ඉන්දීය ටෙස්ට් සංචිතය හදිසියේම වෙනස් වේ

544

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම හා ඕස්ට්‍රේලියාව අතර මේ දිනවල පැවැත්වෙන තරග හතරකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය ආරම්භයට ප්‍රථම පැවති පුහුණු තරගයක දී ඉන්දීය යොවුන් ක්‍රීඩක මෙන්ම ආරම්භක පිතිකරුවෙක් වන ප්‍රිත්වී ෂෝ ආබාධයකට ලක්වූ අතර ඔහුගේ ආබාධය තවමත් සුවවී නොමැති නිසා සම්පූර්ණ තරගාවලියෙන්ම ඔහුව ඉවත් කිරීමට ඉන්දීය ක්‍රිකට් පරිපාලනය තීරණය කර තිබේ.

ඕස්ට්‍රේලියානුවෝ ඉන්දියාවට එරෙහිව 1-1 කරති

ඒ වෙනුවෙන් ඉන්දීය ටෙස්ට් සංචිතයට මායන්ක් අගර්වාල් කැඳවා ඇත. ඊට අමතරව වේගපන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක හර්ඩික් පාන්ඩ්‍යා ද මේ සංචිතයට ඇතුළත් කර ඇත.

ඕස්ට්‍රේලියා ක්‍රිකට් ආයතන කණ්ඩායම සමඟ පසුගිය දා සිඩ්නි හිදී පැවැත්වුණු පුහුණු තරගයක් අතරතුර මැක්ස් බ්‍රයන්ට් එල්ල කළ පහරක් හතරේ සීමාව අසල දී රැකගැනීමට ගිය 19 හැවිරිදි ෂෝ එම අවස්ථාවේ දී වළලු කර ආබාධයකට ලක්ව ඇති අතර ඉන්දීය භෞත චිකිත්සක පැට්‍රික් ෆර්හාර්ට් ඇතුළු කණ්ඩායම ඔහුව ඉතා ඉක්මනින් පිටියෙන් ඉවතට රැගෙන ගොස් ඒ සඳහා අවශ්‍ය ඉක්මන් ප්‍රතිකාර සිදු කරන ලදි.

ඒ අවස්ථාවේ දී සති දෙකක පමණ විවේකයකින් පසුව මෙය යථා තත්වයට පත්වනු ඇතැයි ඔවුන් අපේක්ෂා කළත් එය සම්පූර්ණ ලෙස සුවවීම සඳහා තවත් සති කිහිපයක කාලයක් ගත වන බව ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ භෞත චිකිත්සක ෆර්හාර්ට් මහතා පවසා තිබේ.

ඉන්දීය ක්‍රීඩකයෙකුට අකරතැබ්බයක්

දකුණතින් පිතිකරණයේ නිරත වන 27 හැවිරිදි මායන්ක් අගර්වාල් තවමත් කිසිදු ජාත්‍යන්තර ක්‍රිකට් තරගයකට මෙතෙක් ක්‍රීඩා කර නොමැති නමුත් පළමු පෙළ ක්‍රිකට් තරග 46කට සහභාගී වෙමින් ලකුණු 3599ක් රැස්කරගෙන ඇත්තේ 50කට ආසන්න දල ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යයක් රඳවා ගෙනයි.

පසුගිය ඔක්තොම්බර් මාසයේ දී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වුණු ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දී ඉන්දියාව වෙනුවෙන් ජාත්‍යන්තර ටෙස්ට් වරම් දිනා ගත්  ප්‍රිත්වී ෂෝ මේ දක්වා ටෙස්ට් තරග දෙකකට සහභාගී වී එක් ශතකයක් හා අර්ධ ශතකයක් සමඟ ලකුණු 237ක් රැස්කරගෙන ඇති අතර ඔහුගේ දල ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යය ලකුණු 118.50කට ආසන්න ඉහළ මට්ටමක පවතී.

නිමා වූ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය අතරතුර පිටකොන්ද ආශ්‍රිතව ආබාධයකට ලක්වූ තුන් ඉරියව් ක්‍රීඩක හර්ඩික් පාන්ඩ්‍යා ද ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය සමත් වීමෙන් පසුව මේ දිනවල පැවැත්වෙන රංජි කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී විය. එහි දී මුම්බායි කණ්ඩායමට එරෙහිව පැවති තරගය ක්‍රීඩා කොට ලකුණු 81කට කඩුලු 5ක් හා පිතිකරණයෙන් ලකුණු 73ක් ලබා ගනිමින් දැක්වූ දක්ෂතා නිසා නැවතත් ඉන්දීය ටෙස්ට් සංචිතයට ඇතුළත් වීමට පාන්ඩ්‍යාට මේ වන විට අවස්ථාව උදාවී තිබේ.

දෙරට අතර පැවැත්වෙන තරග 4කින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරග දෙක අවසානයේ 1-1ක් ලෙස තරගාවලිය සමතැනක පසුවන අතර තෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය මේ මස 26 වැනිදා මෙල්බර්න් හිදී පැවැත්වේ. එහි තොරතුරු ඇතුළු දෙස් විදෙස් කෙළිබිමේ තතු ඔබ වෙතට ගෙන ඒමට ThePapare.com සූදානමින් සිටී, රැඳී සිටින්න.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<