පසුගිය අගෝස්තු 27 වැනිදා පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ දී පැවති තෙවැනි එක්දින තරගය අතරතුර දී සිදු වූ ඉතාමත් ආන්දෝලනාත්මක මහජන කැලඹීමෙන් දිනක් ගත වන විට මෙතෙක් කලක් කටයුතු කළ තේරීම් කමිටුව තම ඉල්ලා අස්වීම ක්‍රීඩා ඇමතිවරයා වෙත භාර දීමට කටයුතු කරන ලදි.

ඔවුන් අද දින (30) කොළඹ දී පැවති විශේෂ සාකච්ඡාවක් අතරතුර දී මෙම තීරණයට හේතු වූ කරුණු කාරණා පිළිබඳව විශේෂ ප්‍රකාශයක් ද සිදු කරන ලදි. පහතින් දැක්වෙන්නේ එම ප්‍රකාශයයි!

ක්‍රිකට් තේරීම් කමිටුව ඉල්ලා අස්වෙයි

සනත් ජයසූරිය ප්‍රමුඛ ක්‍රිකට් තේරීම් කමිටුව අද (29) තමන්ගේ ඉල්ලා අස්වීමේ ලිපි, ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා වෙත යවා තිබේ.ශ්‍රී ලංකාව..

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හරහා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ජාතික ක්‍රිකට් තේරීම් කමිටුවේ සාමාජික සනත් ජයසූරිය (සභාපති), අසංක ගුරුසිංහ, රොමේෂ් කළුවිතාරණ, එරික් උපශාන්ත සහ රංජිත් මධුසිංහ යන අය මෙසේ දන්වා සිටියි.

———– උපුටා ගැනීම ආරම්භයි ————-

“අප ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් තේරීම් කමිටුව වශයෙන් බරපතළ විචාරණයකින් හා සලකා බැලීමකින් අනතුරුව දැන් පැවැත්වෙන ශ්‍රී ලංකා – ඉන්දීය තරගාවලියෙන් පසුව බල පැවැත්වෙන පරිදි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පත්කරනු ලැබූ ක්‍රිකට් තේරීම් කමිටුවේ තනතුරුවලින් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.

අප විසින් මෙම තීරණය ගනු ලබන්නේ ක්‍රීඩාවේ උපරිම යහපත පිළිබඳ සැලකිල්ල යොමු කරමින් හා විවිධ පාර්ශවයන් මගින් ද්වේශ සහගත සිතුවිල්ලෙන් යුක්තව සිදු කරනු ලබන අහිතකර හා අනිසි විවේචන මගින් ක්‍රීඩාවේ නාමයට සිදු වන හානියන් වළක්වා ගැනීමේ අදහසින්ය. ක්‍රීඩාව තුලින් වරින්වර සිදුවන විවිධ පසුබැසීම් උපයෝගී කර ගනිමින් සිදු කරනු ලබන විවිධ වූ උසිගැන්වීම් මේ වන විට මහජන නොසන්සුන්තාවයන් සඳහා ද හේතු වී ඇති අතර, එකී ක්‍රියාමාර්ග මඟින් කෙටි හා දිගු කාලීනව ක්‍රීඩකයින් අධෛර්යයට පත් කරලමින් ශ්‍රී ලංකා කණ්ඩායම, පුහුණු කාර්‍ය මණ්ඩලය, තේරීම් කමිටුව, පරිපාලනය සහ සමස්ත ශ්‍රී ලංකාවම කෙරෙහි වේදනාකාරී සහ වැරදි සහගත පින්තූරයක් ජාත්‍යන්තරය ඉදිරියේ නිර්මාණය කිරීමට දායක කරනු ලබයි.

පසුගිය ඉරිදා පල්ලෙකැලේ පැවති 3 වැනි එක්දින තරගයේ දී අත්දැකීමට සිදු වූ නොසැලකිලිමත් සහ නොහික්මුණු හැසිරීම් අප හට අත්දැකීමට සිදු වූ අවාසනාවන්තම සිදුවීම වන අතර, සංවිධානාත්මක අඳුරු පාර්ශවයන් විසින් ශ්‍රී ලාංකික ජනතාවගේ සිත් තුල ක්‍රෝධය හා පිළිකුල ඇති කරවමින් ශ්‍රී ලාංකේය ක්‍රිකට් ක්‍රීඩාව පමණක් නොව අපේ රටට, අපේ ජනතාවට සහ අපගේ ආඩම්බර සංස්කෘතියට හානි පමුණුවනු ලබන කටයුතු වළක්වාලමින් ගෞරවයක් ගෙන ඒමට හැකිවනු ඇතැයි අප අපේක්ෂා කරයි.

පසුගිය මාස 15ක කාලය පුරාවට අප ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් අසීමිත කැප කිරීම් සිදුකරමින්, පවුලේ සහ ව්‍යාපාරික කටයුතු නොසලකමින් ක්‍රිකට් සමඟ බද්ධව ඇප කැපවී කටයුතු කළ අතර, අප විසින් ගනු ලැබූ සෑම තීරණයකටම ක්‍රිකට් ක්‍රීඩකයින් ලෙස අප ලැබූ අත්දැකීම් හා විශේෂඥතාවයන් සංයෝජනය කර යොදා ගනු ලැබුවා. වරින් වර ක්‍රීඩකයින් විසින් මුහුණ දෙනු ලැබූ හදිසි ආබාධ තත්ත්වයන් මඟින් තේරීම් කමිටුව වන අප හට ක්‍රීඩකයින් තේරීම් කටයුතුවල දී අපහසුතාවයන්ට මුහුණ දීමට සිදු වුනා. ප්‍රතිවාදී කණ්ඩායම සඳහා අවශ්‍ය වූ විශේෂිත සංයුතියට ගැළපෙන ක්‍රීඩකයින්ගේ අවශ්‍යතාවය එමනිසා සපුරා ගැනීමේ දුෂ්කරතාවයන් හට අප මුහුණ දුන්නා. එහෙත් අපගේ ජාතික වගකීම ඉටුකරනු වස් ලැබී ඇති ක්‍රීඩකයින් නිසි පරිදි තරග සඳහා සහභාගි කරමින් ක්‍රීඩකයින්ගේ මනා සංයෝජනයක් සහ උපරිම ඵලදායීතාවයෙන් ලබා ගනිමින් කටයුතු කිරීමට අප සැමවිටම කටයුතු කළා.

කඳුළු සඟවමින් අප අද ක්‍රිකට් තේරීම් කමිටුවෙන් ඉවත්ව ගියත්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ගොඩනගා ඇති සාර්ථක උපාය මාර්ගික සැලසුමක් මත පදනම්ව කටයුතු කරන බැවින් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් අනාගතය වඩාත් ශක්තිමත්ව ඉදිරියට පැමිණෙන බවට වූ දැඩි විශ්වාසය අපට අස්වැසිල්ලක් ගෙන දෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් දමා ඇති ශක්තිමත් අඩිතාලම මඟින් ක්‍රිකට් ක්‍රීඩාව ගොඩ නැගීමටත් එකී පියවරයන් හි ප්‍රතිඵල විද්‍යාමාන වීමටත් කාලය ගතවන බව අප හොඳින් දන්නා අතර ක්‍රිකට් පරිපාලනය මගින් තෝරා ගන්නා ලද සැලසුම් සහ සංවර්ධන කටයුතුවල දී අනුගමනය කරනු ලබන ප්‍රතිපත්ති කෙරෙහි අපි සෑම දෙනාගේම විශ්වාසය ඇත. එම සැලසුම් ඉදිරියට ක්‍රියාත්මක කරගෙන යාම මඟින් අද දින ක්‍රිකට් ක්‍රීඩාවේ දක්නට ලැබෙන රළු පැල්ලම් ඉතා ඉක්මනින්ම සුමට වී ලොව පෙරළිකාර ක්‍රිකට් කණ්ඩායමක් බවට නුදුරේ දී ම ශ්‍රී ලංකාව පත්වනු ඇති බවට අප හට කිසිදු සැකයක් නැත.

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් විසින් ඔවුන් ක්‍රීඩා කරනු ලැබූ සෑම තරඟයක දී ම ඔවුන්ගේ උපරිමයෙන්ම ක්‍රීඩා කොට අප හට සමස්ත ශ්‍රී ලංකාවටම ලබා දුන් සහයෝගය පිළිබඳ අප දැඩි ලෙස ස්තූතිවන්ත වන අතර ඔවුන්ගේ හැකියාවන් කෙරෙහි සෑම විටම විශ්වාසය තැබීමට කටයුතු කරන ලෙසත් මතක් කර දීමට කැමැත්තෙමු.

අප හට නොසැලෙන සහායකින් යුක්තව කටයුතු කළ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිතුමා ඇතුළු විධායක මණ්ඩලයේ සාමාජිකයන් හටත්, අප කෙරේ විශ්වාසයෙන් කටයුතු කළ ගරු ක්‍රීඩා ඇමතිවරයාටත් අපගේ ස්තූතිය පල කරන්නෙමු. අවසාන වශයෙන් ක්‍රිකට් ක්‍රීඩාවට ආදරය කරන සෑම සියලු ශ්‍රී ලාංකිකයෙකු හටම ඔවුන්ගේ නොමද සහයෝගය සහ ක්‍රිකට් ක්‍රීඩාවේ දැඩි ඇල්ම හා ආශාව වෙනුවෙන් අපගේ ස්තූතිය පුද කරන්නෙමු.

ආලෝකය පතිත වීමට පෙර එය සැමවිටම අඳුරු බව සිහිපත් කරමින් අපගේ ඉල්ලා අස්වීම මෙසේ සනිටුහන් කරමු.”

ස්තූතියි!

~ අවසන් ~

———– උපුටා ගැනීම අවසන් ————-

උපුටා ගැනීම ශ්‍රී ලංකා ක්‍රිකට් මාධ්‍ය මඟින් එවනු ලැබූ පුවත්පත් නිවේදනයෙනි.

 තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට