වේල්ස් කුමරයේ පිහිනුම් තටාකය සිසු අයිතියට

939
POW Swimming Pool Complex 2017
Photo Courtesy - Prince of Wales' College Media and Broadcasting Unit

මොරටුව වේල්ස් කුමාර විද්‍යාලයේ ඉදි කෙරුණු නව පිහිනුම් තටාක සංකීර්ණය ඊයේ (01) දිනයේ දී ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ සුරතින් සිසු අයිතියට පත්කරන ලදි. මේ සඳහා පැවති උත්සවය සඳහා ගරු අධ්‍යාපන අමාත්‍යවරයා, ගරු මුදල් රාජ්‍ය අමාත්‍යවරයා ඇතුළු තවත් සම්භාවනීය අමුත්තන් රැසක් එක්ව සිටියහ.

යළිත් වරක් ශූරතාවය සාන්ත ජෝසප් හා මහාමායා විදුහලට

44 වන වරටත් සංවිධානය කරන ලද සමස්ත ලංකා වයස් කාණ්ඩ පිහිනුම් ශූරතා තරගාවලිය ඊයේ (2)…

Prince of Wales' College Media and Broadcasting Unit
Photo Courtesy – Prince of Wales’ College Media and Broadcasting Unit

ශ්‍රී ලංකාවේ පාසල් ක්‍රීඩා ක්ෂේත්‍රයේ ඉදිරියෙන්ම සිටින පාසලක් ලෙස මොරටුව වේල්ස් කුමාර විද්‍යාලය හඳුන්වා දිය හැක. නමුත් වසර ගණනාවක් පුරාවට ඔවුන්ට තිබූ විශාල අඩුපාඩුවක් වූයේ ඔවුන් සතුව පාසල තුළ පිහිනුම් තටාකයක් නොතිබීමයි. මේ හේතුවෙන් විද්‍යාලයේ පිහිනුම් ක්‍රීඩාවේ නිරත වන ක්‍රීඩකයින් හට සිය පුහුණුවීම් කටයුතු සඳහා පිටස්තර පිහිනුම් ක්‍රීඩාංගණ භාවිතා කිරීමට සිදු විය. කෙසේ නමුත් ඒ තත්වය යටතේ වුවද පිහිනුම් ක්‍රීඩාවෙන් සමස්ත ලංකා මට්ටම තුළ පවා ජයග්‍රහණ වාර්තා කරන්නට වේල්ස් කුමරයේ පිහිනුම් ක්‍රීඩකයින් සමත් විය.

මෙම අඩුපාඩුව වටහාගත් එම විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමය පාසල තුළ පිහිනුම් තටාක සංකීර්ණයක් ඉදිකිරීමට ව්‍යාපෘතියක් ඇරඹීය. ඒ අනුව 2014 වසරේ නොවැම්බර් මස 07 වන දින පිහිනුම් තටාක සංකීර්ණය ඉදිකිරීම සඳහා මුල්ගල තැබිණ. වසර 3කට ආසන්න කාලයක දී එහි ඉදිකිරීම් කටයුතු අවසන් කරමින් එය ඊයේ සිසු අයිතියට පත්කරන ලදි.

Photo Courtesy - Prince of Wales' College Media and Broadcasting Unit
Photo Courtesy – Prince of Wales’ College Media and Broadcasting Unit

මීටර 25ක දුර ප්‍රමාණයකින් සහ පිහිනුම් මංතීරු 8කින් සමන්විත මෙම පිහිනුම් තටාකය සඳහා වැය වූ මුළු මුදල රුපියල් මිලියන 44කි. මෙම සංකීර්ණය නැරඹුම් මැදිරියක්, තවත් කුඩා පිහිනුම් තටාකයක් ඇතුළු අවශ්‍ය අංග සියල්ලෙන්ම පරිපූර්ණය. ඒ සඳහා වැය වූ මුදල් ආරම්භයේ දී එවකට අමාත්‍යවරයෙක්ව සිටි ජීවන් කුමාරණතුංග මහතාගේ විමධ්‍යගත අරමුදලෙන් වෙන් කෙරුණු අතර ඉන් අනතුරුව ඉතිරි මුදල අතිගරු වත්මන් ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි අධ්‍යාපන අමාත්‍යංශය මඟින් වෙන්කරන ලදි.

පිහිනුම් තටාක සංකීර්ණය සිසු අයිතියට පත්කිරීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා උත්සව සභාව අමතමින් පවසා සිටියේ,

“වේල්ස් කුමාර විද්‍යාලය කියන්නේ අතීතයේ සිටම ලංකාවේ පාසල් ක්‍රීඩා ක්ෂේත්‍රය තුළ ඉහළ දස්කම් දක්වපු පාසලක්. ක්‍රිකට්, රග්බි ආදී මේ සෑම ක්‍රීඩාවකින්ම ඔවුන් ඉතා ඉහළ දස්කම් දක්වලා තිබෙනවා. ඒ වගේම පිහිනුම් තටාකයක් නැතුව වුනත් පිහිනුම් ක්‍රීඩාවෙනුත් දස්කම් දක්වන්න ඔවුන් සමත් වෙලා තිබෙනවා. ඉතින් මේ ඉදිකෙරුණු පිහිනුම් තටාකය වේල්ස් කුමාර විද්‍යාලයට මෙන්ම වේල්ස් කුමරි විද්‍යාලයටත් පිහිනුම් ක්‍රීඩාවෙන් තවත් ඉදිරියට යාමට ඉදිරියේ දී විශාල ප්‍රයෝජනයක් වෙයි.”

අනතුරුව මෙම අවස්ථාව සනිටුහන් කිරීම සඳහා වේල්ස් කුමාර විද්‍යාලයේ සහ වේල්ස් කුමරි විද්‍යාලයේ පිහිනුම් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සහභාගීත්වයෙන් ප්‍රදර්ශනාත්මක පිහිනුම් තරග දෙකක් ද පවත්වන ලදි.

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<