වේල්ස් කුමරුවන් සමතලා කළ විද්‍යා ප්‍රහාරය

566

මොරටුව වේල්ස් කුමර විද්‍යාලයට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කරමින් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ තෙවන සතිය ආරම්භ කරන්නට ගල්කිස්ස විද්‍යා විද්‍යාලය සමත් විය. ලොන්ඩන් පෙදෙස CR & FC ක්‍රීඩාංගණයේ පැවති මේ තරගයේ අවසන් ලකුණු තත්ත්වය දැක්වුණේ 69 – 03 ක් ලෙසිනුයි.

බෝර්නියෝ සෙවන්ස් යන ශ්‍රී ලංකා රග්බි සංචිතය

එළඹෙන සතියේ මැලේසියාවේ දී පැවැත්වීමට නියමිත බෝර්නියෝ සෙවන්ස් රග්බි තරගාවලිය සඳහා සහභාගී වීමට පහළොස් දෙනෙකුගෙන් යුතු සංචිතයක් ජාතික රග්බි තේරීම් කමිටුව විසින් තෝරා පත් කරගෙන තිබේ.

වලාකුළින් බර අඳුරු කාලගුණ තත්ත්වයක් යටතේ වේල්ස් කුමර කණ්ඩායමේ නලින් තරංග ගේ පා පහරින් තරගය ආරම්භ වී මිනිත්තු 22ක් තුල උත්සාහක දිනුම් ත්‍රිත්වයක් වාර්තා කරමින් මේ තරගයේ දිශානතිය පිළිබඳ සියල්ලන්ටම අවබෝධයක් ලබා දුන්නේ විද්‍යා විද්‍යාලයේ අංක 8 ක්‍රීඩක මුණසිංහ විසිනුයි. සෙන්ටර් ක්‍රීඩක මධුමාධව ඉන්  එක් උත්සාහක දිනුමක් ප්‍රවර්තනය කිරීමට සමත් විය. (විද්‍යා 17 – 00 වේල්ස් කුමර)

තරගය ආරම්භ වී මිනිත්තු 30ක් ගත වන විට උත්සාහක දිනුම් 4ක් සඳහා හිමි වන අතිරේක ප්‍රසාද ලකුණ තමන් සතු කර ගන්නට විද්‍යා විද්‍යාලය සමත් වුණේ ෆ්ලෑන්කර් ක්‍රීඩක ප්‍රනාන්දු වාර්තා කල උත්සාහක දිනුමත් සමඟයි. මෙවර ප්‍රවර්තනය සඳහා ෆ්ලයි හාෆ් ක්‍රීඩක මුදලිගේ දැරූ උත්සාහය ද අසාර්ථක විය. (විද්‍යා 22 – 00 වේල්ස් කුමර)

වේල්ස් කුමර විද්‍යාලයේ අත්දැකීම් මද කම දිගින් දිගටම ප්‍රදර්ශනය වෙද්දී විද්‍යා විද්‍යාලය තම ආක්‍රමණය නොනවත්වාම ඉදිරියට ගෙන යන ලදී.

විද්‍යා ක්‍රීඩකයන් සම්පූර්ණයෙන්ම තම ග්‍රහණයට නතු වූ පළමු අර්ධය අවසන් කිරීම සඳහා තවත් වරක් උත්සාහක දිනුම් රේඛාව පසු කර යන්නට සමත් වූ අතර මෙවර එහි හිමිකාරීත්වය දිනා ගත්තේ ප්‍රොප් ෆෝවර්ඩ් ක්‍රීඩක සඳලංකයි. ගෝල කණු ආසන්නයේම වාර්තා වූ මෙම උත්සාහක දිනුම පහසුවෙන් ප්‍රවර්තනය කරන්නට මධුමාධව සමත් විය. (විද්‍යා 29 – 00 වේල්ස් කුමර)

පළමු අර්ධය අවසන් වීමට මත්තෙන් මොරටු ක්‍රීඩකයන් ප්‍රතිවාදී අන්තය වෙත පන්දුව රැගෙන යාමට සමත් වුවත් උත්සාහක දිනුම් රේඛාවට පෙර පන්දුව ඔවුන් අතින් ගිලිහී ගියේ එම අර්ධය තුළ ඔවුන් මුහුණ දුන් අවාසනාව තවත් තහවුරු කරමිනුයි.

පළමු අර්ධය : විද්‍යා විද්‍යාලය 29  – වේල්ස් කුමර විද්‍යාලය 00

දෙවන අර්ධය තුළ ද වැඩි වෙනසක් කරන්නට වේල්ස් කුමරුවන් හට නොහැකි වූ අතර සිදුවූ සුළු වෙනස වුණේ විද්‍යා විද්‍යාලය පළමු අර්ධයට වඩා තවත් උත්සාහක දිනුමක් වාර්තා කිරීමට සමත් වීමත් වේල්ස් කුමර ලකුණු පුවරුව යන්තමින් එක වරක් ක්‍රියාත්මක වීමත් පමණි.

දඬුවම් පහරක් සාර්ථක කර ගත් නලින් තරංග ප්‍රථම සහ එකම වරට වේල්ස් කුමර කණ්ඩායම වෙනුවෙන් ලකුණු සටහන්කරුවන් වෙහෙස කිරීමට පෙර සහ පසු මධුමාධව විද්‍යා කණ්ඩායම වෙනුවෙන් උත්සාහක දිනුම් දෙකක් වාර්තා කරන ලදී. විද්‍යා ක්‍රීඩක ෆොන්සේකා ඕස්ට්‍රේලියාවේ ජෝන් ඊල්ස් සිහි ගන්වන පහරකින් පළමු උත්සාහක දිනුම ප්‍රවර්තනය කරද්දී දෙවන අවස්ථාවේ දී මධුමාධව විසින්ම තම උත්සාහක දිනුමට අතිරේක ලකුණු එකතු කරන්නට සමත් විය. (විද්‍යා 43 – 03 වේල්ස් කුමර)

වේල්ස් කුමර කණ්ඩායම 12න් පහල කණ්ඩායමක තත්ත්වයට ඇද දැමූ විද්‍යා ක්‍රීඩකයන් තරගයේ වේගය දිගින් දිගටම වැඩි කරන්නට සමත් වෙද්දී විඟර් ක්‍රීඩක දසනායක ද තමන්ගේ නම ලකුණු ලැයිස්තුවට ඇතුලත් කර ගත අතර එහි ප්‍රවර්තනය සාර්ථක කර ගන්නට මධුමාධව හට නොහැකි විය. (විද්‍යා 48 – 03 වේල්ස් කුමර)

ප්‍රොප් ෆෝවර්ඩ් ක්‍රීඩක සඳලංක තම ලකුණු එකතුව දෙගුණ කර ගනිමින් විද්‍යා කණ්ඩායමේ 9 වන උත්සාහක දිනුම වාර්තා කරද්දී එම ලැයිස්තුවේ 10 වන ඇතුළත් කිරීම සිදු කෙරුනේ ආදේශක ක්‍රීඩක දික්කුඹුරගේ නමිනුයි. හංසජ සහ කෝසල පිළිවෙළින් එම උත්සාහක දිනුම් ද්විත්වයම ප්‍රවර්තනය කරන ලදී. (විද්‍යා 62 – 03 වේල්ස් කුමර)

තම විශිෂ්ට දස්කම් අවසන් කිරීම සඳහා තවත් වරක් ලකුණු ලබා ගනිමින් උත්සාහක දිනුම් ත්‍රිත්වයක් කරා ඇදෙන්නට මධුමාධව සමත් වීමත් සමඟ යලිත් වරක් කෝසල ක්‍රියාත්මක වුනේ එහි ප්‍රවර්තනය නිවැරදිව එල්ල කරමිනුයි. ඒ සමගම විනිසුරු තරග අවසන් බව පැවසෙන සංඥාව  නිකුත් කළේ වේල්ස් කුමරුවන්ට සැනසුම් සුසුමක් හෙලීමට අවස්ථාව උදා කරමින්.

අවසන් ලකුණු තත්ත්වය – විද්‍යා විද්‍යාලය 69 – වේල්ස් කුමර විද්‍යාලය 03

ThePapare.com තරගයේ වීරයා – මුණසිංහ (විද්‍යා විද්‍යාල අංක 8 ක්‍රීඩක)

ලකුණු ලබා ගත් ක්‍රීඩකයන්

විද්‍යා විද්‍යාලය

  • උත්සාහක දිනුම් – මුණසිංහ (3), ප්‍රනාන්දු (1), සඳලංක (2), මධුමාධව (3), දසනායක (1), දික්කුඹුර (1)
  • ප්‍රවර්තන – ප්‍රනාන්දු (1), මධුමාධව (3), හංසජ (1), කෝසල (2)

වේල්ස් කුමර විද්‍යාලය

දඬුවම් පහර – නලින් තරංග (1)

  තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි ක්‍රීඩා පිටුවට