බ්‍රැඩ්බි පළිහ රාජකීයයන්ට

565
Royal College - 73rd Bradby Shield Winner 2017

කණ්ඩායමක් ලෙස හොඳින් ක්‍රීඩා කිරීමත්, පසුපෙළ ක්‍රීඩකයින්ගේ දක්ෂ ක්‍රීඩා විලාශයත් නිසා කොළඹ රාජකීය විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දී පැවති බ්‍රැඩ්බි පළිහේ දෙවන වටය ජය ගනිමින් බ්‍රැඩ්බි පළිහ තම පාසලට හිමි කර දෙන්නට, මෙවර ලීග් තරගාවලියේ ද ශූරයින් බවට පත්වූ කොළඹ රාජකීය විද්‍යාලයීය රග්බි කණ්ඩායම සමත් විය.  

ජයග්‍රහණය නාවික හමුදා ඩ්රෙඩ්නෝට්ස් කණ්ඩායමට

බස්නාහිර පළාත් විවෘත සත් සාමාජික රග්බි ශූරතා තරගාවලිය ඊයේ (27) හැව්ලොක් පාක් ක්‍රීඩාංගණයේ දී පැවති අතර තරගාවලිය පවත්වන්නට සිදුවූයේ වැසිබර කාලගුණ තත්වයක් යටතේ ය.

තරගය ආරම්භයට පෙර අද හැලුණු වර්ෂාපතනය නිසා තරගය පැවැත්වීමට සිදු වූයේ මඩ සහිත තත්ත්වයකය. ලකුණු 05 ක වාසියක් අතැතිව දෙවන වටය සඳහා පිවිසි රාජකීය විද්‍යාලයීය කණ්ඩායම, කණ්ඩායමක් ලෙස ඉතා ප්‍රබල අන්දමින් ක්‍රීඩා කිරීමට සමත් වූ අතර ඒ අනුව ප්‍රබල ත්‍රිත්ව විද්‍යාලයීය කණ්ඩායම පරාජයට පත්කරමින් අඛණ්ඩව 3 වන වසරටත් බ්‍රැඩ්බි පළිහේ හිමිකාරිත්වය තම පාසලට හිමිකර දෙන්නට ඔවුන් සමත් විය.

තරග තීරක රොහාන් ප්‍රනාන්දුගේ සංඥාවත් සමඟ ලශාන් විජේසූරිය තරගය ආරම්භ කළ අතර තරගයේ පළමු මිනිත්තු කිහිපය තුළ දී රාජකීයයන්ට ප්‍රබල පීඩනයක් එල්ල කරන්නට ත්‍රිත්ව විද්‍යාලයීය ක්‍රීඩකයින් සමත් විය. ත්‍රිත්ව ක්‍රීඩකයින් හොඳින් පන්දුව හසුරුවමින් එය ඉදිරියට රැගෙන යාමට සමත් වුවත් රාජකීය කණ්ඩායමේ පසුපෙළ බිඳ දැමීමට ඔවුන්ට හැකි වූයේ නැත. කෙසේ වුවත් ඔවුන් එල්ල කළ පීඩනය ඔවුන්ට ගෝල රාමුව ඉතා ආසන්නයේ දී දඬුවම් පහර අවස්ථාවක් හිමි කර දෙන්නට ප්‍රමාණවත් විය. ඒ අනුව තරගයේ 04 වන මිනිත්තුවේ දී එම දඬුවම් පහර අවස්ථාව සාර්ථකව ලබාගත් ත්‍රිත්ව විද්‍යාලයීය කණ්ඩායමේ ලශාන් විජේසූරිය තම කණ්ඩායම තරගයේ පෙරමුණට රැගෙන එන්නට සමත් විය. (RC 00 – TCK 03).

පළමු වටයේ දී මෙන් රාජකීය ක්‍රීඩකයින්ට තරගයට අවතීර්ණ වීම සඳහා මඳ වේලාවක් ගත විය. ලීග් තරගාවලියේ ශූරයින් බවට පත්වූ රාජකීය විදුහල් කණ්ඩායම ප්‍රතිවාදීන්ගේ පසුපෙළ බිඳ දමන ආකාරය පිළිබඳව ත්‍රිත්ව විද්‍යාලයීය කණ්ඩායමට වඩා හොඳ අවබෝධයකින් ක්‍රීඩා කිරීමට සමත් විය. ඒ අනුව ඔවුන් තම ඉදිරිපෙළ ක්‍රීඩකයින් හොඳින් මෙහෙයවමින් ආසන්න අවස්ථාවන්වල දී පන්දුව ලබාගත් විගස එය රැගෙන යාමේ ක්‍රීඩා රටාවක් කරා යොමු විය. ඔවුන් ක්‍රීඩා රටාවේ සිදු කළ එම වෙනසත් සමඟ දඬුවම් පහර අවස්ථාවන් කිහිපයක්ම දිනා ගැනීමට සමත් වූ අතර එම අවස්ථාවන් ඔවුන් යොදා ගත්තේ ඔවුන්ගේ ‘Maul’ උපක්‍රමය නිර්මාණය කර ගැනීම සඳහා ය. කෙසේ වුවත් මෙවර ඔවුන්ගේ ‘Maul’ උපක්‍රමය බිඳ දමන්නට ත්‍රිත්ව විද්‍යාලයීය ක්‍රීඩකයින් සමත් විය.

රාජකීය ක්‍රීඩකයින්ගේ උපක්‍රම බිඳ දමන්නට ත්‍රිත්ව ක්‍රීඩකයින් සමත් වුවත් පන්දුව වැඩි වේලාවක් රාජකීය ක්‍රීඩකයින් සතුව පැවති හෙයින් ඔවුන් ඉදිරියට පැමිණීම වළක්වන්නට ත්‍රිත්ව ක්‍රීඩකයින්ට හැකි වූයේ නැත. රාජකීයයන් එල්ල කළ පීඩනය තවදුරටත් ඔවුන් හට දඬුවම් පහර අවස්ථාවන් හිමි කර දෙද්දී එම එක් දඬුවම් පහර අවස්ථාවක් ගෝල රාමුව හරහා එල්ල කරන්නට ඔවුන් තීරණය කළේය. ඒ අනුව ‘Full back’ ස්ථානයේ ක්‍රීඩා කරන මොහොමඩ් ෂාකීර් එම අවස්ථාව සාර්ථක කර ගත්තේ තරගයේ ලකුණු තත්වය සම කරමිනි. (RC 03 – TCK 03).   

ඉන් අනතුරුව ලශාන් විජේසූරිය නැවතත් තරගය ආරම්භ කිරීමෙන් අනතුරුව රාජකීය ක්‍රීඩකයින් අතින් සිදු වූ වරදක් හේතුවෙන් ත්‍රිත්ව ක්‍රීඩකයින් පන්දුව ප්‍රතිවාදී කලාපය වෙත රැගෙන යන්නට සමත් වූ අතර මිනිත්තු කිහිපයකින් අනතුරුව ඔවුන්ට සාර්ථක කර ගත හැකි දුරකින් දඬුවම් පහර අවස්ථාවක් හිමි විය. නමුත් එම අවස්ථාව ලබා නොගෙන එය සාමාන්‍ය පරිදි ක්‍රීඩා කිරීමට යොදා ගත් අතර උත්සාහක දිනුම් කලාපය වෙත පන්දුව රැගෙන යන්නට ඔවුන්ට හැකියාව ලැබුණේ නැත. ඉන් අනතුරුව තරගයේ පළමු අර්ධයේ අවසානය දක්වා වැඩි වේලාවක් පන්දුව තමන් සතුව තබා ගනිමින් උත්සාහක දිනුමක් වාර්තා කරගන්නට රාජකීය ක්‍රීඩකයින් උත්සාහ දැරුවත් ත්‍රිත්ව විද්‍යාලයේ පසුපෙළ ක්‍රීඩකයින් ඒ සඳහා අවස්ථාව ලබා දුන්නේ නැත.

පළමු අර්ධය: RC 03 – 03 TCK

ත්‍රිත්ව විද්‍යාලයීය ක්‍රීඩකයින් නව ඇඳුමකින් සැරසී තරගයේ දෙවන අර්ධය සඳහා පිවිසි අතර ඔවුන් පවතින ලකුණු 05ක පරතරය සාර්ථකව හඹා යාමේ දැඩි අධිෂ්ඨානයකින් පසුවන බව දිස්විය. කෙසේ වුවත් දෙවන අර්ධය ආරම්භ වී මිනිත්තු 10 ක කාලයක් ඇතුළත රාජකීය ක්‍රීඩකයින් උත්සාහක දිනුම් 2ක් වාර්තා කර ගත්තේ ත්‍රිත්ව විද්‍යාලයීය ක්‍රීඩකයින්ගේ බලාපොරොත්තු බිඳ දමමිනි. රාජකීය ක්‍රීඩකයින්ට ඔවුන්ගේ කලාපය තුළ දී දඬුවම් පහර අවස්ථාවක් ලැබුණු අතර ඔවුන් කිසිදු පැකිළීමකින් තොරව එය ඔවුන්ගේ ‘Maul’ උපක්‍රමය නිර්මාණය කර ගැනීමට යොදා ගත්තේය.

ඒ ආධාරයෙන් පන්දුව එතරම් දුරක් රැගෙන යන්නට ඔවුන් සමත් වූයේ නැතත් ඔවුන්ගේ ඉදිරිපෙළ ක්‍රීඩකයින් නැවතත් ආසන්න අවස්ථාවන්වල දී පන්දුව ලබා ගත් විගස එය රැගෙන යාමේ උපක්‍රමය කරා යොමු විය. ඒ අනුව සුළු මොහොතකින් ත්‍රිත්ව විද්‍යාලයීය කණ්ඩායමේ පසුපෙළ බිඳ දමමින් සසිත කරුණාරත්න උත්සාහක දිනුම වාර්තා කර ගන්නට සමත් විය. එහි දී අපහසු කෝණයකින් ලැබුණු ප්‍රවර්තන අවස්ථාව සාර්ථක කර ගන්නට මොහොමඩ් ෂාකීර් සමත් වූයේ නැත. ඉන් අනතුරුව නැවතත් තම කණ්ඩායමේ දෙවන උත්සාහක දිනුම වාර්තා කර ගන්නට ‘Prop’ ක්‍රීඩක හිමන්ත හිරුෂාන් සමත් විය. එහි දී ද රාජකීය ක්‍රීඩකයින් ‘Maul’ උපක්‍රමය යොදා ගත් අතර එය අවසන් වූ පසු අපහසුතාවයකින් තොරව උත්සාහක දිනුම් කලාපය වෙත පන්දුව රැගෙන යන්නට රාජකීය ක්‍රීඩකයින් සමත් විය. එහි දී ෂාකීර් ලබා ගත් ප්‍රවර්තන අවස්ථාව ගෝල රාමුවේ වැදී ඉවතට ඇදී ගියේය. (RC 13 – TCK 03).   

ක්‍රීඩා පිටියේ පැවති තෙත බරිත තත්වයත්, ලකුණු 15ක පරතරයත් නිසා ත්‍රිත්ව විද්‍යාලයීය කණ්ඩායමට ජයග්‍රහණය ලබා ගැනීමට තිබූ අවස්ථාව ඉතා සීමා සහිත විය. ඉතා වැදගත් අවස්ථාවන්වල දී ඔවුන්ගේ ක්‍රීඩකයින් අතින් සිදු වූ අතපසුවීම් තුළින් ඔවුන් හමුවේ පැවති පීඩනය තවත් ඉහළ ගියේය. තරගය ජයග්‍රහණය කිරීම අපහසු වුවත් ඔවුන් ප්‍රබල ක්‍රීඩා රටාවක් දියත් කළේය. කෙසේ වුවත් රාජකීය විද්‍යාලයීය පසුපෙළ ක්‍රීඩකයින්ගේ දක්ෂ ක්‍රියා කලාපය හමුවේ තවදුරටත් ත්‍රිත්ව කණ්ඩායමේ ක්‍රීඩකයින් අතින් වැරදි සිදු වන්නට විය. තරගය අවසාන වන්නට මිනිත්තු 03ක් ඉතිරිව තිබිය දී ත්‍රිත්ව විද්‍යාලයීය කණ්ඩායමේ අවිශ්ක ප්‍රියංකර උත්සාහක දිනුමක් වාර්තා කර ගන්නට සමත් වූ නමුත් එය රාජකීයයන්ගෙන් ජයග්‍රහණය උදුරා ගැනීමට ප්‍රමාණවත් වූයේ නැත.

දෙවන අර්ධය: RC 13 – 08 TCK (AGG: RC 35 – 25 TCK)

ThePapare.com තරගයේ වීරයා: හිමන්ත හිරුෂාන් (RC)

තරග තීරක: රොහාන් ප්‍රනාන්දු

ලකුණු ලබාගැනීම:

රාජකීය විද්‍යාලය: 13 (03)

  • උත්සාහක දිනුම්: සසිත කරුණාරත්න, හිමන්ත හිරුෂාන්
  • දඬුවම් පහර: මොහොමඩ් ෂාකීර් (1)

ත්‍රිත්ව විද්‍යාලය: 08 (03)

  • උත්සාහක දිනුම්: අවිශ්ක ප්‍රියදර්ශන
  • දඬුවම් පහර: ලශාන් විජේසූරිය (1)

 තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න  රග්බි ක්‍රීඩා පිටුවට