හිතවතුනි අද සුදු ඇඳන් එන්න

3467

හතුරු මිතුරු වී ඇත. ඇන්ජලෝ යළිත් නායකත්වයේ උට්ඨානය වී ඇත. නව ජවයක් සමඟින් ශ්‍රී ලංකා ක්‍රිකට් යළි ඉපිද ඇත. ශීත කාලය හමාර වී වසන්තය යළි පැමිණෙන සුබ ලකුණු පෙනෙන්නට තිබේ. දැන් අපි අමිහිරි මතකයන් වළදැමීය යුතුය. නමුත් උගත් පාඩම් අමතක නොකිරීමට ද වගබලා ගත යුතුය.  

ශ්‍රී ලාංකිකයන් වන අපි අතීතයේ සිටම අමිහිරි මතකයන් පොදි බැඳගත් ජාතියක් වෙමු. නොදන්නා ඉතිහාසයේ සිට දන්නා වර්තමානය දක්වාම විදේශික ආක්‍රමණ වලින් හෙම්බත් වී සිටින අප ක්‍රිකට් ඉතිහාසය දෙස නැවත හැරී බලන විට ක්‍රිකට් ක්‍රීඩාව තුළ දී ද ජාතියක් වශයෙන් ආක්‍රමණවලට ලක් වූ අවස්ථා අපමණය. ඉතිහාසය තුළ මුරලිදරන් හට පන්දුව දමා ගැසීමේ චෝදනාව එල්ල වූ අවස්ථාවේ පටන් කුසල් පෙරේරා තහනම් උත්තේජන චෝදනාවන්ට ලක්වීම දක්වාම වරින් වර ශ්‍රී ලංකා ක්‍රිකට් විදෙස් අත පෙවීම්වලට ලක් වූ අයුරු මේ මොහොතේ රචකයාගේ මතකයට නැඟේ.

Image courtesy- theage.com.au

පරාජය යන්න ශ්‍රී ලාංකික අපට නුහුරු දෙයක් නොවේ. අතීතයේ වුව ලන්දේසි, පෘතුගීසි, ඉංග්‍රීසි බයිනෙත්තුවලින් අප යටත් කරගත්ත ද ඒ කිසිම මොහොතක අප පරාජය හිස මත දරා සැඟව ගිය ජාතියක් නොවේ. ශ්‍රී ලාංකික අප පරාජයේ අළු මතින් නැඟී සිටි ජාතියකි. විදෙස් අත පෙවීම්වලින් ශ්‍රී ලංකා ක්‍රිකට් බිමට හෙළා දැමීම ආරම්භ වූ 90 දශකයේ මුල් භාගයේ දී ක්‍රිකට් ලෝක සිතියමේ නොගැනිය හැකි තරම් වූ අගයක් හිමි වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම, 1996 වසරේ ලෝක කුසලාන තරගාවලියට සහභාගී වන විට ශ්‍රී ලාංකික අප හැරෙන්නට අන් කිසිවෙක් අප හට ජයග්‍රහණයට අවස්ථාවක් දී තිබුණේ නැත. එනමුදු ඒ සියලු විචාරක මතවලට එරෙහිව ගොස් අර්ජුන රණතුංග ප්‍රමුඛ අප කණ්ඩායම තරගාවලිය විජයග්‍රහණය කරන්නට සමත් වූයේ තිස් වසරක යුද්ධයකින් හෙම්බත්ව සිටි සමස්ත ශ්‍රී ලාංකිකයන්ට මහත් වූ අස්වැසිල්ලක් ගෙන දෙමිනි. ඒ මතකය වසර 22 කට පසුවත් අප සිහි කරන්නේ අභිමානයකින් යුතුවය. ඒ අප පරාජයන් වළ දමා අළු මතින් නැගී සිටි නිසාය.

96න් ඇරඹි ක්‍රිකට් වසන්තය ජයසූරිය, මුරලිදරන්, වාස්, මහේල, සංගක්කාර, ඩිල්ශාන් වැනි තරු  පිරිවරාගනිමින් 2014 වසර වන තෙක්ම ජයග්‍රාහී මාවතක් දිගේ ඇදී යන්නේ ඇතැම් අවස්ථාවල මතු වන ලද යම් යම් හැලහැප්පීම් සහ බාධකවලට ද සාර්ථක ලෙස මුහුණ දෙමිනි. 1996 – 2014 කාල සීමාව තුළ අප කණ්ඩායම ලෝක කුසලාන ජයග්‍රහණ 2ක්, ලෝක කුසලාන අනුශූරතා 4ක්, ශූරයින්ගේ කුසලාන සම ශූරතාවයක් සමඟින් තවත් ජයග්‍රහණ රැසක් වාර්තා කරන ලද්දේ ප්‍රවීණ ක්‍රීඩකයන්ගේ අත්දැකීම් සහ නවක ක්‍රීඩකයන්ගේ ජවය දායක කර ගනිමිනි. අපට ප්‍රශ්න නොතිබුණා නොවේ. නමුත් ඒ සියල්ලම මැද පාලකයන් පාලනය කරන්නටත්, ක්‍රීඩකයන් ක්‍රීඩා කරන්නටත් අමතක කළේ නැත.

Image courtesy- thesundayleader.lk

එම වසර ගණනාව පුරාවටම වරින් වර ප්‍රවීණයන් විශ්‍රාම ගිය ද, ඉන් පසුව පැමිණි පරම්පරාව තම වගකීම මැනවින් හඳුනා ගෙන තමාට පැවරුණ කාර්යය නිසි ලෙස ඉටු කිරීම නිසා ඒ කාල සීමාව තුළ ශ්‍රී ලංකා ක්‍රිකට් අර්බුදයකට ලක්වූයේ නැත. එසමයෙහි අපට ජයග්‍රහණවලින් අඩුවක් තිබුණේ ද නැත. අර්ජුන – අරවින්ද, ජයසූරිය අතපත්තු, මුරලි – වාස් හා ඉන්පසු මහේල – සංගක්කාර යුගලයන් ප්‍රමුඛ කරගෙන තරග ජයගත් අප, ලෝක ක්‍රිකට් සිතියමේ කේවල් කිරීමට හැකි අගයක් හිමි කරගන්නට සමත් වූයේ වෘත්තීමය වශයෙන් ක්‍රිකට් ක්‍රීඩාව සඳහා විශාල වටිනාකමක් හිමිකර දෙමිනි.

ක්‍රිකට් ක්‍රීඩාවේ ජනප්‍රියතාවයත්, ක්‍රීඩාවට ගලා ආ මුදල් සම්භාරයත් නිසා යොවුන් ක්‍රීඩකයන් වැඩි වශයෙන් ක්‍රිකට් ක්‍රීඩාව කෙරෙහි යොමුවීම ද මෙසමයෙහි දක්නට ලැබුණි. සීමිත පන්දුවාර තරග රටාව තවදුරටත් උද්වේගකර තත්ත්වයකට රැගෙන යමින් ඇරඹි 20/20 තරග රටාව නිසා ප්‍රේක්ෂකයන් වැඩි වශයෙන් ක්‍රිකට් තරඟ නැරඹීමට පෙලඹුණු අතර ඉන්දියාව හා ඕස්ට්‍රේලියාව වැනි රටවල දේශීය ක්‍රිකට් ලීග ඉතා වේගයෙන් ජනප්‍රිය වීම නිසා ක්‍රීඩකයන් සඳහා මුදලින් ලන්සු තැබීම ආරම්භ විය. මෙහි ප්‍රතිඵලයක් ලෙස “තනි තරු” බිහිවීම ආරම්භ වූ අතර ඇතැම් ක්‍රීඩකයන් සඳහා රටට පෙර මුදල් ඉස්සර වන බවට චෝදනා එල්ල වීම ද නිරන්තරයෙන් සිදු විය.

20/20 තරු පෙළහරින් ක්‍රිකට් වාණිජකරණය වීමෙන් පසු ක්‍රීඩකයන් හා ඔවුන්ගේ විලාසිතා අනුගමනය කරන ප්‍රේක්ෂක සංස්කෘතියක් බිහිවන ලදි. ඒ ප්‍රේක්ෂක සංස්කෘතිය තුළ සිටි ජනප්‍රිය තරු අතර කුමාර් සංගක්කාරට හා මහේල ජයවර්ධනට හිමි වූයේ සුවිශේෂී ස්ථානයකි. ඒ නිසාම ඔවුන් හා බැඳුණ පුවත්වලට හිමි වූයේ සුවිශේෂී ස්ථානයකි.

Image courtesy- cricketcountry.com

2014 වසරේ 20/20 ලෝක කුසලානය ජයග්‍රහණය කිරීමෙන් පසු සංගක්කාර හා මහේලගේ විශ්‍රාම යෑම ගැන විවිධ මති මතාන්තර පළවූ අතර සියලු සැක සංකා නිමා කරමින් ඔවුන් දෙදෙනා විසින් 2015 ලෝක කුසලන තරගාවලියෙන් පසු ක්‍රීඩාවෙන් විශ්‍රාම ගන්නා බව ප්‍රකාශයට පත් කරන ලදි. ඔවුන්ගේ අනුප්‍රාප්තිකයන් වශයෙන් ක්‍රීඩකයන් කිහිප දෙනෙකු නම් වූ අතර එකල ශ්‍රී ලාංකිකයන් විශ්වාස කළේ පෙර සිදු වූ ලෙසින්ම ඊළඟ පරම්පරාව වගකීම භාරගෙන කණ්ඩායම ඉදිරියට රැගෙන යනු ඇති බවයි. නමුත් සිදුවීමට නියමිතව තිබූ ඛේදවාචකය පිළිබඳව අදහසක් හෝ කිසිවෙකු සතු වූයේ නැත.

අපේක්ෂා කළ පරිදි තරග දිනවන්නන් බිහිවීම දිනෙන් දිනම ප්‍රමාද වූ අතර දස්කම් දැක්වීම පසෙකට තල්ලු වී ක්‍රීඩකයන් ජනප්‍රිය තරු රැල්ලේ ගොදුරු බවට පත්වී ඇති බවක් ක්‍රමයෙන් දිස්විය. විනය කඩ කිරීමේ චෝදනා ක්‍රීඩකයන්ට නිරන්තරයෙන් එල්ල වීමත් දස්කම්වල අඛණ්ඩව සිදුවන පසුබෑමත් නිසා කණ්ඩායම කෙරෙහි තිබූ ප්‍රේක්ෂක විශ්වාසය කෙමෙන් බිඳවැටීම මේ වන විට ආරම්භ වී තිබුණි.

මේ අර්බුද අතරේ ශ්‍රී ලංකාව බිහිකළ විශිෂ්ටතම තුන් ඉරියව් ක්‍රීඩකයකු වන තිලකරත්න ඩිල්ෂාන් ක්‍රීඩාවෙන් සමුගැනීමෙන් පසුව කණ්ඩායම අභ්‍යන්තරයේ තිබූ ගැටලු කිහිපයක් පිටතට කාන්දු වීමත් සමඟින් ක්‍රිකට් කතාබහ කෙමෙන් උණුසුම් වීම ආරම්භ විය. ඉන් අනතුරුව ඇරඹුණේ ශ්‍රී ලාංකේය ක්‍රිකට් වංශකතාවේ අවාසනාවන්තම කාල පරිච්ඡේදයයි. ක්‍රීඩකයන් පරිපාලකයන් සමඟත්, පරිපාලකයන්  පුහුණුකරුවන් සමඟත්, ක්‍රීඩකයන් කළමනාකරුවන් සමඟත්, ක්‍රීඩකයන් ඇමතිවරු සමඟත් විවිධ අවස්ථාවල දී මත ගැටුම් ඇති කරගැනීම දක්නට ලැබුණු අතර ජයග්‍රහණ පෙනි පෙනී තරග පරාජය වීමත්, සටන්කාමී ක්‍රීඩා රටාව ක්‍රීඩකයන් වෙතින් ගිලිහීයාමත් ක්‍රමයෙන් දක්නට ලැබුණි.

මේ සියල්ලෙහි අවසන් ප්‍රතිඵලය වූයේ ශ්‍රී ලංකාව සිම්බාබ්වේ කණ්ඩායම සහ බංගලාදේශ කණ්ඩායම හමුවේ පවා පරාජය වන මට්ටමකට ඇද වැටීමයි. මෙයින් ගැලවීම උදෙසා නායකයන් මාරු කරමින්, පුහුණුකරුවන් වෙනස් කරමින්, නව ක්‍රීඩකයන් යොදවමින් විවිධාකාර විසඳුම් සෙව්වද, ඒ සියල්ලම ගඟට කැපූ ඉනි මෙන් ඔහේ පාව යන ලද්දේ අභිමානවත් ශ්‍රී ලාංකේය ක්‍රිකට් ප්‍රේක්ෂකයන් එකිනෙකා බැගින් ක්‍රීඩා තිරයෙන් ඉවතට තල්ලු කර හරිමිනි.

2017 වසර අවසාන වන විට අප අන්තයටම වැටී සිටියෙමු. අපි බලාපොරොත්තු අත් හැර සිටියෙමු. යළිත් ක්‍රිකට් නොබලන්නේ යැයි සපථ කර සිටියෙමු.

නමුත් 2017 දෙසැම්බර් 8 වැනිදාට එළි වූයේ මේ සියලු දුක් නිවාරණය කරමින් සුවහසක් ශ්‍රී ලාංකේය ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ගේ මුවගට බලාපොරොත්තුව පිරි සිනහවක් රැගෙන එමිනි. ඒ නව පුහුණුකරු ලෙස චන්දික හතුරුසිංහ වැඩ භාරගත් බවට ලද පුවතත් සමඟින් ය.

එදවස පටන් එතෙක් හැඩ බලමින් සිටි බොහෝ දෙනෙකුට වැඩ කරන්නට සිදු වූ බව නොරහසකි. සමස්ත ක්‍රිකට් ප්‍රජාව තුළින්ම නව ජවයක් දකින්නට ලැබුණු අතර කණ්ඩායම ජය මාවතකට ගෙන යාමේ පෙරනිමිති එකින් එක දිස්වූයේ යළිත් ක්‍රිකට් පිළිබඳව කතාබහක් ශ්‍රී ලාංකිකයන් තුළ ඇති කරවමිනි.

දැන් හතුරුසිංහ දිගු කාලීන පුහුණුකරු ලෙස පත්කර ඇති සේම දිගු කාලීන නායකයා ලෙස හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් පත්කර තිබේ. ඉදිරියේ දී පෙරහැරට කුමක් වේ දැයි අපට කිව නොහැකි මුත් පෙරමඟින් ඇසෙන කස හඬ පෙරට වඩා තියුණු ය, හොඳය.

දැන් එළඹ ඇත්තේ පරාජ රැල්ලකින් හෙම්බත් වී සිටින අප ඒ සියලු පරාජිත මතකයන් සුසානයක වළදමා නව බලාපොරොත්තු දල්වාගත යුතු කාලයයි. ඒ ඉතිහාසයේ පටන්ම  අප පරාජයන් වළ දමා අළු මතින් නැගී සිටි ජාතියක් වන නිසාය.

ඉතින් අමිහිරි මතකයන් වළදමා අලුතින්ම පටන් ගැනීමට හිතවතුනි, ඔබත් සුදු ඇඳන් එන්න…

 >> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<