විශිෂ්ට හඹා යාමක් නමුත් දඬුවම් පහරෙන් ජය යාපනයට

558

2018 වයස අවුරුදු 20න් පහළ අන්තර් පාඨශාලීය සමස්ත ලංකා ‘ThePapare’ පාපන්දු ශූරතාවලියේ අර්ධ අවසන් පූර්ව වටය යටතේ අද (24) සවස කොළඹ සුගතදාස පාපන්දු ක්‍රීඩාංගණයේ දී පැවති තරගය ඉතා උණුසුම් තරගයකින් අනතුරුව සම්පූර්ණ කාලය අවසානයේ ගෝල 3-3ක් ලෙස සම තත්වයේ පසුවෙමින් නිමා වීමෙන් අනතුරුව ප්‍රබල සහිරා විද්‍යාලයීය කණ්ඩායම දඬුවම් පහර වටයේ දී දඬුවම් පහර 4-5ක් ලෙස පරාජයට පත්කරමින් තරගය ජයග්‍රහණය කළ යාපනය සාන්ත පැට්‍රික් විද්‍යාලයීය ක්‍රීඩකයින් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගන්නට සමත් විය.

පසුපසින් හඹා ආ ජෝසප්වරුන්ට සාන්ත පීතරයින් පරදා තියුණු ජයක්

2018 වයස අවුරුදු 20න් පහළ අන්තර් පාඨශාලීය සමස්ත ලංකා ‘ThePapare’ පාපන්දු ශූරතාවලියේ….

‘B’ කාණ්ඩය යටතේ තරගාවලියට එක්වූ යාපනය සාන්ත පැට්‍රික් විද්‍යාලයීය කණ්ඩායම තරගාවලියේ පළමු වටයේ ඔවුන් සහභාගී වූ තරග 4න් දෙකක් ජයග්‍රහණය කරමින්, ඉතිරි තරග 2 ජය-පරාජයෙන් තොරව අවසන් කර ගනිමින් අපරාජිතව එම කාණ්ඩයේ දෙවන ස්ථානයේ රැඳෙමින් අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගන්නට සමත් වූ අතර අනෙක් පසින් ‘C’ කාණ්ඩය යටතේ තරගාවලියට එක්වූ මරදාන සහිරා විද්‍යාලයීය කණ්ඩායම ඔවුන් සහභාගී වූ තරග 4න් 3ක් ජයග්‍රහණය කරමින් අපරාජිතව එම කාණ්ඩයේ පෙරමුණ ගනිමින් අවසන් පූර්ව වටයේ සිය ස්ථානය වෙන්කර ගැනීමට සමත් විය.

තරගය ආරම්භයේ සිටම දැඩි වර්ෂාව මධ්‍යයේ වුවද ප්‍රබල සහිරා විද්‍යාලයීය ක්‍රීඩකයින් හට දැඩි පීඩනයක් එල්ල කළ සාන්ත පැට්‍රික් විද්‍යාලයීය ක්‍රීඩකයින් දැඩි ආක්‍රමණශීලී ක්‍රීඩා විලාශයක් දියත් කරන්නට විය. කෙසේ නමුත් තරගයේ ආරම්භක මිනිත්තු කිහිපයේ දී දෙපිළේම ක්‍රීඩකයින් ගෝලයක් වාර්තා කරගන්නට පැහැදිලි අවස්ථාවක් නිර්මාණය කර්ගන්නට සමත් වූයේ නැත.

ගෝලයක් වාර්තා කරගැනීමට පැහැදිලි අවස්ථාවක් පළමුව නිර්මාණය කරගන්නට සමත් වූයේ සහිරා ක්‍රීඩකයින් වන අතර එහි දී මොහොමඩ් ආකීබ් පන්දුවට හිසින් පහරක් එල්ල කරමින් එය ගෝල රාමුව තුළට යොමුකිරීමට ගත් උත්සාහය විශිෂ්ට අන්දමින් රැකගන්නට සාන්ත පැට්‍රික් ගෝල රකින ක්‍රීඩක ඒ. ආර්. කිජුමන් සමත් විය.

අනතුරුව තරගයේ 20 වන මිනිත්තුවේ දී ඩී. එච්. හයින්ස් පන්දුව ගෝල රාමු කලාපය තුළට රැගෙන යමින් පහරක් එල්ල කරමින් ගෝලයක් වාර්තා කරගැනීමට උත්සාහ දැරුව ද එහි දී පන්දුව නවතාලන්නට සහිරා විද්‍යාලයීය ගෝල රකින ක්‍රීඩක මොහොමඩ් ශාකීර් සමත් විය.

>> තරගයේ ඡායාරූප ඇල්බමය සඳහා පිවිසෙන්න <<

කෙසේ නමුත් ඉන් මිනිත්තුවකට පසුව ශාකීර් අතින් සිදු වූ විශාල අත්වැරදීමකින් පන්දුව ආර්. ශාන්තන් වෙත යොමු වූ අතර ඔහු පහසුවෙන් පන්දුව ගෝල රාමුව තුළට යොමුකරමින් සිය කණ්ඩායම තරගයේ පෙරමුණට රැගෙන යන්නට සමත් විය.

අනතුරුව සහිරා විද්‍යාලයීය ක්‍රීඩකයින් හොඳින් පන්දුව හුවමාරු කරමින් ඉදිරියට රැගෙන යමින් ගෝලයක් වාර්තා කරගැනීමට අවස්ථාවන් කිහිපයක්ම නිර්මාණය කරගනු ලැබුවත් ඒවා ගෝල බවට පරිවර්තනය කරගන්නට ඔවුන් සමත් වූයේ නැත.

අනෙක් පසින් සාන්ත පැට්‍රික් විද්‍යාලයීය ඉදිරිපෙළ ක්‍රීඩකයින් ඔවුන්ගේ වේගය හරහා සහිරා විද්‍යාලයීය පසුපෙළ ක්‍රීඩකයින් හට ප්‍රබල පීඩනයක් එල්ල කරන්නට වූ නමුත් එහි දී ඔවුන් ද ගෝලයක් වාර්තා කරගැනීමට නිර්මාණය කර ගනු ලැබූ අවස්ථාවන් සාර්ථකව අවසන් කරගන්නට ඔවුන් අසමත් විය.

කෙසේ නමුත් තරගයේ 44 වන මිනිත්තුවේ දී නැවතත් ක්‍රියාත්මක වූ ශාන්තන් ගෝල රාමුව ආසන්නයට යොමු වූ පන්දුවකට හිසින් පහරක් එල්ල කරමින් එය ඉතා දක්ෂ ලෙස ගෝල රාමුව තුළට යොමු කළේ කණ්ඩායම් දෙක අතර ගෝල පරතරය ඉහළ නංවාගනිමිනි.

තරගයේ පළමු අර්ධය අවසන් වන්නට පෙර නැවතත් ක්‍රියාත්මක වූ සාන්ත පැට්‍රික් විද්‍යාලයීය ක්‍රීඩකයින් තවත් ගෝලයක් වාර්තා කරගනු ලැබුවේ සහිරා විද්‍යාලයෙන් තරගයේ ජයග්‍රහණය ඈතට රගෙන යමිනි. එහිදී ඉක්මන් අවස්ථාවක් හරහා පන්දුව ඉදිරියට රැගෙන ගිය හයින්ස් පහසුවෙන් පන්දුව ගෝල රාමුව තුළට යොමුකිරීමෙන් එම ගෝලය වාර්තා විය.

පළමු අර්ධය: සහිරා විද්‍යාලය 00 – 03 සාන්ත පැට්‍රික් විද්‍යාලය

ගෝල 3ක් හඹා යාමට පිටියට පිවිසි සහිරා විද්‍යාලයීය ක්‍රීඩකයින් දෙවන අර්ධය ආරම්භයේ සිටම දැඩි ආක්‍රමණශීලී ක්‍රීඩා විලාශයක් දියත් කරන්නට විය. ඒ අනුව මොහොමඩ් රෂීඩ් ගෝල රාමු කලාපය තුළට පන්දුව රැගෙන යමින් පහරක් එල්ල කළ ද එය විශිෂ්ට ලෙස රැකගන්නට කිජුපන් සමත් විය.

හමීඩ් අල් හුසේනි ක්‍රීඩකයෝ සහිරා අභියෝගය මැඩලමින් අවසන් පූර්ව වටයට

වයස අවුරුදු 20න් පහළ අන්තර් පාඨශාලීය සමස්ත ලංකා ‘ThePapare’ පාපන්දු ශූරතාවලියේ අර්ධ අවසන්…..

ඉන් අනතුරුව අවස්ථාවන් දෙකක දී සහිරා විද්‍යාලයේ රූබර්ට් තනූජන් හට ගෝල රාමු කලාපය තුළ දී පන්දුව හිමිවුවත් එහි දී ඔහු එල්ල කළ පහරවල් ගෝල රාමුවට ඉහළින් ඇදී යාම නිසා ඒවා ගෝල බවට පරිවර්තනය කරගන්නට ඔවුන් සමත් වූයේ නැත.

අනෙක් පසින් සාන්ත පැට්‍රික් විද්‍යාලයීය ක්‍රීඩකයින් ඉක්මන් අවස්ථාවන් හරහා පන්දුව ඉදිරියට රැගෙන යමින් ගෝලයක් රැස්කර ගැනීමට අවස්ථාවන් කිහිපයක්ම නිර්මාණය කර ගනු ලැබුවත් ඔවුන් ද ඒවා සාර්ථක කරගැනීමට සමත් වූයේ නැත.

කෙසේ නමුත් 73 වන මිනිත්තුවේ දී සහිරා විද්‍යාලයට නිදහස් පහර අවස්ථාවක් අවස්ථාවක් හිමි වූ අතර එය ලබාගනිමින් රෂීඩ් ගෝල රාමු කලාපයට යොමු කළ පන්දුවට හිසින් පහරක් එල්ල කළ මොහොමඩ් මුෂ්ෆීර් සිය කණ්ඩායමට තරගයේ පළමු ගෝලය හිමිකර දෙන්නට සමත් විය.

ඉන් අනතුරුව ද ඔවුන් දිගින් දිගටම ගෝලයක් ලබා ගැනීමේ අරමුණ දැඩි ආක්‍රමණශීලී ක්‍රීඩා රටාවක් දියත් කරන්නට වූ අතර ඔවුන්ගේ එම උත්සාහය තරගයේ 84වන මිනිත්තුවේ දී සාර්ථක වූයේ තරගයේ උණුසුම ඉහළ නංවමිනි. ඒ  අනුව සහිරා ක්‍රීඩකයින් ගෝල රාමු කලාපය තුළට යොමු කළ පන්දුවක් ලබාගත් එච්. ආර්. රාසා එය පහසුවෙන් ගෝල රාමුව තුළට යොමුකරමින් එම ගෝලය වාර්තා විය.

පසුව තරගයේ 89 වන මිනිත්තුවේ දී සහිරා විද්‍යාලයීය ක්‍රීඩකයින් ඔවුන්ගේ තුන්වන ගෝලය ද වාර්තා කර ගනු ලැබුවේ නොසිතූ ලෙස ඔවුන්ගේ හඹා යාම සාර්ථක කරගනිමිනි. එහි දී මොහොමඩ් ආකීබ් ගෝල රාමු කලාපය පිටත සිට එල්ල කළ වේගවත් පහරක් ගෝල රාමුව තුළට යොමු වූයේ තරගයේ ලකුණු තත්වය සම කරගනිමිනි.

ගෝල 3ක වාසිය අහිමි වීමෙන් අනතුරුව නැවතත් ක්‍රියාත්මක වූ සාන්ත පැට්‍රික් ක්‍රීඩකයින් තරගය අවසන් වන්නට ඉතා ආසන්නයේ දී ගෝලයක් රැස්කර ගන්නට ආසන්නයට පැමිණෙන්නට සමත් විය. ඒ අනුව එහි දී ඉක්මන් අවස්ථාවක් හරහා පන්දුව ඔවුන් ශාන්තන් වෙත බා රකළ අතර ඔහු ගෝල රාමුව තුළට යොමුකළ පන්දුව ඉතා විශිෂ්ට ලෙස ඉවතට යොමුකරන්නට ශාකීර් සමත් විය. එහි දී ඔවුන්ට කෝනර් අවස්ථාවක් පිරිනැමුණු අතර එහි දී ගෝල රාමුව අසළට යොමු වූ පන්දුවට ඔවුන් හිසින් පහරක් එල්ල කරනු ලැබූ අතර එය ගෝල රාමුවේ ඉහත දාරයේ වැදී ඉවතට යොමු වීම නිසා එම අවස්ථාව ද ඔවුන්ට අහිමිව ගියේය.

යාපනය ක්‍රීඩකයෝ පරදා මීගමු ක්‍රීඩකයෝ සුපිරි 4ට

පළමුවරට සංවිධානය කරන ලද 2018 ThePapare.com පාපන්දු ශූරතාවලියේ අද…..

ඒ අනුව ඉතා උණුසුම් තරගයකින් අනතුරුව තරගයේ නියමිත කාලය අවසන් වන විට කණ්ඩායම් දෙකේ ලකුණු තත්වය සම මට්ටමක පැවතීම නිසා තරගයේ තීරණය දඬුවම් පහර වටයට යොමුවිය.

සම්පූර්ණ කාලය: සහිරා විද්‍යාලය 03 – 03 සාන්ත පැට්‍රික් විද්‍යාලය

පැට්‍රික් විද්‍යාලයීය ක්‍රීඩකයින් ලබාගත් තෙවන දඬුවම් පහර අවස්ථාව පමණක් අසාර්ථක වූ අතර අනෙක් පසින් සහිරා විද්‍යාලයීය ක්‍රීඩකයින් ලබාගත් දෙවන හා හයවැනි දඬුවම් පහර අවස්ථා අසාර්ථක විය. සාන්ත පැට්‍රික් විද්‍යාලය වෙනුවෙන් හයිනිස්, එන්. බවිරාජ්, ආර්. දීලක්ෂන්, තනූජන් සහ ඒ. ප්‍රීසන් ලබාගත් දඬුවම් පහර අවස්ථා ඔවුන් විසින් සාර්ථක කර ගනු ලැබූ අතර ශාන්තන් ලබාගත් දඬුවම් පහර අසාර්ථක විය.

සහිරා විද්‍යාලය වෙනුවෙන් රාසා, මොහොමඩ් මුෂ්ෆිර්, ආකීබ් සහ මුර්ෂිඩ් ලබා ගත් දඬුවම් පහර අවස්ථා සාර්ථක වූ අතර මොහොමඩ් සාජිඩ් සහ මොහොමඩ් හිමාෂ් ලබා ගත් දඬුවම් පහර අවස්ථා අසාර්ථක විය.

ඒ අනුව දඬුවම් පහර වටය ගෝල 4-5ක් ලෙස ජය ගත් යාපනය සාන්ත පැට්‍රික් විද්‍යාලයීය කණ්ඩායම මෙම තරගයේ ජයග්‍රහණය හිමිකර ගනිමින් තරගාවලියේ අවසන් පූර්ව වටයේ සිය ස්ථානය වෙන්කර ගැනීමට සමත් විය.

දඬුවම් පහර වටය: සහිරා විද්‍යාලය 04 – 05 සාන්ත පැට්‍රික් විද්‍යාලය

ගෝල ලාභීන්

  • සහිරා විද්‍යාලය – මොහොමඩ් මුෂ්ෆීර් 73’, එච්. ආර්. රාසා 84’, මොහොමඩ් ආකීබ් 89’
  • සාන්ත පැට්‍රික් විද්‍යාලය – ආර්. ශාන්තන් 21’ 44’, ඩී. එච්. හයින්ස් 45+2’

>> තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<