූ අතර අද, සිව්වැනි දිනයේ දී සිරිමාවෝ බාලිකා විද්‍යාලයේ නිභාෂි පෙරේරා කිම්කොගේ තවත් වාර්තාවක් බිඳ දැමීමට සමත් විය. වයස අවුරුදු 13න් පහළ මීටර 50 සමනළ ආර ඉසව්ව 1:11.32කින් නිමා කරමින් ඇය 2004 දී කිම්කො පිහිටුවා තිබූ 1:12.37ක වාර්තාව බිඳ දැම්මාය. මීටර 100 ෆ්ලයි හා මීටර 100 මිශ්‍ර තරග වාර්තා ද ඇතුළුව මේ ඇයගේ තෙවන තරග වාර්තාවයි.   

ආනන්ද විද්‍යාලයේ එම්. එම්. එක්නැලිගොඩ සිය තෙවන තරග වාර්තාව පිහිටුවීමට ඊයේ සමත් වූ අතර බාලක වයස අවුරුදු 9න් පහළ මීටර 100 නිදහස් ආර ඉසව්ව 1:15.23කින් නිමා කරමින් ඔහු එම වාර්තාව පිහිටුවීමට සමත් විය. 2010 දී පහන් ද සිල්වා පිහිට වූ 1:16.92ක වාර්තාව ඔහුගේ අතින් බිඳ වැටුණි. මීටර 50 පසුපස ආර ඉසව්වෙන් මෙන්ම මීටර 200 කේවල මිශ්‍ර ඉසව්වෙන් ද නව වාර්තා පිහිටුවීමට ඔහු සමත් විය.

දිනයේ අවසන් වාර්තාව පිහිටුවීමට දෙහිවල ගේට්වේ ජාත්‍යන්තර පාසලේ හිරුකෝ ද සිල්වා සමත් වූ අතර වයස අවුරුදු 13න් පහළ මීටර 100 නිදහස් ආර ඉසව්ව 1:05.14කින් නිමා කරමින් ඇය මෙම වාර්තාව පිහිටුවූ අතර ඇය අතින් බිඳ වැටුණේ 2010 දී අමන්දා ජයසේකර පිහිට වූ 1:06.50ක වාර්තාවයි.  

මයිලෝ ශ්‍රී ලංකා පාසල් වයස් සීමා ජල ක්‍රීඩා තරගාවලිය අවසන් වීමට ඉතිරිව ඇත්තේ තවත් එක් දිනක් පමණි. මයිලෝ ශ්‍රී ලංකා සමාගම අනුග්‍රහය දක්වන මේ තරගාවලියේ අවසාන දිනයේ දී හිටපු ශ්‍රී ලංකා පිහිනුම් ශූරයින් සහභාගී වන සහය පිහිනීමේ ප්‍රදර්ශන තරගාවලියක් පැවැත්වීමට නියමිතයි.

ශ්‍රී ලංකාවට කීර්තියක් ගෙනා  පිහිනුම් ක්‍රීඩා තරු වන නිශාන්ත ද කොස්තා, මහි චන්ද්‍රලාල් සහ ශ්‍රී ලංකාවේ පිහිනුම් සලකුණ ජූලියන් බොලින් මෙම සහය පිහිනීමේ සැණකෙළියේ දී නැවතත් තටාකයට බසිනු ඇත.

පස්වැනි හා අවසාන දිනයේදීත් තරගාවලියේ සියලු තොරතුරු ඔබ වෙත ගෙන ඒමට අප සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමගින්.

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<