මැසිනෝඩ්, හමීඩියා, සහිරා සහ මාරිස්ටෙලා අවසන් පූර්ව වටයට

780
President's Cup football tournament

හමීඩ් අල් හුසේයිනි විද්‍යාලයේ 80 වැනි කණ්ඩායම විසින් සංවිධානය කරන ජනාධිපති කුසලාන පාපන්දු තරඟාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ තරඟ හතරක් පසුගිය දිනයන් හිදි කොළඹ සිටි ලීග් පාපන්දු සංකිර්ණයේදී පැවැත්විය.

පසුගිය ලිපි: මැසිනෝඩ්, හුසෙයිනි, සහිරා සහ මාරිස්ටෙලා අවසන් පූර්ව වටයට

කඳාන ද මැසිනෝඩ් විද්‍යාලයට එදිරිව සිරි කුරුස විද්‍යාලය

මෙම අර්ධ අවසන් පූර්ව තරඟයෙන් ගෝල 02-00ක් ලෙස ජයග්‍රහණය වාර්තා කරන්නට කඳාන ක්‍රීඩකයෝ සමත් වූහ.

ගෝල 1-1ක් ලෙස සමව නිමාවූ මුස්ලිම් මධ්‍ය විදුහල සහ මැසිනෝඩ් විදුහල අතර තරඟයෙන් දඬුවම් පහර 5-4ක් සාර්ථක කරගනිමින් මැසිනෝඩ් විදුහලත්, ගෝල 02-00ක් ලෙස ආනන්ද විදුහල පරාජය කරමින් සිරි කුරුස විදුහලත් අර්ධ අවසන් පූර්ව වටයට අසුන් වෙන්කරගන්නා ලදි.

තරඟයේ ආරම්භක නලා නාදය ක්‍රියාත්මක වී මිනිත්තු 3ක් යෑමට මත්තෙන් ගෝලයක් සාර්ථක කරගැනීමට මැසිනෝඩ් විදුහලේ නිමේෂ් සොයිසා සමත් විය. ප්‍රථම භාගය නිමා වීමට මත්තෙන් ලකුණු සමකර ගැනීමට උත්සහ දැරූ සිරි කුරුස විදුහලේ දක්ෂ ක්‍රීඩක නිර්මාල් පෙරේරාගේ උත්සහය සාර්ථක කරගැනීමට මැසිනෝඩ් ගෝල රකින්නා ඉඩ ලබා දුන්නේ නැත.

පළමු අර්ධය: ද මැසිනෝඩ් විදුහල 01 – 00 සිරි කුරුස විදුහල

දෙවැනි අර්ධයේත් සාර්ථක වීමට සිරි කුරුස විදුහල කෙතරම් උත්සහ දැරුවත්, සාර්ථකව ඔවුන්ව මැඩපැවැත්වූ මැසිනෝඩ් ක්‍රීඩකයින් ලකුණු දෙගුණ කරගත්තේ ප්‍රමුදිත ගුණසේකර වාර්තා කල ගෝලයත් සමඟිනි.

සම්පූර්ණ ලකුණු: ද මැසිනෝඩ් විදුහල 02 – 00 සිරි කුරුස විදුහල


හමීඩ් අල් හුසෙයිනි විදුහලට එදිරිව නාලන්ද විදුහල

සාන්ත බෙනඩික්ට් විදුහල ගෝල 02-01ක් ලෙස පරාජය කරමින් හමීඩ් අල් හුසෙයිනි විදුහල අර්ධ අවනස් පූර්ව වටයට පිවිසි අතර නාලන්ද විදුහල විසින් ඩි.එස්. සේනානායක විදුහල සහ හින්දු විදුහල පරාජය කරමින් අර්ධ අවසන් පූර්ව වටයට පිවිසෙන ලදී.

තරඟය ආරම්භ වී මිනිත්තු 09ක් වන විට ගෝලයක් වාර්තා කරන්නට කරීම් ෆාසිල් සමත් වූ අතර ඉන් අනතුරුව 22 සහ 35 වැනි මිනිත්තු වලදි ගෝල ද්විත්වයක් වාර්තා කරන්නට මොහොමඩ් සාජිඩ් සමත් විය. ඒ සමඟින් ප්‍රථම වටය නිමාවූයේ නාලන්ද විදුහල කිසිදු ගෝලයක් වාර්තා නොකරමිනි.

පළමු අර්ධය – හමීඩ් අල් හුසෙයිනි විදුහල 03 – 00 නාලන්ද විදුහල

දෙවැනි අර්ධය ආරම්භ වී සුළු මොහොතක් ගත වන විට තවත් ගෝලයක් වාර්තා කරන්නට හමීඩ් විදුහල් ක්‍රීඩක එස්. අභිෂයාන් සමත් විය. ඒ තරඟයේ 47වැනි මිනිත්තුවේදීයි. කෙසේනමුත් තරඟය අවසන් වනතෙක්ම කිසිදු ගෝලයක් වාර්තා කරන්නට නාලන්ද ක්‍රීඩකයෝ සමත් නොවූහ.

සම්පූර්ණ ලකුණු: හමීඩ් අල් හුසෙයිනි විදුහල 04 – 00 නාලන්ද විදුහල


පුත්තලම සහිරා විද්‍යාලයට එදිරිව ලුම්බිණි විද්‍යාලය

කොළඹ සහිරා විද්‍යාලය සහ වෙස්ලි විදුහල ගෝල 02-01ක් ලෙස පරාජය කරමින් පුත්තලම සහිරා විද්‍යාලය අර්ධ අවසන් පූර්ව වටයට පිවිසි අතර අල් හිලාල් විද්‍යාලය ගෝල 02-01ක් ලෙස පරාජය කරමින් ලුම්බිණි විදුහල අර්ධ අවසන් පූර්ව වටයට පිවිසෙන ලදි.

තරඟය ආරම්භ වී මිනිත්තු 13ක් වන විට ගෝල රැස්කිරීම ආරම්භ කරන්නේ සහිරා ක්‍රීඩක මොහොමඩ් ජහීල් විසින්. ඉන්පසුව ඔවුන්ගේ ලකුණු තත්වය දෙගුණ කරමින් මොහොමඩ් මුසක්කීර් තවත් ගෝලයක් සාර්ථක කරගත්තේය.

ලුම්බිණි විදුහලද සහිරාවන් හඹාඑමින් ප්‍රථම අර්ධය නිමාවීමට මත්තෙන් ගෝල දෙකක් වාර්තා කලේය. ඒ 26 වැනි සහ 31 වැනි මිනිත්තුවලදී ඒ ජේ. ඒ. එල්. තංජෝයි වාර්තා කල ගෝල ද්විත්වය සමඟිනි.  

ප්‍රථම අර්ධය: පුත්තලම සහිරා විද්‍යාලය 02 – 02 ලුම්බිණි විද්‍යාලය

දෙවැනි අර්ධය ආරම්භයේදීම තවත් ගෝලයක් වාර්තා කරන්නට මුසක්කීර් සමත් විය. ඒ 40 වැනි මිනිත්තුවේදීයි. ඉන්පසුව 46 වැනි මිනිත්තුවේදී සිය දෙවැනි ගෝල වාර්තා කරන්නට ජහිල් සමත් විය. කෙසේනමුත් තරඟය නිමාවීමට මත්තෙන් ලුම්බිණි විදුහලට වාර්තා කරන්නට හැකිවූයේ තවත් එක් ගෝලයක් පමණි. එම ගෝලයට හිමිකම් කීවේ මොහොමඩ් ෆහාඩ් ය.

සම්පූර්ණ ලකුණු: පුත්තලම සහිරා විද්‍යාලය 04 – 03 ලුම්බිණි විද්‍යාලය


මාරිස්ටෙලා විදුහලට එදිරිව සාන්ත පීතර විද්‍යාලය

දඬුවම් පහර අවස්ථා මඟින් තීරණය වූ මෙම තරඟයේ ජයග්‍රහණය හිමි වූයේ මාරිස්ටෙලා විදුහලටයි.

ගම්පොල සහිරා විද්‍යාලය සහ රාජකීය විද්‍යාලය ගෝල 02-00ක් ලෙස පරාජය කරමින් සාන්ත පීතර  විදුහල අර්ධ අවසන් පූර්ව වටයට පිවිසි අතර මාරිස්ටෙලාවන් තර්ස්ටන් විදුහල ගෝල 05-00ක් ලෙස පරාජය කරමින් මෙම තරඟ වටයට අසුන් වෙන්කර ගන්නා ලදි.

ඉතාමත් තියුණු මුහුණුවරක් ගත් මෙම තරඟයේ ප්‍රථම අර්ධය නිමාවන්නේ ගෝල 01-00ක් ලෙස මාරිස්ටෙලාවන් පෙරමුණ ගනිමිනි. 30 වැනි මිනිත්තුවේදී ලබා ගත් එම ගෝලයට හිමිකම් කීවේ තත්සර ප්‍රනාන්දු විසිනි.

ප්‍රථම අර්ධය: සාන්ත පීතර විද්‍යාලය 00 – 01 මාරිස්ටෙලා විදුහල

ඉන්පසුව තරඟයේ තවත් ගෝලයක් වාර්තා කල පීතර විද්‍යාලීය ක්‍රීඩක මොහොමඩ් ශාබීර් තරඟයේ ලකුණු තත්වය සමකරන ලදි.

සම්පූර්ණ ලකුණු: සාන්ත පීතර විද්‍යාලය 01 – 01 මාරිස්ටෙලා විදුහල

තරඟයේ නියමිත කාලය අවසන් වූ නිසාවෙන් ජයග්‍රහකයින් තීරණය කිරීමට දඬුවම් පහර අවස්ථාව භාවිතා කල අතර එහිදි දඬුවම් පහර 3/2ක් ලෙස වාර්තා කරමින් ජයග්‍රහණය ලබාගත්තේ මාරිස්ටෙලාවන් විසිනි. අංජන ගුණවර්ධන, ප්‍රනීත් සමින්ද සහ තත්සර ප්‍රනාන්දු මාරිස්ටෙලා විදුහල වෙනුවෙන් දඬුවම් පහර සාර්ථක කරගත් අතර උමේෂ් සංජය විසින් සාන්ත පීතර විද්‍යාලයේ දඬුවම් පහර ද්විත්වය සාර්ථක කරගන්නා ලදි.

  තවත් පාපන්දු ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට