පුවේන්ද්‍රන්ගේ චෝදනාවලට පාපන්දු සම්මේලනයේ ලේකම්ගෙන් පිළිතුරු

217

ආර්. පුවේන්ද්‍රන් විසින් පසුගිය දා ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ (FFSL) සභාපති අනුර ද සිල්වාට සහ එහි විධායක කමිටුවට එරෙහිව එල්ල කළ පැමිණිල්ලෙහි අඩංගු චෝදනා පාපන්දු සම්මේලනයේ ලේකම් ජස්වාර් උමාර් විසින් ThePapare.com සමඟ අදහස් දක්වමින් ප්‍රතික්‍ෂේප කරන ලදි.

ලෝක කුසලාන තේරීම් තරග සහ දකුණු ආසියානු තරගාවලියට සූදානම

එළඹෙන ජුනි මස 06 වන දින මැකාවු හිදී ආරම්භ ………..

ThePapare.com මඟින් මෙන්ම දිවයිනේ බොහෝ ප්‍රධාන පුවත්පත් මඟින් වාර්තා කළ පරිදි ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ ප්‍රාදේශීය සංවර්ධන කමිටුවේ සභාපති ආර්. පුවේන්ද්‍රන් විසින් සම්මේලනයේ සභාපති අනුර ද සිල්වාට එරෙහිව පැමිණිල්ලක් ගොනු කරමින් චෝදනා එල්ල කළ සිටියේ ඔහු විධායක කමිටුව මඟින් ගන්නා තීරණ නොසලකා හරිමින් කටයුතු බවත්, ඔහු තීරණ ගැනීමේ දී කමිටු සාමාජිකයින් තිදෙනෙකුගේ මත පමණක් සැලකිල්ලට ගන්නා බවත්, එය අවසානයේ ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව පහත වැටීමට හේතු වී ඇති බවත් ය.  

ක්‍රීඩා අමාත්‍යවරයා වෙත යොමු කරන ලද මෙම පැමිණිල්ල තුළ තවදුරටත් මූල්‍යමය අක්‍රමිකතා සහ පරිපාලන ගැටලුවලට අදාළ චෝදනා ද ඇතුළත් විය.

මීට එම අවස්ථාවේ දී පිළිතුරු ලබා දෙමින් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති අනුර ද සිල්වා ප්‍රකාශ කර සිටියේ;

“මේවා කිසිදු පදනමක් නැති චෝදනා. සාකච්ඡාව මාධ්‍යවලට ලැබුණු එකට වඩා වෙනස් එකක්. මේ පිළිබඳව අපි ඊළඟ විධායක කමිටු රැස්වීමේ දී සාකච්ඡා කරලා ඇත්ත හොයාගන්නවා. ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ඉදිරියට රැගෙන යන්න අවශ්‍ය දේවල් සාකච්ඡා කරන්න වගේම අවශ්‍ය කටයුතු සිදු කරන්න විධායක කමිටු රැස්වීම් සාමාජිකයින් හැමෝටම විවෘතයි. මගේ පැත්තෙන් කිසිම ඒකාධිපති පාලනයක් එහි සිද්ධ වෙන්නේ නැහැ.”

පාපන්දු සභාපතිට චෝදනා ගොන්නක්

ශ්‍රී ලංකා පාපන්දු මුල් පුටු කලඹමින් කලාපීය පාපන්දු ………

“අපි අතින් අත්වැරදීම් සිද්ධ වෙන්න පුළුවන්. නමුත් අපි හිතාමතා ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාවට හෝ එහි පරිපාලනයට හානි වෙන කිසිම දෙයක් සිදු කරන්නේ නැහැ. මේ චෝදනා සිදු කරන්නේ මගේ ප්‍රතිරූපයට හානි කරන්න. අභ්‍යන්තර සාකච්ඡාවක් තියලා මේ පිළිබඳ මාධ්‍ය දැනුවත් කරන්න මම මාධ්‍ය සාකච්ඡාවක් කැඳවනවා.”

මෙම පැමිණිල්ලට අදාළ වැඩිදුර තොරතුරු දැන ගැනීම සඳහා ThePapare.com අප, ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ ලේකම් ජස්වාර් උමාර් සම්බන්ධ කර ගත් අතර ඒ පිළිබඳ අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කර සිටියේ;  

“අපි පුවත්පත්වල දැක්කා ඒ චෝදනා මොනවද කියලා. අපි වෙනදා වගේම ඔහු සමඟ සාමාන්‍ය පරිදි කටයුතු කරනවා. ඔහු විධායක කමිටුවට ඔහුගේ අස්වීමේ ලිපිය බාරදීලා තියෙන්නේ. ඒක ඊළඟ විධායක කමිටු රැස්වීමේ දී සභාගත කරනවා.”

ශ්‍රී ලංකාවේ පාපන්දුවට නව සහය පුහුණුකරුවෙක්

ඉදිරියේ දී පැවැත්වීමට නියමිත පාපන්දු ලෝක කුසලාන ……..

“මීට අදාළව ඔහුට විරුද්ධව ක්‍රියාමාර්ගයක් ගැනීමේ අවශ්‍යතාවයක් නැහැ. නමුත් අපි මීට අදාළව පැහැදිලි කිරීමක් ඉදිරියේ දී ඔහුගෙන් ඉල්ලා සිටිනවා. ඒවගේ ඇත්තක් තියෙනවා නම් අපි ඒවා සොයාගත යුතුයි. ඒ වගේම වැරදි වැටහීම් තියෙනවා නම් ඒවා දුරස් කරලා මේක සමථයකට පත්කරගන්න බලනවා. එකට වැඩකරනකොට අත්වැරදීම් වෙන්න පුළුවන්, නමුත් මම විශ්වාස කරන පරිදි කිසිම වංචාවක් සිද්ධ වෙලා නෑ.”

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<