චමෝද් වික්‍රමසිංහ පන්දුවෙනුත්, පිත්තෙනුත් දස්කම් දක්වයි

251

“ප්‍රීමා කුසලාන වයස අවුරුදු 15න් අන්තර් පළාත් ක්‍රිකට් තරගාවලිය” නොකඩවා 11 වැනි වතාවටත් මේ වසරේ දී පැවැත්වේ. එහි මූලික වටයේ තරග කිහිපයක් ඊයේ (21) ක්‍රීඩාංගණ කිහිපයක දී ම පැවැත්වූ අතර එහි දී, ඌව, බස්නාහිර පළාත් දකුණ, බස්නාහිර පළාත් උතුර (පිටත), මධ්‍යම, දකුණ හා බස්නාහිර පළාත් මධ්‍යම යන කණ්ඩායම් ජයග්‍රහණ ලබා ගන්නා ලදි.

අන්තර් පළාත් කුසලානයට 15න් පහළ ක්‍රීඩකයින් සූදානම්

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව නගා සිටුවීමේ බීජාංකුර නැතහොත් ජාතික සිහිනය ජය ගැනීමට වෙර දරණ යොවුන්..

මධ්‍යම පළාත හා උතුරු මැද පළාත

චමෝද් වික්‍රමසිංහගේ තුන් ඉරියව් දස්කම් පිළිබඳව කතාබහට ලක්වූ මෙම තරගය අනුරාධපුරේ දී පැවැත්විය.

කාසියේ වාසිය ජයග්‍රහණය කළ සත්කාරක උතුරු මැද පළාත පළමුව පන්දු රැකීමට තීරණය කළේය. මෙම තරගයෙන් මධ්‍යම පළාතට ලකුණු 120ක ජයක් ලැබුණි.

මධ්‍යම පළාත වෙනුවෙන් චමෝද් වික්‍රමසිංහ ශතකයක් වාර්තා කළේය. ඔහුට සහය වූ අභිශේක් කුමාර ලකුණු 62යි. දිලශ සඳරුවන් කඩුලු 3යි. අවසානයේ ඔවුන් ලකුණු 278ක් ලබා ගන්නා ලදි.

පිළිතුරු ඉනිම දියත් කළ උතුරු මැද ඉනිමට මනීශ රුක්ශාන් සිය උපරිමය ඉටු කළේ, ලකුණු 42ක් ලබා ගනිමිනි. සමිත් සපුන්ත ලකුණු 31යි. පන්දු යැවීමෙන් ද දස්කම් අතරට පැමිණි චමෝද් කඩුලු 3ක් දවා ගැනීමට සමත් විය.

මධ්‍යම පළාත – 278/8 (50): චමෝද් වික්‍රමසිංහ 117, අභිශේක කුමාර 62, දිලීශ සඳරුවන් 3/56.

උතුරු මැද පළාත – 158/10 (43.3): මනීශ රුක්ශාන් 42, සමිත් සපුන්තන 31, කවිඳු ඒකනායක 25*, චමෝද් වික්‍රමසිංහ 3/14.


ඌව පළාත හා උතුරු පළාත

යාපනය සාන්ත පැට්‍රික් විදුහල් පිටියේ දී පැවැත්වූ මෙම තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ ඌව පළාත් කණ්ඩායම පළමුව පිතිකරණයේ නිරත විය. මෙහි දී ඌව පළාත් කණ්ඩායම ලකුණු 166ක දැවැන්ත ජයක් ලබා ගන්නා ලදි.

ලශේන් කෙනුල ඌව පළාතට සවිමත් අඩිතාලමක් සකස් කරන විට ඔහුට සහය වූ සකුන නිදර්ශන ලකුණු 55යි. අවසානයේ සියල්ලන්ම දැවී ඔවුන්ට ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 281කි. ටී. දිනෝශාන් කඩුලු 5යි.

ලකුණු 282ක අභියෝගාත්මක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි උතුරු කණ්ඩායමට බී. ඉන්තුජාන් ලකුණු 24ක් එක් කළ ද, එය ඔවුන්ගේ අරමුණ සාක්ෂාත් කර ගැනීමට ප්‍රමාණවත් නොවීය. දුමේෂ් තිමිර ලකුණු 07කට කඩුලු 2යි.

ඌව පළාත – 281/10 (49.2): ලශේන් කෙනුල 82, සකුන නිදර්ශන 55, රංගනාත් රන්දුනු 36, තෙවින් අමරසිංහ 31, ටී. දිනෝශාන් 5/48, ඩී. ජොනතන් 3/36.

උතුරු පළාත – 115/10 (39.1): බී. ඉන්තුජාන් 24, දුමේෂ් තිමිර 2/07, සවිත් බස්නායක 2/19, නිපුන් කාංචන 2/22, කල්ප භානුක 2/35.

ඇලෝසියස් සහ ත්‍රිත්ව විද්‍යාලවලට දැවැන්ත ජයග්‍රහණ

පාසල් ක්‍රිකට් ක්‍රීඩාව නගා සිටුවීමට ප්‍රබල අත්වැලක් සපයන සිංගර් වයස අවුරුදු 19න් පහළ දෙදින ක්‍රිකට් තරගාවලියේ…

බස්නාහිර පළාත් දකුණු (පිටත) හා බස්නාහිර පළාත් දකුණ

බස්නාහිර පළාත් දකුණට කඩුලු 3ක ජයක් හිමි කර දුන් මෙම තරගය බණ්ඩාරගම පිටියේ දී පැවැත්විය. බස්නාහිර පළාත් දකුණු (පිටත) පිල කාසියේ වාසිය ජයග්‍රහණය කරමින් පළමුව පන්දුවට පහර දීමට තීරණය කරන ලදි.

රනේශ් සිල්වා බස්නාහිර පළාත් දකුණු ඉනිම ලකුණු 169ක් වැනි මට්ටමකට ඔසවා තැබීමට සමත් විය. පන්දු යැවීමේ දී අශාන් ප්‍රනාන්දු ලකුණු 31ක් තුළ කඩුලු 4යි.

කඩුලු 7ක් පමණක් දැවී ලකුණු 174ක් ලබාගෙන මෙම තරගය ජයග්‍රහණය කළ බස්නාහිර පළාත් දකුණු පිල වෙනුවෙන් ප්‍රභාශ්වර හේරත් හා චමෝද් ගිහාන් සවිමත් අඩිතාලමක් දමන ලදි. එහි දී ඔවුන් දෙදෙනා පිළිවෙළින් ලකුණු 47ක් හා ලකුණු 39ක් ලබා ගත්තේය. හශේන් දුමිඳු හා චාරුක ජයතිලක කඩුලු 2 බැගින් දවා ගන්නා ලදි.

බස්නාහිර පළාත් දකුණු (පිටත) – 169/10 (40.4): රනේශ් සිල්වා 70, ඉශාර සස්මිත 23, අශාන් ප්‍රනාන්දු 4/31, විනුජ රාම්පෝල් 2/21, විහඟ මෙන්ඩිස් 2/34.

බස්නාහිර පළාත් දකුණ – 174/7 (41.4): ප්‍රභාශ්වර හේරත් 47, චමෝද් ගිහාන් 39, පසිඳු පැතුම් 26*, හශේන් උමින්ද 2/38, චාරුක ජයතිලක 2/39.


බස්නාහිර පළාත් උතුර (පිටත) හා වයඹ

ශෙනාස් සංදීපගේ මනරම් පිතිකරණයෙන් බලගැන්වුනු මෙම තරගය ලකුණු 114කින් ජයග්‍රහණය කිරීමට බස්නාහිර පළාත් උතුර (පිටත) කණ්ඩායම සමත් විය. තරගය කුරුණෑගල මලියදේව පිටියේ පැවැත්විය.

වයඹ පන්දු යවන්නන් හට අභියෝගයක් වූ ශෙනාස් ලකුණු 60යි. පසිඳු ශර්මන් ද ශෙනාස් හට සහය වූයේ, සිය පිත්ත අර්ධ ශතකයක් වෙත මෙහෙයවමිනි. අවසානයේ ඔවුන් ලකුණු 249ක් වැනි ප්‍රබල ලකුණු පුවරුවක් නිර්මාණය කරන ලදි. පන්දු යැවීමේ දී කඩුලු 3ක් දවාලීමට අංජන සිවරත්නට හැකි විය.

වයඹ පිල ඉතාමත් මන්දගාමී පිතිකරණයක නිරත වූ නිසා මෙම ඉලක්කය හඹා යාමට ඔවුන්ට නොහැකි විය. රිශී අධිශාතන් ලකුණු 25යි. ඔවුන්ට නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 9ක් දැවී ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 135කි. මිතුන් සෙනරත් හා දිනෙත් තත්සර කඩුලු 2යි.

බස්නාහිර පළාත් උතුර (පිටත) – 249/10 (50): ශෙනාස් සංදීප 60, පසිඳු ශර්මාන් 54, සහන් කෝසල 40, හංසජ ඉහාන් 24, අංජන සිවරත්න 3/40, කාවින්ද ඉශාර 3/45.

වයඹ – 135/9 (50): රිශී අධිශාතන් 25, අංජන සිවරත්න 22, මිතුන් සෙනරත් 2/18, දිනෙත් තත්සර 2/22.

ත්‍රිත්ව විද්‍යාලය වෙනුවෙන් කවිශ්ක සේනාධීරගෙන් සුපිරි පන්දු යැවීමක්!

පාසල් ක්‍රිකට් ක්‍රීඩාවේ දක්ෂයින් උරෙනුර ගැටෙන සිංගර් වයස අවුරුදු 19න් පහළ පාසල් ක්‍රිකට් තරගාවලියේ පළමු…

නැගෙනහිර පළාත හා දකුණු පළාත

දකුණු පළාතට කඩුලු 3ක තියුණු ජයක් හිමි කර දුන් මෙම තරගය රත්ගම මහජන ක්‍රීඩා පිටියේ දී අවසන් විය.

කාසියේ වාසිය ජයග්‍රහණය කළ නැගෙනහිර පළාත පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ ද, එය ඔවුන්ගේ ප්‍රතිඵලයට බලපෑමක් එල්ල කළ හැකි සාර්ථක තීරණයක් බවට පත්කර ගැනීමට ඔවුන් අපොහොසත් විය. නමුත් තරගකාරී පිතිකරණයක නිරත වූ පසිඳු දිල්හාර ලකුණු 52ක් ලබාගෙන සිය කණ්ඩායම ලකුණු 126ක් දක්වා ඔසවා තබන ලදි. කුශාන් මදුසංක කඩුලු 4යි.

පිළිතුරු ඉනිම දියත් කළ දකුණු පළාත් කණ්ඩායම ජයග්‍රහණය කරා පහසුවෙන්ම මෙහෙයවූ හරින්ත ජයසිංහ ලකුණු 40ක් ලබා ගැනීමට සමත් විය. ඔවුන් පන්දුවාර 29යි එක් පන්දුවක් අවසානයේ කඩුලු 7ක් දැවී සිය ඉලක්කය සපුරා ගත්තේය.

නැගෙනහිර පළාත – 126/10 (45.2): පසිඳු දිල්හාර 52, කුශාන් මදුසංක 4/15, නවෝද් පරණවිතාන 2/13.

දකුණු පළාත – 127/7 (29.1): හරින්ත ජයසිංහ 40.


බස්නාහිර පළාත් මධ්‍යම හා බස්නාහිර පළාත් උතුර

බස්නාහිර පළාත් මධ්‍යම පිළ මෙම තරගය ලකුණු 38කින් ජයග්‍රහණය කරන ලදි. තරගය කොළඹ තර්ස්ටන් පිටියේ දී පැවැත්විය.

බස්නාහිර පළාත් උතුරු පිලේ ආරාධනය පරිදි පිටියට පැමිණි බස්නාහිර පළාත් මධ්‍යම කණ්ඩායම වෙනුවෙන් අමිත දාබරේ අර්ධ ශතකයක් වාර්තා කර ගත්තේය. ඔහුට අමතරව කණ්ඩායම් නායක පවන් රත්නායක ලකුණු 39ක් රැස්කර ගන්නා විට, පසුපෙළින් පැමිණි ශසික නිර්මාල් ද ලකුණු 39ක් ලබා ගන්නා ලදි. ටෙහාන් පෙරේරා කඩුලු 4යි.

ලකුණු 176ක ඉලක්කයක් හඹා යාමට පිටියට පැමිණි බස්නාහිර පළාත් උතුරට සියල්ලන්ම දැවී රැස්කර ගැනීමට හැකි වූයේ ලකුණු 137කි. එහි දී යසිත් රූපසිංහ ලකුණු 56ක් රැස්කර ගත්ත ද, එය ඔවුන්ගේ ජයග්‍රහණයට අස්වැසිල්ලක් නොවීය. සම්පත් නිස්සංක කඩුලු 2යි.

බස්නාහිර පළාත් මධ්‍යම – 175/10 (44): අමිත දාබරේ 53, පවන් රත්නායක 39, ශසික නිර්මාල් 39, බවන්ත ජයසිංහ 20, ටෙහාන් පෙරේරා 4/36, ලසිත් චේතන 2/26.

බස්නාහිර පළාත් උතුර – 137/10 (33.2): යසිත් රූපසිංහ 56, ටෙහාන් පෙරේරා 23, සම්පත් නිස්සංක 2/27

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න –ක්‍රිකට් ක්‍රීඩා පිටුවට <<