මයිලෝ අගමැති කුසලාන රග්බි තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගය අද (18) කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ දී පැවති අතර එහි දී කොටහේන සාන්ත බෙනඩික්ට් විද්‍යාලය ලකුණු 18-41ක් ලෙස පරාජය කරමින් අවසන් මහා තරගයට පිවිසෙන්නට කුරුණෑගල මලියදේව විද්‍යාලය සමත් විය.

අවසන් නිමේශයේ වික්‍රමයෙන් ආනන්ද විද්‍යාලය අවසන් තරගයට

මයිලෝ ආයතනය මගින් සංවිධානය කරනු ලබන පිළිමළුන් පිටුදැකීමේ රග්බි තරගාවලියේ අගමැති කුසලානය සඳහා..

මලියදේව ක්‍රීඩක ඩී. අයි. හේරත් විසින් තරගයට ආරම්භය ලබා ගත් අතර තරගය ආරම්භ කළ සැණින්ම මලියදේව ක්‍රීඩක එස්. සී. හේරත්, බෙනඩික්ට් විද්‍යාලයේ හිඩැස් අතරින් තම විද්‍යාලයේ උත්සාහක දිනුම් රේඛාව පසු කර යන්නට සමත් විය. එහි ප්‍රවර්තන අවස්ථාව සාර්ථක කර දීමට ආර්. එන්. හේරත්ට හැකි විය. (බෙනඩික්ට් 00 – 07 මලියදේව)

තරගයේ 10 වැනි මිනිත්තුවේ දී මලියදේව විද්‍යාලයේ අයි. යූ. දේවපුරට කහ කාඩ් පතක් හිමි වූ නිසා සාන්ත බෙනඩික්ට් විද්‍යාලයට දඬුවම් පහර අවස්ථාවක් හිමි විය. එය සාර්ථක කර ගැනීමට කේ. ඒ. පෙරේරාට හැකි විය. (බෙනඩික්ට් 03 – 07 මලියදේව)

මලියදේව විද්‍යාලයේ එච්. ධනංජය විසින් තරගයේ 14 වැනි මිනිත්තුවේ දී උත්සාහක දිනුමක් වාර්තා කළ අතර, එය වැළැක්වීමට බෙනඩික්ට් ක්‍රීඩකයින් වෑයම් කළත් එය අසාර්ථක විය. එහි ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමට ආර්. එන්. හේරත්ට හැකි විය. (බෙනඩික්ට් 03 – 14 මලියදේව)

පළමු අර්ධයේ මැද භාගයේ දෙපිලම  කරට කර සටනක නිරත වුවත්, එහි වැඩි ගෞරවය මලියදේව විද්‍යාලයට හිමි විය. තරගයේ 32 වැනි මිනිත්තුවේ දී එස්. සී. හේරත් තම දෙවන උත්සාහක දිනුම් අවස්ථාව ද සාර්ථක කර ගෙන මලියදේව විද්‍යාලය තව තවත් ඉදිරියට රැගෙන යන ලදි. දිගු දුර ප්‍රවර්තන අවස්ථාව එච්. එස්. විජේකෝන් වෙත හිමි වූ අතර, එය සාර්ථක කර ගැනීමට ඔහු අපොහොසත්  විය. (බෙනඩික්ට් 03 – 19 මලියදේව)

පළමු අර්ධය: සාන්ත බෙනඩික්ට් විද්‍යාලය 03 – 19 මලියදේව විද්‍යාලය

පළමු අර්ධයේ වැඩි වාසිය තමන් සතු කර ගත් මලියදේව විද්‍යාලය, තරගයේ දෙවන අර්ධය ආරම්භ වී සුළු මොහොතක් ගත වන විට යළිත් ක්‍රියාත්මක වූ එස්. සී. හේරත් තම තෙවන උත්සාහක දිනුම සාර්ථක කර ගත් අතර, බෙනඩික්ට් ක්‍රීඩකයින් ඔහු පසුපසින් හඹා පැමිණියත්, ඔහු සාර්ථකව ධවල රේඛාව පසු කර යන්නට සමත් විය. නමුත් ප්‍රවර්තන අවස්ථාව අසාර්ථකයි. (බෙනඩික්ට් 03 – 24 මලියදේව)

තරගයේ 48 වැනි මිනිත්තුවේ දී යළිත් වරක් ක්‍රියාත්මක වූ එච්. ධනංජය, ක්‍රීඩකයින් තිදෙනෙකු විසින් හුවමාරු කර ලබා දුන් පන්දුව සාර්ථකව උත්සාහක දිනුම් සීමාවෙන් ඔබ්බට රැගෙන ගියේ තරගයේ වැඩි වාසිය තම විද්‍යාලය වෙත හිමි කර දෙමිනි. එහි ප්‍රවර්තනය අසාර්ථකයි. (බෙනඩික්ට් 03 – 29 මලියදේව)

ධනංජය තරගයේ 54 වැනි මිනිත්තුවේ දී නැවතත් ක්‍රියාත්මක වෙමින් තම විද්‍යාලයේ සය වන උත්සාහක දිනුම හා තම තෙවන උත්සාහක දිනුම වාර්තා කරමින් මලියදේව ලකුණු පුවරුව ලකුණු 34ක් දක්වා වර්ධනය කරන ලදි. එහි ප්‍රවර්තන අවස්ථාව ද සාර්ථක කර ගැනීමට හේරත්ට නොහැකි විය. (බෙනඩික්ට් 03 – 34 මලියදේව)

තරගයේ 66 වැනි මිනිත්තුවේ දී පී. ඒ. වීරරත්න විසින් තම පළමු උත්සාහක දිනුම වාර්තා කිරීමට සමත් වූයේ, පිටියේ මැද දී ලැබුණු පන්දුව සාන්ත බෙනඩික්ට් විද්‍යාලයේ පසුපෙළ අතරින් සාර්ථකව උත්සාහක දිනුම් සීමාව වෙත ගෙන යමිනි. එහි ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමට හේරත් සමත් විය. (බෙනඩික්ට් 03 –  41 මලියදේව)

74 වැනි මිනිත්තුවේ දී නැවත වරක් සාන්ත බෙනඩික්ට් විද්‍යාලයට දඬුවම් පහර අවස්ථාවක් හිමි විය. එය සාර්ථක කර ගැනීමට කේ. ඒ. පෙරේරාට හැකි විය. (බෙනඩික්ට් 06 – 41 මලියදේව)

තරගයේ අවසන් භාගය තුල සාන්ත බෙනඩික්ට් විද්‍යාලය නව ජවයකින් ක්‍රීඩා කළ අතර, ඔවුන් වෙනුවෙන් 76 වැනි මිනිත්තුවේ දී ඩී. පී. නදීශ් උත්සාහක දිනුමක් ලබා ගත්තේය. එහි ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමට ද ඔවුන්ට හැකි විය. (බෙනඩික්ට් 13 – 41 මලියදේව)

ඒ. එස්. පෙරේරා 78 වැනි මිනිත්තුවේ දී උත්සාහක දිනුම් අවස්ථාවක් සාන්ත බෙනඩික්ට් විද්‍යාලය වෙනුවෙන් සාර්ථක කර ගත්තේය. නමුත් එහි ප්‍රවර්තනය අසාර්ථක විය. (බෙනඩික්ට් 18 – 41 මලියදේව)

අවසන් ලකුණු තත්වය – සාන්ත බෙනඩික්ට් විද්‍යාලය 18 – 41 මලියදේව විද්‍යාලය

ලකුණු ලබා ගැනීම

මලියදේව විද්‍යාලය – 41 (7 T, 3 C, 0 P)

  • උත්සාහක දිනුම් – එස්. සී. හේරත් 3, එච්. ධනංජය 3, පී. ඒ. වීරරත්න 1
  • ප්‍රවර්තන – ආර්. එන්. හේරත් 3

සාන්ත බෙනඩික්ට් විද්‍යාලය – 18 ( 2 T, 1 C, 2 P)

  • උත්සාහක දිනුම් – ඩී. පී. නදීශ් 1, ඒ. එස්. පෙරේරා 1
  • ප්‍රවර්තන – කේ. ඒ. පෙරේරා 1
  • දඩුවම් පහර – කේ. ඒ. පෙරේරා 2

ThePapare.com තරගයේ වීරයා – එච්. ධනංජය (මලියදේව විද්‍යාලය)

මයිලෝ අගමැති කුසලාන රග්බි තරගාවලියේ අවසන් මහා තරගය කොළඹ ආනන්ද විද්‍යාලය හා කුරුණෑගල මලියදේව විද්‍යාලය අතර ලබන 23 වැනි සිකුරාදා කොළඹ සුගතදාස පිටියේ දී පැවැත්වේ.

 තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න  රග්බි ක්‍රීඩා පිටුවට